Saturday, October 20, 2012

කොළඹ අහසට

















සාපදී ඇතිමුත්
අතොරක් නැතිව
දුෂ්ටිය යැයි
පලමු මහලේ සිට

දුටිමි නුඹත්
පැලඳ උන් කඳු මිණි මෙවුළ
සත්වැනි මහලට
පිළිපන් සඳ

අපරිමිත නුඹ
බෙදා වෙන්කල
මෝහයට තව
සාප දුනි මම



Sunday, October 14, 2012

වණ්ණුපථ








වඩිනාගල හිට වැඩියා අපෙ ගමට 
ඉටි මල්ලයි සිවුරයි තිබ්බා කරට
බන්ට් එක ලඟ කැලේ බෝගහ මුල අවට
අටවා පුංචි පැල දම් දෙසුවා අපට

මතක බණේ දානෙදි තනි කලේ නැතී
අසනීපයකදී නම් වැරදුනේ නැතී
වන මැද ගංකරේ කාටත් පිහිට වෙවී
කාගෙත් ගෙදර බුදු වී උනි සුමන හිමී

නියඟෙට කරවුනා මුලු විල්පත්තුවම
පුංචි දිවුලෑව හිඳුනා පතුලටම
තිබාසේට ගිනිකණ වැටිලා ගමම
දියහෑරුවා සිහි එලවුනු හැම තැනම

බෝසත් සිතින් ලීවත් ඩීආරෝට
ලොකු නල ලිඳක් දෙන්නැයි මේ ගංගොඩට
ලක්සම දෙක තුනක් යනවා මේ ලිඳට
සලකා බලමි ලිපියක් ලැබුනා ගමට

දවසක් උදේ ආවාසේ සාදු නැත
බට ලානක් වගේ ගම ගිනිගත්තේය
සති දෙකතුනක් හෙව්වත් නැහැ හම්බ උනේ
හරියට කරපොලව යටටම ඉරුව වගේ

හඳවල් දෙකක් පහු උනදා හැන්දෑවේ
අපෙ පොඩි සාදු ගම ආවා පෙර වාගේ
කඩිසර අඩි ගමන් දැන් නම් නැහැ වාගේ
ලක්සෙට කොඩිය ලෙල දුන්නලු ආවාසේ

ලොතරැයියක්ලු සමහරු කුටු කුටු ගෑවා
බැංකුව බින්දාද තව අය ඇහැ ලෑවා
ජල යෝජනා කරමෙට මුල්ගල තීවා
මාසෙන් දෙකෙන් හේ වැඩ අහවර වූවා

ටැංකිය පුරවාපු දවසේ පිරිත මැද
වඩිනාගල සුමන වැටුනා සෙනග මැද
තබ්බෝවට හනික ගෙනියන අතරමග
අපවත් උනා උස්සන් ගිය පුටුව පිට

කොර්නෙල් මරණෙ හේතුව මොකදෝ හෙව්වා
ලේ කැටි කැටි පිරී පිම්ඹුනු බඩ පෑවා
කලියෙන් එන්න තිබ්බා නෙව දොස් කීවා
වම් වකුගඩුව නම් දැක්කේ නෑ   කීවා

අද ගම හැමෝගෙම අත ලඟ වතුර ඇත
මේ බැව් මතක උන් එකෙකුදු මෙගම නැත
වැඩ හිටි ආවාසෙ මැටි පස් ගොඩැලි මත
ඊතණ පඳුරු එක දෙක නම් වැවී ඇත



Friday, October 12, 2012

බලා සැනසෙන්නට







සොඳුර
දැන් ගෙට ගන්න
මම නුඹට අව්වේ වේලන්නට කියා දුන්
හම ගසාලූ
මගේ හෘද සාක්ෂිය

තව ටිකකින්
ඔවුන් මෙහි එන්නට පෙර
පුලුන් පුරවා
දිස්නෙ ගල්වා
සාලයේ කනප්පුව මත
තබාලමු අපි
යන එන්නන්ට තුටු පහටුව
අතගා බලා
සැනසී පිටවනු පිණිස






Thursday, October 11, 2012

විල් මනාලිය















නාඹර විල් තෙර අසබඩ
දිලිසෙන හිම කැට අවුලන
බිරියෝසා යුවතී
නුඹෙ නීල පෑ දෙතොල් හස මුසු
කියත් පවත් යළිඳු සරත්
නේන ඉඟි මට







Wednesday, October 10, 2012

අවසන් වැසි සමය















මතකද නුඹ පෙරදා කීවා මගෙ ගී මිහිරි වග
නුඹ නොදනී තාමත් ඒ හදවත පෙම් කලෙ නුඹට වග
කඳු අගිසි සිප... ළිහිණි පිළ මත...
එතේ වැහි සළු...මේ උයන් වට...
යමු අපි තුරුපත් තුරුල සොයා

හිරු මියැදී ගිලෙනා කඳු අතරේ  අප තනි කර ඇදෙනා
රැය සීතල වැස්සෙන් පිරෙනා වග අසරණ හිරු දන්නා
තරු සිඟිති පිපී...රැය සිහිල මැකී...
වැහි අඳුර ඉරී...නුඹ සිහින පිරී...
එනමුදු හෙට රිවි නැගෙනු නැතී

මතකය කල්පයකී...හීන අසුරු සැනෙකී...
නුඹේ සිතැඟි සරනා...සොඳුරු අරණ දුරකී...
හද වැලි තලයේ පෙම් දලු නැගෙතත්
නිරුදක මරුය හිමී...

මේ අවසන් වැසි සමයයි... දනී ළිහිණි කුමරී
ඈ මුරගා හඬ තලනා... ගීය අසනු රිසිනී
වැහි බිඳු ඉහිළී අප වත් සිප සිප
යායුතු අද වියැලී...

Related Posts Plugin for WordPress, Blogger...