Thursday, March 9, 2017

නිම්නයක හුදෙකලාව

හන්තාන වැටිය
යතුගායි
බිරම් ස්වරයෙන්
වැඩ ඇරී ගෙදර යන
කඩිමුඩි වැහි වලාකුලු

වැහි සුඹුලු ඉහිරෙයි
පහල ගොවි බිම්
සිත් තෙතින් සනහා

වසම් මායිම් ඇස ගසා උනි
නිදි කිරනවා සේ
ඔහේ වැතිරී
තවත් කඳු කඳු

අතරින් පතර
වවුලන් වේය
ගලහ හන්දියෙන් හැරෙන
අන්තිම බසය මිස් උනු
ඒත් ගණනකටවත් නැති

හැමදාම වාගේ
රැයේ එඬේරා
මුදුම තරවටුවෙන්
ගාල් කරවයි
නිම්නයේ ලිහී පැතුරුනු
ඔහේ ව්සිරුනු
මගේ සිතිවිලි




Monday, August 29, 2016

පැමිණිලි පිටපත



සිලි සිලිය සුලඟ හා
දොඩමලුය
නිදහස්‍ ය
උණපත්‍ර


නෝක්කඩු චිරිචිරිය
කිටිකිටියෙ
ඇතිල්ලෙන
කඳෙන් 
පමණක් වෙද්ද


බාගෙට අසා පැමිණිල්ල
ඇඟ බේරගෙන 
ආ ගමන යාගන්න
මගක් හොය හොයා ඉඳිද්දී 
සම්බ විය ගඟ


ඉඳින් කොහොමද
තාම තනියෙම
මාත් මහතයි
ඔහෙත් වාගෙම


උත්තරේකට
හදද්දී කට
පැන ගොහින් අහවරය 
ගඟ


මා ගෙනා පැමිණිලි පිටපත
මිටි කර ගැනුම මිස
උණ පඳුරකට වැඩි
ප්‍රශ්න වේවිද කාහට






Saturday, February 20, 2016

දොලොස් මහ පූංජය




තත්පර කිහිපයක් 
හෝ අසුරු මොහොතක්
උදෙසා මහ දුරක් 
ඇවිදීම ජීවිතය නම් වෙත්


එබඳු වූ දවසක
මතක ගිනි දලු පුපුරක්
ලයතුර රුවා අදරින්
ගිනි තපී අර අතන යුවලක්


නොගිණිය හැකිම නොවෙතත්
කොයි කිරීටක කෝෂිකාවෙත්
කදෝ පැණි සරි එලියක්
දොලොස් මහ පහනක්ව දැල්වෙත්


ඒ පූංජය වටා
හරිබරි ගැහී
ගිනි තපිනවා අර තවත් යුවලක්




Thursday, September 17, 2015

වාවගමි හිත්බඳ
නොඉක්මන සේ  බැමි තද
වැසි වටද පැල් බැඳ
වාන් නොදමා රැළි නගමි මද

නොපෙනෙතියි නොසිතෙන
මාම දන්නා පැල්මක
අනුහසින් දිය ලද
ඌල ඇත්තේ ඉස්බකට දුර

ඉදින් මා මිත ඔය
නුඹ පුරන දිය දඟ
අසල මා නොමසල
හේතු මේ යැයි කිව යුතුම වෙද

Monday, April 6, 2015

"බුදුවීම"



හිතුවොතින් හුලඟකුත්
මා හමන්නේ මන්දැයි
කෝ කවුරුවත්
නොකියන්නේ මක්නිසාදැයි

නොදිටීයි නොසිතමි
නූස් පඳුරැති බිම්වල
කල්පනා කරන නල සුළි
හමායම්දෝ කොයිබට 

නොසිතාම නොසොයාම
මග නොදැන ඇවිදීම
උරුමයය හැඳිනීම
තමයි සකි "බුදුවීම"





Monday, January 12, 2015

තතක්




හදක් කොයිවිණි
තතක් අතගෙන
වරක් හැඬවූ
ලයක් නොවයන


Sunday, December 21, 2014

සඳෙක මහා වැව්කම්


එක වැහි කෝඩෙට
උතුරා යන්නට
බලා හිඳින්නෙමි මම්

එක අව් රැල්ලට
ඉරී තැලෙන්නට
අසරණ වූදා මම්

ඔබගේ තෙපුලෙන්
සිහි එලවාගමි
සඳෙක මහා වැව්කම්

දියවර මුදනට
සිත් හෝදිසියට
වාන් දමා සැනසෙම්






Tuesday, August 5, 2014

මා මැරෙන හොඳම තැන



උපන්නේ කොයිබින්ද
අමතකව ගිය හිතක
පාවෙනව ඇර දුරක
අරමුණක් තිබුනෙහිද

හමායනවිට අහක
දුර කියා හිතු දුරක
නොකමැතිය නවතින්න
නන් සුවඳ මුහුම් කොට

සකිය මා පෙර භවය
සුළඟක්ය ටක්කෙටම
මැරුණමත් නලෙක් මිස
අන් පණක් මට කොහිද

භවයක්ම සොයාගොස්
තෝරාපු හොඳම තැන
මම මැරී ඇද වැටෙමි
පතා මද මුදු ඉසිඹු

සුළි සුළං පැල නොවන
මා මැරෙන හරිම තැන
දැන උන්නු හැම ඇවිත්
බුම්මාන සේ ඉන්න

නොසොයන්න පොළව යට
සකිය මා එහි නොමැත
බර සුසුම් ලිහා දා
මා දුරක් ගොස් ඇතිය







පොලොවෙන් අහසට





බිත්ති පාදම් මත නැගූ
ඔබේ ලෝකය බිඳ වැටී
වළපිනා හඬ මට ඇසේ

ඉතින් අහසේ මා තැනූ
සිහින කූඩාරම මගෙයි
මහපොලව මත නොම රඳයි

එන්න පාරක් සොයාගත්තොත්
කූඩාරමට ඔබ වැඩි නොවෙයි






Thursday, July 31, 2014

ඈ සහ මුනිඳු




උතුරුදිග ලුණු දිය තලාවේ
ඉහළට මදක්
ඇස් උස්සා බලන
දූවකි හෙමින

කවුරු හෝ එන
පිළිගත යුතුය අදිටනින
වෙලී එකිනෙක
වැලිත් බිම්තඹුරුත්
ඉඩ ලද විටක ලතවන
අතරතුර ඉරු තාප උරමින
එකලාව
අයාගත් දෑසින

තුන්සිය හැටපස් දවස
ගව්වේ දුරින් හිඳගෙන
මින් සොයා පින් පුරන
රංචුවට ට්‍රෝලර
ලං වීම තුන් හිතකවත් වෙද

මුර සංචාරය කරන බෝට්ටුව නම්
ඉඳහිට එන
බලා අතගා
හිඳීදැයි සැක හැර
අඩි කීපයක් වැල්ලේ ඔබා යන


වසරකින් පායන
දෙදිනක් කෙරේ පෙම් බැඳ
උන් තබා යන අඩි
ලයේ සඟවාගෙන
වැලි පිරෙන්නට නොදී
තවත් වසකුත් රකින

තනිකම මෙයය නොම දැන
ලතවෙන
නොපෙනෙන ඉමක
උන්
ඈ අයිති කරගන්න
නඩු කියන
ඈ දැකගන්න
නම් නොම එන

බඳ පුරා ඔරු
දරුවන්ට නිරතුරු
මසු පුරා පාරමී දම් පිරු
සුරුවමයි ඔහු


දූපතක් වුව
ගැහැනියක් බව 
ගණනකට නොම ගෙන
 අල්තාරයට පිටදී
අන්තෝනි මුනිඳුද
ඔහේ මහ බර කල්පනාවක





Related Posts Plugin for WordPress, Blogger...