Friday, August 19, 2011

කඳු මුදුනත වෑ කොමළිය:සෙම්බුවත්ත වැව



අද කියන්න යන්නෙ ලඟදි ගියපු තවත් ගමනක් ගැන.මේ ගමන ගියේ නං ඇල්කඩුවෙ සෙම්බුවත්ත විල බලන්න.ගමනට එකතු වුනේ මගේ යාලුව සංගීතුයි මමයි.
     පාන්දරම අස්ගිරියෙන් පිටවෙලා හතයි තිහ වෙනකොට වත්තෙගමට ආව.වත්තෙගමින් ඇල්කඩුව බස් එකක් තිබ්බෙ අටයි තිහට.විනාඩි හතලිස් පහක විතර ගමනකින් පස්සෙ ඇල්කඩුව හංදියට ආව කියමුකෝ.මට කැමරාවට අහුකරගන්න නම් බැරි උනා.ඒත් ඇල්කඩුවට මෙහා බස් එකේ එද්දි සමහර තැන් වලදි ඈතින් කඳු අතර පහත් බිමේ නුවර ටවුම හරි ලස්සනට බලාගන්නත් පුලුවන්.ඇල්කඩුවෙ ඉඳන් සෙම්බුවත්තට කිලෝමීටර් හතරක් පහක් තියෙනවා.පාර හරියටම නොදන්න නිසා අපි ත්‍රීවීල් එකක් හයර් කරන් යන්න හිතුව.

ත්‍රීවීල් ගමන අතරමග දසුන්
කොහොම වෙතත් ත්‍රීවීල් එකේ අයිය නං කිව්වෙ මේ වැව අරාබි සංචාරකයන් අතරෙ හරි ජනප්‍රියයි කියල.ත්‍රී වීල් එකේ යද්දි අවට කඳු යාය විශේෂයෙන්ම මාතලේ පැත්ත පහලින් හරි අපූරුවට දැකගන්න පුලුවන්.මේ වැව තියෙන්නෙ ඇල්කඩුව වතුයාය ඇතුලෙ.තැන ලස්සනට පිලිවෙලට හදල මේ තත්වෙට අරන් තියෙන්නෙ වතුයායෙ වර්තමාන අධිකාරිවරයා කියල තමයි දැනගන්න හම්බුනෙ.තැනට ඇතුල් වෙද්දි එක්කෙනෙක් රුපියල් එකසිය පනහක ටිකට් එකක් ගන්න ඕනෙ.ඒ මුදලින් කොටසක් වතුයායෙ වැඩ කරන ශ්‍රමිකයන්ගෙ සුභ සාධනයට බැර වෙන බව අහන්න ලැබුන.

සෙම්බුවත්ත වැව

      ත්‍රීවීල් එකෙන් වැව ගාවටම යන්න පුලුවන්.ඇත්තටම ඒක දැකපු ගමන්ම හිතේ අමතක නොවෙන විදියට පැලපදියම් වෙන දර්ශනයක්.තේ යාය මැදින් කන්ද නැගගෙන ඇවිත් එකපාරටම මුදුනට ආවාම දැකගන්න හම්බෙන්නෙ කන්ද මුදුනෙ තියෙන වැව.එක පැත්තකින් පයිනස් කැලෑව.පසුබිමෙන් තේ දල්ලෙන් වැසී ගත්ත තවත් කඳු මුදුනක්.

වැව පසුබිමේ පයිනස් කැලෑව
වැව අවට සුන්දරත්වයනම් කියල නිම කරන්න බැරිතරම්.උසම උස කඳු අතරෙ මේ වගේ තැනක් හැංගිලා තියෙනව කියල හිතාගන්නත් බැරි තරම්.
වැව් බැම්ම


   වැව ගැන කියන්න තියෙන පලවෙනිම දේ තමයි මේ වැව   නෑවොත් එලොව යාම අනිවාර්ය තැනක්ලු.වැවට බහින කවුරුත් ආපහු එනව බොරු කියල තමා තැන බලාගන්න හිටපු මෝගන් අයිය කිව්වෙ.මොකටද ඉතින් ඔය නලපාන වැවට බහින්නෙ අගේට පිහිනුම් තටාකයක් වැව ගාවම තියෙද්දි
තටාකය අසල


වැවයි අහසයි





ගහ දිගේ...





ඇස ගැටුනු මලක්
සෙම්බුවත්ත කියන නම ලැබිල තියෙන්නෙ මේ වැවේ ඉස්සර පාවුනා කියල කියවෙන සෙම්බුවක් නිසාලු.කන්දෙන් ගලාගෙන දිය පාරක් හරස් කරල හදපු පිහිනුම් තටාකය ඇත්තටම ගමන් විඩාව කඳු හුලඟෙ පා කරල දාන්න සමත්.අවාසනාවකට වටේ පොටෝ ගගහ හිටියට මටයි යාලුවටයි තටාකෙ පොටෝ එකක් ගන්න බැරි උනා.

ඒ ලඟම පොඩි ගිම්හාන කුටියක් ඒ වගේම කට්ටියට එකතු වෙලා සතුටු සාමීචියෙ යෙදෙන්න පුලුවන් අට්ටාලයකුත් හදල තියෙනව.අවට මල් වවල ඔංචිල්ලා සීසෝ එහෙම හයි කරල තිබ්බ.ඉතින් පවුලෙ හැමෝම එක්ක ගිහිං දවසක් ගත කරල එන්න හරි අපූරු තැන.රාත්‍රී නවාතැන් ගන්න ඕනෙ කරන කූඩාරම් පහසුකම් වත්තෙන්ම සපයගන්න උනත් පුලුවන්.

කඳු මුදුනට වැව දිස්වෙන අයුරු



කඳු මුදුනට හාත්පස දිස්වෙන අයුරු



පයිනස් තුරු වියන යට
පෙඳ පලස් ඇතිරිලි
  එතන හිටපු මනුස්සය කිව්ව වැවට උඩින් තියෙන කඳු මුදුනෙ තියෙන පරණ සුදු වතු පාලකයෙක්ගෙ බංගලාවක නටබුන් වගයක් ගැන.මායි යාලුවයි සෑහෙන වෙලාවක් කන්ද මුදුන පීර පීර හෙව්වත් ඒ තැන නං හොයාගන්න බැරි උනා.යන කෙනෙක්ට ඉතින් ගවේෂණ කැසිල්ල තියෙනවනං ඕං කොරන්න කියාපු වැඩේ.
ඉම් නොදුටු කඳු යාය


එනසාල් මල් පිපී

ආපහු එන ගමනේ ඇස ගිය තැන්
ඉතිං වැව අවට නාල ගිමන් ඇරල කන්ද නැගල විඩාවට පත් උන අපි දෙන්න අවරට යන්න පටන් ගත්ත ඉරත් එක්කම ආපහු එන්න හැරුන.ආපු පාරෙන්ම යන්න හිටපු අපි දෙන්නට ඊට වඩා කෙටි පාරක් ගැන අහන්න හම්බුනා.වෙලාවට මෝගන් අයිය අපිට තව තැනක් පෙන්නන්නත් එක්කම පාරත් පෙන්නන්න ඉදිරිපත් උනා.
පාර කියාපු මෝගන් අයියා

අත් හරින ලද ඇල්කඩුව තේ කම්හල
අවට තියෙන තව අපූරු තැන් කිහිපයක් ගැන හෝඩුවාවල් අපිට එන ගමනෙදි අහන්න හම්බුනා.එපිටහ කඳු අතර තියෙනව කියපු ලාම්පු තෙල් ලිඳ එයින් එක තැනක්.ඒ වගේම එන පාරෙදි අපට අහන්න ලැබුන උඩ පර්වත අතරෙ තියෙන ගල් ගුහාවක් ගැන.ඉස්සර සුද්දගෙ කාලෙ මේ ගල් ගුහාවට අස්සය පිටින් සුදු යුවලක් ගියාලු.ඒත් ආපහු ආවෙ නං නැහැල්ලු.කතාව කියපු අයියත් මේ ගුහාවෙ මුවවිටටම ගිහිල්ල තිබුනත් ඇතුලට යන්න නං බැරි උන බව තමා කිව්වෙ.
පර්වත බිත්තියේ ගුහා දොර
කන්ද බැහැපු පාරෙ හම්බෙන තව තැනක් තමා අන්නාසි ගල.ගල පහු උනාම ආපහු හැරිල කෑගැහුවම ඇහෙන දෝංකාර සද්දෙ අහන්නත් අමතක කරන්න එපා.මේ ගල මුදුනෙ අදටත් අන්නාසි ගස් තියෙනවලු.
අන්නාසි ගල
ඒ අය්ය අපිව එක්කං ගියා එන පාරෙම තිබ්බ තවත් තැනකට.ඒක ප්‍රපාතය ඉද්දර තියෙන පර්වතයක්.ඒ ගලේ ඉඳල පහල නිම්නෙට සවි කරපු කේබල් වලින් ඉස්සර සුදු අධිරාජ්‍ය කාලෙදි පහලට තේ දලු ප්‍රවාහනය කරපු බව අහන්න හම්බුනා.අදටත් ඒ බවට සාක්කි විදිහට ගලේ හයි කරපු යකඩ කූරු දකින්න පුලුවන්.
තේ දලු පැටවූ ගලට පේන හුන්නස්ගිරි මුදුන
ඒ වගේමයි මෙතනට හුන්නස්ගිරි මුදුනත් හරිම අපූරුවට පේනව.හුන්නස්ගිරි නගින විස්තර එහෙමත් ඒ අයියගෙන් දැනගන්න පුලුවන් උනා.යන පාර පෙන්නල දීපු අපේ සහෝදර ගමන් සගය එතනින් ආපහු හැරුන.අපිට කරපු උදවු වලට පිං දීල අපි පෙන්නපු පාර දිගේ පල්ලම්  බැස්ස.දෙමල මනුස්සයෙක් උනත් බුදුසරණයි මහත්තයෝ ගිහින් එන්න කියල කියන්න තරම් ඒ මනුස්සය කාරුණික උනා.නාඳුනන පලතකදි හම්බෙච්ච ඒ මනුස්සකම හදවතේ රන්දගෙන අපි පහලට ආව.එන මගදි අපි දෙන්නට තියෙන කෙටි පාරවල්වලටත් වඩා කෙටි පාරවල් හොයන්න ගිහින් අගල් අස්සෙ බඩගාන්නත් උනා.කොහොමහරි බොහොම ඉක්මනට අපි පාරට ආපහු වැටුන.ඒ නගින්න පටන්ගත්ත තැනට වඩා ටවුමට බොහොම ලඟින්.බස් හෝල්ට් එකක් විතර පයින් ගිහින් ඇල්කඩුව හන්දියට ආපු අපි දෙන්න හන්දියෙ ටැප් එකකින් වතුර බීගෙන බීගෙන ගිහින් ලඟම තිබ්බ පොඩි කඩේකට ගිහින් ඉස්පංචියක් එහෙම කාල නුවර බස් එකට නැගගත්ත.ඒ වෙනකොට වෙලාව දවල් දෙකට විතර ඇති.
  ඉතින් මේ ගමන බොහොම අලුත්ම විදිහේ අත්දැකීම් ගොන්නක් අත්විඳින්න පුලුවන් උන ගමනක්.මේ ගමන යන්න උදවු උන ඒ තැන බලාගන්න මෝගන් අයියව මේ වෙලාවෙ මතක් නොකරම බැහැ.අපිට පාර පෙන්නුවටත් වඩා ඒ පෙන්නපු මනුස්සකමට පිං දෙන්න ඕනෙ.ඒ වගේමයි සංගීත්ටත්.මේ ගමනෙන් දවස් කීපෙකට පස්සෙ මගෙ යාලුව අවුරුදු ගානකට විදේශගත උනා.සෑහෙන කාලෙකට අපි දෙන්නටම මතක හිටින මතක ගොන්නකුත් ඒ ගමන එක් කරා කිව්වොත් හරි.
මලක මෙලෙක
     ඉතින් යන්න කැමති අයට කියන්න තියෙන පලවෙනිම දේ තමා මොනම හේතුවකටවත් වැවට බහින්න එපා කියන එක.පුද්ගලික වාහනේකින් යනවනම් පාන්දරින්ම යන්න පුලුවන් උනොත් හොඳයි.එහෙම උනොත් මට දකින්න තරම් වාසනාවක් නොතිබ්බ වැවට උඩින් හිමිදිරි මීදුම බවුන් වඩන අපූරු මනස්කාන්ත දසුන දකින්න තරම් ඔබේ නෙත් වාසනාවන්ත වේවි.

3 comments:

  1. නියම ට්‍රිප් එකක්නේ
    මම නම් මේවා දැකලම නෑ.

    ReplyDelete
  2. බොහොම ලස්සන විස්තරයක්.චායාරූ ටිකත් අපුරුයි

    ReplyDelete
  3. ඔන්න ඕකනෙ කියන්නෙ.අපිට නොකිය ගියේ එහෙනම් මෙහෙ තමා.ඉතිං බං යමුකො මෙහෙ කෑම්පිං........

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...