Sunday, October 14, 2012

වණ්ණුපථ








වඩිනාගල හිට වැඩියා අපෙ ගමට 
ඉටි මල්ලයි සිවුරයි තිබ්බා කරට
බන්ට් එක ලඟ කැලේ බෝගහ මුල අවට
අටවා පුංචි පැල දම් දෙසුවා අපට

මතක බණේ දානෙදි තනි කලේ නැතී
අසනීපයකදී නම් වැරදුනේ නැතී
වන මැද ගංකරේ කාටත් පිහිට වෙවී
කාගෙත් ගෙදර බුදු වී උනි සුමන හිමී

නියඟෙට කරවුනා මුලු විල්පත්තුවම
පුංචි දිවුලෑව හිඳුනා පතුලටම
තිබාසේට ගිනිකණ වැටිලා ගමම
දියහෑරුවා සිහි එලවුනු හැම තැනම

බෝසත් සිතින් ලීවත් ඩීආරෝට
ලොකු නල ලිඳක් දෙන්නැයි මේ ගංගොඩට
ලක්සම දෙක තුනක් යනවා මේ ලිඳට
සලකා බලමි ලිපියක් ලැබුනා ගමට

දවසක් උදේ ආවාසේ සාදු නැත
බට ලානක් වගේ ගම ගිනිගත්තේය
සති දෙකතුනක් හෙව්වත් නැහැ හම්බ උනේ
හරියට කරපොලව යටටම ඉරුව වගේ

හඳවල් දෙකක් පහු උනදා හැන්දෑවේ
අපෙ පොඩි සාදු ගම ආවා පෙර වාගේ
කඩිසර අඩි ගමන් දැන් නම් නැහැ වාගේ
ලක්සෙට කොඩිය ලෙල දුන්නලු ආවාසේ

ලොතරැයියක්ලු සමහරු කුටු කුටු ගෑවා
බැංකුව බින්දාද තව අය ඇහැ ලෑවා
ජල යෝජනා කරමෙට මුල්ගල තීවා
මාසෙන් දෙකෙන් හේ වැඩ අහවර වූවා

ටැංකිය පුරවාපු දවසේ පිරිත මැද
වඩිනාගල සුමන වැටුනා සෙනග මැද
තබ්බෝවට හනික ගෙනියන අතරමග
අපවත් උනා උස්සන් ගිය පුටුව පිට

කොර්නෙල් මරණෙ හේතුව මොකදෝ හෙව්වා
ලේ කැටි කැටි පිරී පිම්ඹුනු බඩ පෑවා
කලියෙන් එන්න තිබ්බා නෙව දොස් කීවා
වම් වකුගඩුව නම් දැක්කේ නෑ   කීවා

අද ගම හැමෝගෙම අත ලඟ වතුර ඇත
මේ බැව් මතක උන් එකෙකුදු මෙගම නැත
වැඩ හිටි ආවාසෙ මැටි පස් ගොඩැලි මත
ඊතණ පඳුරු එක දෙක නම් වැවී ඇත



6 comments:

  1. වැදගත් කවි පන්තියකි....

    ReplyDelete
  2. වියලි කලාපයට ආවේනික දුක්ක දෝමනස්සයන් ගෙන් වියවුනු කැන්වස් එකක අපූරුවට කල කඳුළු සිත්තමක්.

    ReplyDelete
  3. හොඳ පදගැලපිමක්! ජය!

    ReplyDelete
  4. උත්කෘෂ්ඨයි. නිමිත්ත අහගන්ඩ බැරි උනා නේ මචං.

    ReplyDelete
  5. සංවේදී කවි පන්තියක්.. ලස්සනට පද ගලපල තියෙනව..

    ReplyDelete
  6. තදින් හිතට දැනුණා, පද ගැළපුම ඉස්තරම්

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...