Wednesday, July 16, 2014

පීලි පැනීම




රේල් පීලි තැලෙයි තැලෙයි
ඉර එළියට දිසෙයි දිසෙයි
හෙමිහිට ඉදිමෙයි ඇකිලෙයි
ඒත් පේළියටම හිඳියි

ඇණ ටිකකුත් නැතුව නොවෙයි
ආහ් සිල්පරනුත් ඇතිමයි
ඒත් උවමනාව නැතුව 
ඔය විදිහට ඉනු බැරිමයි

ඉඳහිටලා දවසක එන
එක බේබදු කෝච්චියක්
වෙරිමතේම පෙරලුනාම
" ආං පීලි පැන්න" කියයි 






Sunday, July 13, 2014

කළල දිය බැලුම



බොහෝ කලියෙන් කිරිවරා
සෙනේ පිට කර ගත නොහී
සසර දික් කර ගනිති මවුවරු
පුතුන් ගැවසෙන පොළෝ තලයම
කළල දිය බැලුමය සිතා







Tuesday, July 8, 2014

අඳුරට සාප කරන්න හැබැයි මේ කණ්ණාඩියෙනුත් බලන්න




මේ විසල් මහ පොළව මත ජීවිත සටන කොයි කලෙකවත් ලෙහෙසි වූවක් නම් නොවේ.සියල්ලෝම නොයෙක් අයුරින් කාසි සොයා කාසි මතින් ජීවිතය සොයන්නට තතනති.එබඳු තවත් මිනිස් කුලකයක ජීවිත අත්දැකීම් අහුරක් දෙස සමීපව බලන්නට දරන වෑයමකි මේ.

සමාජයේ සෑම ස්ථරයකටම අවියෝජනීයව ඒත් අසම්මතව යාවී ඇති ගණිකා වෘත්තිය නොදන්නෙකු නෑසූවෙකු සිටි‍ය නොහැකිය. එහෙත් මේ කතාබහ ඔවුන් සියල්ලම ගැන නම් නොවේ. ඒ කුලකයේත් අඩුම ලංසුවේ සමාජ නියෝජනය වන වීදි ගණිකාවන් ගැනය. කෙටියෙන්ම කීවහොත් පිටකොටුවේදී රාත්‍රියට ඔබට ඇස්සර ගැටෙන ඔවුන් ගැනය.
ජිනා මැඩම්ගේ තිප්පොලේ පටන් විදේශීය සුරූපිනියන් දක්වා පුළුල් පරාසයක විහිදෙන මේ කුලකයේ වීදිගණිකාවකගේ තැන අඩු ලංසුවට උවත් කිසිම විටක ගනුදෙනුකරුවන්ගෙන් අඩුවක් නම් නොපවතී. පිටකොටුවේදී මහ රෑට දුරගමන් බස් රථයෙන්  බැසගෙන ගමට පාන්දර බස් එක එන තෙක් කල් මරන කිසිවෙකුගේ අතේ එල්ලී රෑ පහන් කරන ඇයට වෙසඟන යැයි බැණ අඬ ගසනවාට එසේත් නැත්නම් අනේ පවුකාර ජීවිත නොවේදැයි අනුකම්පා කරනවාට වඩා වෙනස් දෙයක් සිතීමේ සහ කිරීමේ හැකියාවක් ඔබට මට පැවතිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. නීතියේ ඇසේ අන්ධ බිංදුවේ තම ජීවිකාව ගෙන යන මේ මිනිස් රංචුවේ  ජීවිත වෑයම දෙස ඇස් ඇර බලමු. 
ඇගේ ගතේ උණුසුම රෑ අඳුරේ වහන්ව වීදි පහන් යට කොයි කාට විකිනුනත් දහවලේ එලිය මැද ඔවුන් කුමක් කරනවා ඇතිදයි අපි සිතන්නේ නැත.ඔවුන් රූපයෙන්  බොහෝ විට අපුල පෙනුමැතිය. වැඩි හරිය මැදි වියේ අවුරුදු 40ත් 50ත් අතර වෙද්දී දර්ශීය ගැහැණු ලස්සන ඔවුන් කෙරේ නැති තරම්ය. තරබාරු, අව පැහැ දූවිලි වැකුණු සම ඇතිව අවුල් හිසකෙසින් සැරසීගෙන සරන ඇතැමෙකුගේ යාචක ස්වරූපයක්ද නැත්තේ නොවේ.අගනුවරට දුර බැහැරින්ද ඇතැම්විට කටුනායක රත්මලාන ආදී තදාසන්න ප්‍රදේශවල සිට පිටකොටුවට එන මේ අය  අරුණෝදයට පෙර තම අත මිට මෙලවෙන දහසේ කොල කීපයත් සැට්ටයේ රුවාගෙන තම ආ දෙසටම පිටවී යන්නට  යති. දහවලට අමතර නිහඬ ජීවිකාවක එනම් ඇඟලුම් කම්හලක තෙල් මෝලක සන්නිවේදන මධ්‍යස්ථානයක තවත් කීයක් හෝ සොයාගන්නට අමතක කරන්නේද නැත. තවත් කණ්ඩායමක් නවාතැන් ගැනීමට ස්ථිර තැනක් නොමැති නිසාවෙන් මගී පාලම්වල කඩපිල්වල දහවලේ ගිනි රස්නයෙන් ගැලවී සිටීමට ඔහේ කල් ගතකරති.තවත් සමහර ජීවිත මත්කුඩුවල ගිලී සැනහී ඊළඟ කුඩු උගුර වෙනුවෙන් කාසි සොයා ඇවිදිමින් සික් එකටම දියවී යති. ඔවුන්ට අදින් එහා ලෝකයක්ද හෙට නම් වූ කාලයක්ද නොමැති සේය. ඒ අතර මුණ ගැසුනු එක් කතක් එංගලන්තයේ ඉගෙන ගන්නා දුවට යවන්නට මුදල් එකතු කරනවා යැයි කීමට තරම් දිරිමත් සිතැත්තියක වූවාය. දියවැඩියාවට කකුල් දන් දුන් පුරුෂයා රැක බලාගන්නේ මේ ආදායමෙන් යැයි කීවේද වගකීම් සහගත හඬකින්ය .

සමහරුන්ට ජාතික හැඳුනුම්පතක් හෝ ඇතැම් විට උප්පැන්නයක්වත් සොයාගන්නට නැත.පුරවැසි අයිතිවාසිකම් යන්න මොනවාද කියාවත්  දන්නේ නැත. මේ අවු අස්සේ තමන්ට වැට බඳින නීතියට නම් අප්‍රමාණව වෛර කරන්නට අමතක කරන්නේ නැත. නීතියේ රැකවලුන්ට ගෙවන කප්පමෙන් පමණක් තමාගේ වැයික්කියේ  නිදහසේ සැරිසැරිය හැකි බවට ඇතමෙක් පාරම්ද බාති.ඒ කෙසේවෙතත් මේ වැරදි රස්සාවේ නොයෙදෙන දාටත් පොලිස් පොතේ නඩුගණන පිරවීමට රිමාන්ඩ්වීමට කොයි වෙලාවේත් සූදානම් ශරීරයෙන් සිටිය යුතු බව ඔවුන් නගන ප්‍රධාන මැසිවිල්ලකි. විශේෂයෙන්ම අගනුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රන  ඇති කාලයට පාරේ දඩාවතේ යන බල්ලන් මෙන්ම වීදි සරන මේ ගැහැණුන්ද කූඩුවලට ගාල් කිරීම කෙරෙන්නකි.නීතිපොතේ වැරදිකාරයෙකු වූ පලියට මූලික මානව අයිතිවාසිකම් අහිමිවීමට සහ අතුරු පීඩා පැමිණවීම් හා අත් ඩංගුවට ගන්නා නිලධාරීන්ගේ අඩන්තේට්ටම් වලට නිරන්තරයෙන්ම ගොදුරු වෙති.  ඇප ගෙවා නඩුවෙන් නිදහස් වී උසාවියෙන් පිටතට  එන දොරටුවේදීම  නැවතත් කුදලාගෙන පොලිසියට ගිය කතා බොහෝමයක්මද ඒ අතර විය

ලිංගාශ්‍රිත රෝග බයද ඔවුන් තුල නැතුවාම නොවේ. එහෙත් අතට උනන ලෙහෙසි කාසි පොදිය නිසාවෙන් එය අමතක කර ඉන්නට පෙළඹෙති.
මේ මා  එළඹෙන්නට යන්නේ ඔවුන්ගේ ඉරණමේ හැරවුම් ලක්ෂයම නොවුනත් එකතරා මං සන්ධියකට බව නම් නොකිවමනාය.
මට ඔවුන් හමුවුනේ මහමගදී නොවේ. දහස් ගනන් එහා මෙහා යන නගරයක ඔවුන්ටම වෙන්වූ ප්‍රජා මධ්‍යස්ථානයකදීය.
රාත්‍රියේදී සොයාගන්නා නෝට්ටු කීපය අතැතිව කිහිපදෙනා බැගින් එතැනට ලඟා වෙමින් සිටියහ.එය අපූරු තැනකි. සමාජයේ පිළිකුලෙන් බැට කන ඔවුන් එකිනෙකා හා සහ සම්බන්ධතා පවත්වති. සුහද සාමීචියේ යෙදෙති. එකිනෙකා කෙරේ සම හදැතිව ඉන්නට එකිනෙකාගෙන්ම උගනිති. දහවලේදී පිරිසිදුතාව, නීරෝගීකමේ අගය ගැන උගනිති. ලිංගිකව සම්ප්‍රේශණය වන රෝග වලක්වාගන්නට දැනුවත් වෙති.එපමණක් නොවේ තමන් උපයන මුදල තමාගේම ගිණුමක ඉතුරු කරමින් සකසුරුවම උගනිති.ලියන්නට කියවන්නට උගනිති. පුවත්පත් සඟරා ඇසුරෙන් ලෝකය දකින්නට පෙළඹෙති. වඩාත්ම සිත්ගන්නා සුලු කාරනය වන්නේ එහිදී ඔබ ඔය වෘත්තිය අත් හළයුත්තේමය යැයි ඇඟිල්ලෙන් ඇන ඇන බල නොකිරීමයි. සියලු මිනිසුන්ට හිමි තමාට හිමි යැයි නොදත් තම අයිතිවාසිකම් ගැන උගනීමට ඔවුන්ව යොමු කිරීම මෙන්ම නීති ආධාර අවශ්‍යවිට එය ලබා ගන්නේ කෙලෙසද යන්න පවා ඔවුන්ට පැහැදිලි කරදෙති. දුහුවිල්ලෙන් දහදියෙන් වැකී නීතියේ රැහැනට බියෙන් ගෙවන මේ ජීවිතයට එහා දේවල් ඇති බව ඔවුනටම දැනෙන්නට සැලැස්වීම මෙ සාර්ථකත්වයයි. චර්යා විද්‍යානුකූලව ගත් කල මෙය පූර්ව අවලෝකන , අවලෝකන අවධිවල පසුවන මේ ස්ත්‍රීන් අධිෂ්ටාන අවධිය තෙක් ගමන් කිරීමට ඉඩ සැලැස්වීමකි. විනෝදාංශ වශයෙන් හෝ අමතර ආදායම් මාර්ගයක් වශයෙන් හෝ එසේත් නැත්නම් පවත්නා තත්වයෙන් අත් මිදී ස්වයං රැකියාවක් වශයෙන් විවිධ අත්කම් නිර්මාන මැහුම් ගෙතුම් කිරීම සඳහා පෙළඹවීම් සහිත සහ යම් යම් පහසුකම් සහිත පරිසරයක්ද ගොඩ නැගෙමින් පවතී. මීට අමතරව  කණ්ඩායම්ගත ක්ෂෙත්‍ර අධ්‍යාපනයද මෙහිලා සිත්ගන්නා සුලු ක්‍රියාකාරකමකි. රට, කලාප හෝ දිස්ත්‍රික්ක ගනනාවකට බෙදා ඒ ඒ කලාපයට මේ ගැහණුන් අතරින්ම තෝරාගැනෙන අය කණ්ඩායම් නායිකාවෝ ලෙස තේරී පත්වෙති. ඈ සක්‍රීයව වෘත්තියේ යෙදීම අත්‍යවශ්‍ය නොවන අතර ඇය යටතට තවත් 15-20ක් අතර වීදි කතුන් අනුයුක්ත කෙරෙන අතර ඒ කුඩා කණ්ඩායමේ සුභ සාධන කටයුතු, ප්‍රජා මධ්‍යස්ථානය හා සන්නිවේදන කටයුතු, ලිංගාශ්‍රිත රෝග නිවාරණ තොරතුරු හා උපත් පාලන කොපු බෙදාහැරීම ආදී වගකීම් නායිකාව සතුවේ. මෙමගින් අගනුවරට දුරබැහැර ප්‍රදේශවල වීදි සරන්නියන්ගේ යහ පැවැත්ම උදෙසාද සැලකිය යුතු වැඩ කොටසක් ඉටුවේ.ඒ සඳහා මේ නායිකාවන්ට සුළු වේතනයක්ද හිමිවේ. වඩාත්ම සිත් සසල කරන කාරණය වනුයේ මේ මධ්‍යස්ථානයේ ස්වෙච්ඡාවෙන් සේවය සපයාදෙන කිහිපදෙනෙක්ම දැනට එච්. අයි. වී ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවන් වීමයි. ඔවුන්ගේ මේ මැදිහත්වීම ඉහත පණිවිඩ ප්‍රබලව ඉහත කී කුඩා කණ්ඩායම් තුලට බැහැර කල නොහැකි රතු නිවේදනයක්ද සමඟින්  සමඟ කාවැද්දවීමේ ලා තීරණාත්මක කාර්යභාර්යයක් ඉටු කරයි. සැබැවින්ම මේ එච් අයි වී ආසාදිත ස්වෙච්ච්ච කණ්ඩායමේ මැදිහත්වීම ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ඉහල නැංවීමටද දායක වන්නකි.මෙ ව්‍යාපෘතිය මේවනවි  සැළකිය යුතු ප්‍රගතියක්ද අත්කරගෙන තිබුනත් අඬුලුහුඬු නැතුවාම නොවේ. මෙම ක්‍රියාවලිය තුලින් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වීම උගහට නමුදු දැනට ඔවුනගේ සුභ සාධනය අතින් සාධනීය ප්‍රතිපල පෙනවාලමින් තිබේ.එමෙන්ම මේ වෘත්තියට තිත තබා යලිත් සමාජයට පානගන්නට එමෙන්ම වෘත්තීය හුරුව ලබාගැනීමේ විධිමත් වෘත්තීය අධ්‍යාපන සැලැස්මක අවශ්‍යතාවද තදින්ම පවතී.

ඉතින් ජීවිතය තමන්ගේ ක්‍රමයට දිනන්න තනන මේ ගැහැණුන් වෙනුවෙන් ඔබට මට කල හැකි යමක් වෙද යන්න අප සිතා බැලිය යුතුය. ඔවු...මේ වෘත්තියට පා තැබීමේ වරද ඔවුනගේම බව සැබෑවකි. එනමුත් ඔවුන් මේ තැනට තල්ලු වී යන තැනට වැඩ කටයුතු සැලැස්වූ මේ පරිභෝජනවාදී සමාජයේ ඔබත් මමත් කොටස්කරුවෝ වම්හ.ඔවුනගේ ඉරණමේ වක්‍ර කොටස්කාර මේ සමාජ ක්‍රමයේ මෙන්ම වත්මන් සමාජ චින්තනයේද නිවැරදි විය යුතු තැන් බොහෝමයක් බව සැබෑවකි. සමාජ අසාධාරණත්වයෙන් ගොඩ ඒමට තනන ඔවුන්ට සැබෑ මිනිසුන් ලෙස වගකීමේ සහ මිනිස්කමේ හස්තය දිගුකලයුතු කාලය එමෙන්ම ඒ සඳහා අපගෙ සිත් සතන් පුරුදු පුහුණු කරගැනීම අවශ්‍යතාව කෙදිනකටත් වඩා අද තදින්ම පවතින්නකි.නීතියේ වැරදිකරුවන්ට මානව හිමිකම් අහිමි කරවීම ජාතික ප්‍රතිපත්තිය කරගත් රටක අඳුරට සාප කරමින් හෝ මේ දුලන්නට තනන කදෝ පැණි එළි වැට ශක්තිමත්කරලීම අප කාගෙත් වරිග යුතුකමක් නොවන්නේද 

Sunday, July 6, 2014

උන්ට නං දුප් බල්ලා



වහංවීයන්
සැහැසි කබරාගෙන්
වගුර පැත්තට
නොයා ඉන්නට හිත හදාගං

එයාගේ
දහ අවුරුද්දෙ දානේ
වඩම්මල දීගන්න හැකි නං
ඒත් කෝ කවුරුත්
උඹයි මමමයි විතරමනෙ දැන්

රැලේ හෙම නොගිහින්
ගෙයි ගෙවලයෙක් වාගේ
ඔහොම ඉන්නේ කොහොමද
බැඳල තිබ්බත් මේස කකුලට


" අමාරුයි දැන් මගේ වයසට "
කෙඳිරිලි බිරිල්ලෙන් කීවද
අපිම අපිටම කියාගනු හැර
ඔව්නෙ අවුරුදු දහතුනක් නෙව

නපුරු වේවිද කරුමය
යටවෙලා අපි ගිල දමන්නට
ඉණක් උසටම ලං වෙන
කැළෑ තණ ගොල්ලෙන්

නොපිළිසින්දද මා ගැබ
පෙකනිවැලකින් යා වෙලා වද
වඳියකව අම්මා කෙනෙකු කල
උඹ.....

Sunday, May 25, 2014



තණබිමකි සිත් තොසින්
උදා හිරු දිය දොවන
පෙරදිනක තුරු මතක
යදිම්දෝ හෝ නොදැන

Sunday, February 2, 2014

වාතලය පහුරු ගෑ සෙබඩකගෙ ඇමතුමට
අවසඟව පියාපත් මොණර තෙම විපිළිසර
හා මටද ඇමතුවේ වැහිවළා විමසිලිව
ඇද හැලෙන්නම හදයි තෙමා වෑ පිටි පළස





ඉරට්ටක එල්ලී ලූල්ලුම තුන්දෙනෙක්
ඉඩ මදියි තදබදයි අනෙකු හා තෙරපෙමින්
පැද්දි පැද්දී කොනක සයිකලේ හැඬලයේ
අහා යන හැටි අගෙයි ගොම්මනේ ගමගෙදර

Friday, January 31, 2014

ආවේ කොහි සිට



කඳුලු සමහරවිට
එකම උල්පතකින් නූපදී
සංකීර්ණ ලෙජරයක
අවසන ශේෂයව
නෙත් අගින් වෑස්සේමය
ඉතින් සබඳ
එසයුරත ලුණුරස දියත්තෙන්
විමසීම වටනේද
නුඹ උපන්නේ
වළා වන වදුලකද
පල්දෝරු නලයකද





Tuesday, January 21, 2014



රැස් බාගත් ඉර තනියම
සොහොන් කොතක පෙඳ සූරත
අබැට මිටක් අඳුරට පෙර
නොසොයා හිඳ ගිමන් හරිත

Thursday, December 19, 2013

කාකි කමිසය පහසු නැහැ පුත



ඉර කර ඇරිය දවසක 
රාත්තිරි තුරුලට වැද
දියවෙවී ගන අඳුරට
හමු උනා නුඹ හා මම

ජීප් රිය හුනසුන යට
කබින් ඇලැවුනු දෑසින
එකුන් විසි වියෙදී
මරණයයි රමණය කලේ නුඹ

පුළුටු උඩු හුළඟේ
දෑඟිලි බැඳං එල්ලී
වියරුව නොහැඬුවේ ඇයි
මද මුදු සිනා අතහැර

සිය දහසක් කෙවෙනි
අතරින් නුඹය පළවෙනි
නික්මුම දැනී පෙනි පෙනි
පළා ගොස් නොම සැඟවුනි

දෙදොහක ඇවෑමෙන්
නුඹ හමුවීමි හැබැහින්
තැලී පොඩි උනු කෙටල ගාලක
මූනින් අතට පිම්බී

මටත් මරණය ඇවිල්ලා අද
උඹෙන් මහ කාලෙකින් පස්සට
ඉතින් කියපන් අතැර කිමිදුම
හිත නුහූලන මෙබැඳි බන්ධන

කාකි කමිසය පහසු නැහැ පුත
ළතෙත උර උර අවර පැහැ වෙන
මුදන අවසර නොලද කඳුලක
දැවෙන තැතනෙන ළසොව දැනුනෙද




Related Posts Plugin for WordPress, Blogger...