Monday, September 30, 2013

විවාපත් මිතුරියක කී කව


මිතුර
පෙමකින් මෙහා
සහෘදත්වයෙන් එපිටහ
තැනක් මෙදියත වේද
අපට මිතුරන් විය හැකි
නො එසේනම්
වෙනමවූ ශ්‍රිතයකදි
දිගෙලි වෙන බැඳුමක්ද

හිමි තුරුල සුව සදයි
දිවි සැරිය ඔහුත් හා
පානගමි එය සැබැයි
එතෙකදු අනිෂ්ටව
අපට ගල් ගසාවීයැයි භයින්
තවත් මිතුරු නොවී හිඳිමුද

එහෙව් සුරැකි තෝතැන්නක
පෙමට මෙහා මංකඩෙක
දිනෙක හිරු ගිලෙන්නට පෙරව
හමුවෙලා වෙන්වෙන්න හැකි වේද
හැකි නේද 

Friday, September 20, 2013

ගඟට වට මල


ඇය වැටුනේ අන් සියල්ලටම කලින්
දඟලලා දඟලලාමය.
පාර වැරදුනු අකල් හුළඟකට නතුව
අනිත් අය ගිලිහෙද්දී
ඈ නොගැඹුරු දියේ පුංචි දිය සුළියක
නටමින් උන්නාය.
මේ නම් විසිතුරු පොරිම යැයි සිතා
ගැඹුරු දියේ හිට දිව ආ 
කොරළිද කිති කවන්නට වූහ.
කලෙක තමන්ද
දියත්තක්ව හුන් සමය මතක්ව
ගඟද
මේ දඟය වින්දාය.
චණ්ඩි කොරළියෙකු නිසා
ඈ දිය සුළියෙන් ඉකුත් වද්දී
අන් සියල්ලෝම
පාව ගොස් හමාර බව පමණක් හැඳින්නාය.
බොල්ලැහැට දික් මල්පෙති
උස්සාන ලහිලහියේම
පහළට දිව ගියාය.
අහෝ...
ඈට මාලුන්ට සමුදෙන්නටවත් නොහැකි වීය.
මක් කරන්නද
ගඟක් වේනම් යම්
පහළටම යා යුතු නෙව. 


Tuesday, September 17, 2013

මනුසත් වෙරළ



ඉර අවරට යත හෙමිහිට
අවසන් එළි බිඳ සමගින
එය නොගනිති උහු සිතකට
සිත්ලූ වෙරළේ හිඳිමින

පය ඈතින් කර ඉක්මන්
හිරු දිවයයි ගිලෙනු රිසින
කෙසරු මිටින් දිය පොඟවා
නා පීරා අවුල් හරිත

රළ නැවතුනි ඉර නැවතුනි
මඳ අසුරක් ඔහේ ගෙවුනි
මුහුද මහා පොකුණක් බඳු
මුඩුම විලස බලා හැරුනි

හාත්පසම අඳුර විදුනි
මූදුබඩම දම් දුල දුනි
අන්තිම බසයත් ගිලිහුනු
සෙයකින් හිරු රවා රැඳුනි

ලත් අවසරයෙන් කැලඹුනු
අවුල් කැරලි හිසකේ ඇති
හම් බෑගය වෙරළ තබා
පොකුණට පා නැගි මිනිසෙකි

දණක් දියේ නොම නැවතී
ඉඟක් දියෙත් නොම නැවතී
නොමසල දිය රැළි නගමින
පිඹලන්නට වුනා හුස්ම

ඇකයේ පුත් වෙරළ දමා
පැන පිහිනා ගිය තවකෙක්
ඔහු බේරා වෙරළ හොවා
බැණ වැදුනා පුතු නොසොයා

දියබරිතව 'මළ මිනිසා'
වැලි ලුණු දිය නොම මිරිකා
හම් බෑගය කිහිලි ගසා
කාල් ගෑය පිල්ලි ලෙසා

දිය රැළි ආපහු බිඳුනා
නෝක්කාඩු ඉර ගිලුනා
රෑ බෝවෙන්නට කලියෙන්
සිතිජ කොනේ ගුලි ගැහුනා

විඩාව දුම් රොටුවෙ රුවා
ලතෝනි දී දනිපනිගා
මහ ගෑණියකගෙ විලසා
රේල්ලුවද මුනු මුනු ගා 
එහි නොරැඳී ඉගිල ගියා


"අපොයි ඕක මහ දෙයක්ද
 මැරෙන්න මහ හේතුවක්ද
 කාගෙත් දුක් කර පින්නං
 දෑහෙ මූණෙ  මූද තියං
 හැම දවසෙම දුක උහුලං
 අපිත් යනව දැකල නැද්ද "




Wednesday, August 14, 2013

ශේෂ කඳු











විසල් තැනිතලාවක
උන් හිටි තැන්වල ඈඳිගත්
හූවක දුරින් මූණට මූණ බලන්
පොඩි කඳු දෙකක් තිවුනා

ශත වර්ෂ ගාණක්
ගණන් නොතරම් අව් වැසි
පැමිණියද එදෙදෙන
සසැලි සිත ගල් කරන් උන්නා

ඉර එබෙන'හට ඔබ්බෙන්
මේකුලු බරණ ඇඳ
සතොසින් දවසරින
කඳු පවුල් උන් බවත් දන්නා

අපුලයි තනිය පාලුයි
පුංචිත්ති කෙටි පණිවිඩ
වියැලුනු හුළඟෙ අමුණා
එහෙ මෙහෙට ගිය දවස් තිවුනා

දරුපල නොම වැළඳ
ගං දූ කොමළි නොම ලද
මව් කඳු තෙම තරං
නෑඬුවත් හේ හිතින් ඇඬුවා

අහම්බෙන් දවසක
මනුසතෙක් ගිය දඩ මග
අවුරාන හිස් විලසට
දෙමහල්ලො ඔහෙ හිටන් උන්නා

කාලය ගත උනා
එකා පස්සේ එකා ඇදුනා
මාපිය ඇඟිලි බැඳෙමින්
බැම්මකින් මේ දෙපොල ඈඳුනා

හිටියදවත් නොදත්
කෘෂැති කදුරක් හරහට
යාවුනු බැමි තෙමේ
පුංචි වැව් කෙණ්ඩියක් තැනුවා

වනපෙත සරු උනා
කුඹුරු කරලින් පැහුනා
වෑදිය පණ උරා
තැනිතලාවම යුහුසුළු උනා


කුස නොම දැරූවත්
සෙවන යට උන් මනුසත්
දරු සුරතල් බලා
සැනහුනා ඒ දෙමාපිය හිත්


තන පුඩු කිරෙන් උතුරන
මව්වරු වේද යම් සේ
ලැම මැද සෙනේ ඉඩ දී
සැනහෙනා තව මවුන් බෝ වෙත්



Sunday, August 4, 2013

ඉබ්බෙක්මි













දියෙන් එපිට වනපෙත ගිනිගෙන ඇත
කටුව යටට හිස පමණකි දියමත
අඩක් දැවුනු පත් දියට වැටෙන සඳ
මදක් දුමැති නල රැළිති හමනු වෙද

මගේ පොකුණු දිය තවදු බොරව නැත
දැවුනු වදුලු මත තණ පූදිනු ඇත
නොවෙද සිතූ මේ මහලු ඉදිබු තෙම
ගැඹුරු හුස්ම ගෙන පතුලට කිමිදෙත


Sunday, July 28, 2013

පෙම්වත් වනරොද ඔහුගේ නම් වෙද



තණබිම් ඉද්දර
අහඹුව නැවතුනු
වන ගුල්මෙක අස
නැවතී හුන්නා

තුරුගොමු අතරින්
ලියවැල් නටමින්
වෙලේවි බඳ වට
හවසක ඇවිදින්


හිතමින් උන්නා
පතමින් උන්නා
අත් අල්ලාගෙන
යනතුරු කැන්දා

අහසට පෙමිනා
ඉහලට ඇදුනා
මිස තුරු අගිනා
බැල්මන් නොහුනා

දඩයක්කරුවෝ
දරමිටි කැපුවෝ
වනයට ඇදුනෝ
වනයෙන් මිදුනෝ

අදරැති සෙනෙහෙන්
මහකල් ගෙවුනා
කිකලෙක වනරොද 
ඉම නොම පරයා

හමරැළි වැටුනා
පස තෙත සිඳුනා
සුසුමෙන් සුසුමට
සෙවනැලි ඇරුනා

රංගය අවසන
බැරි පය ඔසවා
පෙම් බැඳි අරණට
යන්නට සිතුනා

පියවර සුඟකට
එපිටහ පැත්තේ
මතකය වහගෙන
මියැදී වැටුනා

වනයට රිදුනා
හුනිද නොඅඟවා
ඊයේ විලසම
ඉහලට වැඩුනා

දඩයක්කරුවෝ
දරමිටි කැපුවෝ
වනයට ඇදුනා
වනයෙන් මිදුනා

Friday, July 26, 2013

ගඟක වත


අනියම්ය ප්‍රේමය විටෙක
එකම උල්පත නොම සොයන්නට
බැතිමත්ය ප්‍රේමය
එකම ඌලක පැහැ සොයන්නට
විධිමත්ය ප්‍රේමය
හතර මායිම් පැන නොයන්නට
සිහිමදය ප්‍රේමය
විදුලි වැට උව ඉක්මවන්නට

පතිනිබර කදුරුද
පාමුලට යන ගැඹුරු දෙනිවල
ඉතා නිහඬව ගලා යනවා
කොයියම්ම අතුගඟක් අබිමුව

එහෙමමත් දවසක
දෙගම්මැදි බිම්වල
සරු පස පලා මතුවෙන
සුවඳ මල් පුසුඹට
දුවන හිතකට මදු තියමු තව ?

Sunday, July 21, 2013

පාපොච්ඡාරණය




නේරංජන ඉවුර මෙපිට
අවසඟ වී  දෙපය බරින
ආපහු නුඹ වෙතින් හැරුන
රාත්‍රිය මතකද

දිය ඇති නැති ගං වැල්ලට
මෙපිටහ ගංබඩ ඉඳඟෙන
කෙළෙස් කදක් උර තියාන
සුබ ගමන්ය යැයි පතන්න
කුහක උනා මං

සියෙරාමෙස්ට්‍රාවේ
කඳු බෑවුම් ගානේ
පාරමිතාදම් පුරාපු
චේ දැකලා නැත

ස්වාර්ථය බිම පාගා
පාරක් පාරක් ගානේ
දහදියරට ලේ හරවන
උඹ දැකලා ඇත


Tuesday, May 14, 2013

අතීතකාමය












අතීතයට මුහුණලාන
ඇවිද යමි
පසුපසට...
ඉඳහිට හැරීබලමි
පෙරමං ලකුණු මතකෙන්

මා අන්ධයැයි
කිව නොහැක නුඹ හට

ජීවිතය හැමදාම තිබුනේ
පරණ පහුවුන මතක ගොන්නක
යන්න යන්නම
අතීතය බර වැඩිඋනා මිස
අනාගතයක්
නොපවතී ලොව



Saturday, April 20, 2013

හිමි අහිමි




තහනම් සුළඟයි හමන්නේ
සිහිල ගත දැවටී...
හුස්මක අවසර නොදෙන්නී
සුවඳ පා දුවතී...
ලය දැදුරු නොම දන්නී...

ඔතරම් හිනා මල් කිමැයි
අද නුඹම විමසනු ඇතී...
හෙට නේන නුඹ සිහියේ හොවා
අද අඬන්නද හිතවතී...
දුක සතුට කර හිනැහෙමී...

කාලයම ඔච්චම් කෙරූ
ආලයන් ලොව පැවතුනී...
මේ ඇරඹුමද අවසනද නොවනා
බව නොදැන හිත බැඳී..
අද කාලයට ඔරවමී...





Related Posts Plugin for WordPress, Blogger...