අවුරුද්දට එකම දවස
අල්මාරියෙ කොනක පිපෙන
කපුරු බෝල සුවඳ පොවපු
අත්කොට කමිසේ...
පාණ්ඩු පෑ රතු පාටට
රතු කියන්න බැරි තරමට
අව් සැරේට වැහි පොදේට
දියවෙලා ගියේ...
අප්පච්චී උදේ රැයින්
පොල් කටු ගින්නේ පළහං
නැමි රාසිය එක දෙකකට
අඩුකර ගනිතේ...
අලුත් කමිස රැලට යටින්
හැමදාමත් එක දවසක්
එළඹෙනකං අවුරුද්දක්
බලාන ඉන්නේ...
උදේ රැයිං රේල්ලුවෙං
කැන්දං ගිය අප්පච්චී
ගෙට ගෙවදින තුරු ඉඳපං
නිර්ධන කමිසේ...
එක දවසේ පංති හටන
පහුවදාම පාවාදුන්
ජුදාස් එනකං නේ
උඹ බලාන ඉන්නේ...
දිය බේරෙන වැලේ කොනක
කණ කැස්බෑ ඉර එළියෙන්
අද විතරක් සැනහීයං
අත් කොට කමිසේ...