Sunday, May 16, 2021

 අනිශ්චිත තෙත් නිසල රැයවල්

විසි හතර පැය පනින දිගු දින
මතකයට වෙඩි තියයි...
ලේ හැලෙයි...
නිහඬවම ඉකි ගැසෙයි

චිතකයේ දර පවා
නොම ඇවිල, හිඳ තැවෙයි

Sunday, February 7, 2021

 වංකගිරියක

එකම තාප්පේ දෙපස
තැවෙන යුවලකි

 යුවතියකි පලමු හාදුවෙන් පසු

මිත්තාවට පියා සලන
පියගැට මතින
පොත් අහුරකි
ප්‍රේමයේ මධු නොවිසිරී එක්කාසු කල
රෝමයක් ගානේ
මිහිදුමටවත් නොසැලි
ආහ්ලාදයෙන් උජ්වලිත

 ඉපිලෙනා හිත උණුහුමයි තව

ඔබේ සුසුවඳ දොලොස් මහ පහනයි
වසං කරගෙන ප්‍රේම කල මැන
උන්මාදිනිය ඔබගෙයි...
ලයාදරයාණෙනී
උන්මාදිනිය ඔබගෙයි...

මීදුමට සැලි ගංදියේ අග
කල්පෙකින් හෙට හමුවෙලා...
තුරුල් කරගත් කතා සහසක
සසැලෙනා කුමරිය මෙමා...

ලිහිණියක වී පියඹමී
මේ නිම්නයේ මධු විසිරුනූ...
බීරිමෙන් ආතුරව ඉගිලෙමි
දෑස් නුඹ හමුවන තුරූ.. 

 සමහරක් විට

අප හුන් ගස් යට
ගං ඉවුරු මත
බංකු යට

දමා ආවා විය නොහැකිද
ප්‍රේමය

අහුලානොගත්තේ නං
තිබිය යුතු නේද තව

 සිවුරු හළ ප්‍රේමය 

ඔහේ බලා හුන්නේය
පාලං ඇන්දට වාරුවී..

වලාකුළු වියන් යටින්
මානා කඳු බෑවුම් වංගු අතරින්
කොහේදෝ සිට කොහේදෝ යන
තනි දොරේ සීටිබිය
නවත්තාවි තව මොහොතකින්


ප්‍රශ්න දෙකකි

නගිනවාද නැද්ද
පහලට
පනිනවාද නැද්ද

 නොකල්හි මුල් සිඳගත්

තුරු පවා තාවර වෙත්
දරා සියලුම දොම්නස්
මද නලක් දැක

මුල් සිඳී බොහෝ කල් ගියමුත්
ඇතැම් තුරු ඉවසාන පැවතෙත්
මඳ නලක් එන බවක් පෙනුනොත්
දෝස පවරා මුලින් ඉදිරෙත්

 මා ඉන්න තැන අඳුරුය

ඔබට ඒ ගැන නොදැනීම සොඳුරුය
නුඹද ඉන්නේ අඳුරක විය යුතුය

ඒත් මේ අඳුර ඉතාම අඳුරුය
මාව නොපෙනේ මට
පාර නොපෙනේ මට
නුඹව නොපෙනේ මට
නුඹවත් උන්නා නම් සොඳුරිය

පැතූ සියල්ල
සිතූ සියල්ල දියවී වැගිරෙන මේ මොහොතේ
සියලු දේ අඳුරුය

මේ මරණයද විය හැක
කිසිත් නොපෙනෙන
කිසිත් නොහැගෙන
නුඹත් නොම එන
මීට වැඩි රුදු තවත් නම්
යම් මරණයක් වෙද

 බොළඳ චිත්‍රපටියක ඉස්සර

රඟපාපු නලු තෙමේ හවසක
කොතෙක් හාදු තිබුනාද උණුසුම්
දෙබස් අමතක මිහිරි මතකෙක

ඊට මහ කාලෙකින් පස්සට
සීතලෙන් ගල් ගැහුණු කොපුලින
එකම ගංතෙර අසබඩ
තවම චරිතය හොය හොයා යත

 පින්තාරුව වී මා හදෙහී සේයා

ඒ රැය දුර නිසා
කන්තාරුව වී මා ලය සැනසෙනා
ප්‍රේම ගීතිකා
මායා දිලෙනා මා හා වෙලෙනා
මතක සිලු නිවා
අතීතෙන් පියඹා සීතේ සතපා
ඒවිදෝ සොයා

මා හා උන් ගං තීරෙම
රෑ බෝ උනු හැන්දෑවක
ඒ හීනෙම කැන්දාගෙන ඒදෝ සිතුනා
මා හා උන් ගං තීරෙම
රෑ බෝ උනු හැන්දෑවක
ලන්තෑරුම් එලි පාරක ඒදෝ සිතුනා

ලා මන්දාරමේ වැහි බීරමේ ගෑවී ගෑවී
ඒ හාදුත් අරන් කාටත් කලින් පාවී ඒවී

වාවනු නොහෙනා තනිකම් තිබුනා
සිතක ඇවිලෙනා
ඒ නම් පියඹා මීදුම් සඟවා
ලා හිරු රැස් මවා
Related Posts Plugin for WordPress, Blogger...