Wednesday, June 27, 2012

යා යුතු





මේ
අයස්කාන්ත තත්පර කිහිපය පමණක්
නිදන නුඹ දෙස බලමි...

වැහි වලාවක බිජුවටවත්
තවමත්
ගොවිබිම් කම්හල් උඩින් නොමැත

සොඳුර නොනැගිටින්න
ජීවමානවම
මසිත් පහණේ
සිත්තම් වන තුරුවත් හිඳින්න

මා
යළි නො එන නිසා නොව
නුඹ නොසිටිය යුතු නිසා
එපමණක්වත්
ගෙනයන්නට ඉඩ දෙන්න

ඉරත් වැහිත් ඇති සරුබිමට
යා යුතුය
අඳුරට පෙර
මානා ලඳු පීරා
මං තැනිය යුත්තේය
නුඹටත් හැමටත්
නිදුකින්
පා ඔසවන්නට

මතු හැම උදාවේම
පානා ඉර මැද
නුඹේ වත මවා ගමි
එ ඉරු පහනින්
දිරි උරා බොමි

හැපී විසුලත්
පෙණ පිඬව මා
නුඹ මතින්
ඒ බිඳිති
පියවර සුඟක ඔබ්බේ
නැවත දිය කදුරමය
එතෙක්වත්
නොනැගිටින්න
මසිත් පහණේ
සිත්තම් වනතුරු නිදන්න                                                                                                                              
                                                                                                                                                                   
                                                                                                                                                                 

Sunday, June 10, 2012

ඉතින් සොහොයුර



සොහොයුර,
පොලොවෙන් එසවුනු
පස් කණ්ඩියකට යටව
නිදා නො ඉන්න

නුඹ නාසා සිදුරු
පිරීගත් පස් බිඳිති
සරු පුසුඹ
ඉව කරන්න

යන්න බෝ මුල් අතරින්
කටු මැටි පාදම් යටින්
ගංගාධාර පස තුලින්
මේ බිමේ පස පීර පීරා

ගාලු මුවදොර
නුඹෙ සම්මාන පැලඳන්
අවු කූටකේ ඉකි ගසන
ඇවිදින නුඹෙ සොහොන් කොත වූ
වැන්දඹු ඈ යටින්
සැතපියන් මඳකට

ටිකකින් යන්න
හැරී උතුරට
නුඹෙ ලෙය සරින්
සරු වූ පස යටින් පිහිනා

දාගැබ් පාදම් යටින්
මහා වාපී බැමි තුලින්
වම් ඇලයට නිදන
මුතුන්මිත්තන් අතරින්
යන්න පිහිනා
පස යටින් උතුරට

සොයාගන්න
නුඹෙ වතවත් නොම දැක
නුඹේ ලය සිපි
උණ්ඩයේ හිමි
සොහොයුරා නිදන තැන

මදක් සැතපෙන්න ඔහු හා

මඳකින්
මුදන්න ඔහුත්
මේ නිදිගත් නිද්‍රාවෙන්

අසන්න ඔහුගෙනුත්
නුඹට වෙඩි බින්දේ
කවුරුන්ද සොහොයුර

එක්ව පිහිනා එන්න දකුණට
සොයාගෙන ඒ උණ්ඩයෙත් හිමිකරු

ඉතින් මගෙ සොහොයුර
ඔය පස් කණ්ඩිය යට
තවත් නම්
නිදා නො ඉන්න

තවත් බෝ දුර
පීනන්නට ඇත
නුඹට සහ අපට                                                                                                                                            
                                                                                                                                                                   
                                                                     

Monday, June 4, 2012

පිතු පාරමිතා



තටු අග බල්බයක් රැඳි
කුරුලු පියෙකි බසයේ මුල...


මැදිරිගිරියේ
වනේ බෙනයක
ඉන්න පැටවුන්
ගැන කියයි තව


හීලියම් හරි බරට පිට උන
බල්බය
බිඳියි තටු මත...


අසරණ සිනා සලමින
තලයි වීදුරු කටු
ගලනාලයට ගැලපෙන ලෙස


අයා මුව
විකා කටු කුඩු
ගිලින්නට පෙර
යදී රුපියල්


හුණට දහයේ කොල ගෙන
ගිලී  සපමින
දන මුව බියෙන් අයවන...


උගුරෙන් පහල
බඩටත් මදක් ඉහලින
තැනක් ඇතුවා මෙන
රුපියලුත් වීදුරුත් හාවෙන...


දහඩිය ලේ කෙලද
අනා 'සෙරිලැක් ' තනා තලි තලි
තදකර උගුර මැද
පියාඹාවී මැදිරිගිරියට


දමා බිලයෙන් හිස
මග බලන පොඩි හොටකට
වමාරා කැවු තලපේ
අනේ වීදුරු කටු නොවීයං


සපුගස්කන්ද ගිනි හුළ
උඩින් පියඹා මැදිරිගිරියට
යනු රිසි කුරුලු පිය
කවුළුවෙන් ඒ දෙසම බලමින


                                                                                           
                                                                                                       
                                         


                                                                               
             
Related Posts Plugin for WordPress, Blogger...