Showing posts with label ලිපි සහ කතන්දර. Show all posts
Showing posts with label ලිපි සහ කතන්දර. Show all posts

Tuesday, July 8, 2014

අඳුරට සාප කරන්න හැබැයි මේ කණ්ණාඩියෙනුත් බලන්න




මේ විසල් මහ පොළව මත ජීවිත සටන කොයි කලෙකවත් ලෙහෙසි වූවක් නම් නොවේ.සියල්ලෝම නොයෙක් අයුරින් කාසි සොයා කාසි මතින් ජීවිතය සොයන්නට තතනති.එබඳු තවත් මිනිස් කුලකයක ජීවිත අත්දැකීම් අහුරක් දෙස සමීපව බලන්නට දරන වෑයමකි මේ.

සමාජයේ සෑම ස්ථරයකටම අවියෝජනීයව ඒත් අසම්මතව යාවී ඇති ගණිකා වෘත්තිය නොදන්නෙකු නෑසූවෙකු සිටි‍ය නොහැකිය. එහෙත් මේ කතාබහ ඔවුන් සියල්ලම ගැන නම් නොවේ. ඒ කුලකයේත් අඩුම ලංසුවේ සමාජ නියෝජනය වන වීදි ගණිකාවන් ගැනය. කෙටියෙන්ම කීවහොත් පිටකොටුවේදී රාත්‍රියට ඔබට ඇස්සර ගැටෙන ඔවුන් ගැනය.
ජිනා මැඩම්ගේ තිප්පොලේ පටන් විදේශීය සුරූපිනියන් දක්වා පුළුල් පරාසයක විහිදෙන මේ කුලකයේ වීදිගණිකාවකගේ තැන අඩු ලංසුවට උවත් කිසිම විටක ගනුදෙනුකරුවන්ගෙන් අඩුවක් නම් නොපවතී. පිටකොටුවේදී මහ රෑට දුරගමන් බස් රථයෙන්  බැසගෙන ගමට පාන්දර බස් එක එන තෙක් කල් මරන කිසිවෙකුගේ අතේ එල්ලී රෑ පහන් කරන ඇයට වෙසඟන යැයි බැණ අඬ ගසනවාට එසේත් නැත්නම් අනේ පවුකාර ජීවිත නොවේදැයි අනුකම්පා කරනවාට වඩා වෙනස් දෙයක් සිතීමේ සහ කිරීමේ හැකියාවක් ඔබට මට පැවතිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. නීතියේ ඇසේ අන්ධ බිංදුවේ තම ජීවිකාව ගෙන යන මේ මිනිස් රංචුවේ  ජීවිත වෑයම දෙස ඇස් ඇර බලමු. 
ඇගේ ගතේ උණුසුම රෑ අඳුරේ වහන්ව වීදි පහන් යට කොයි කාට විකිනුනත් දහවලේ එලිය මැද ඔවුන් කුමක් කරනවා ඇතිදයි අපි සිතන්නේ නැත.ඔවුන් රූපයෙන්  බොහෝ විට අපුල පෙනුමැතිය. වැඩි හරිය මැදි වියේ අවුරුදු 40ත් 50ත් අතර වෙද්දී දර්ශීය ගැහැණු ලස්සන ඔවුන් කෙරේ නැති තරම්ය. තරබාරු, අව පැහැ දූවිලි වැකුණු සම ඇතිව අවුල් හිසකෙසින් සැරසීගෙන සරන ඇතැමෙකුගේ යාචක ස්වරූපයක්ද නැත්තේ නොවේ.අගනුවරට දුර බැහැරින්ද ඇතැම්විට කටුනායක රත්මලාන ආදී තදාසන්න ප්‍රදේශවල සිට පිටකොටුවට එන මේ අය  අරුණෝදයට පෙර තම අත මිට මෙලවෙන දහසේ කොල කීපයත් සැට්ටයේ රුවාගෙන තම ආ දෙසටම පිටවී යන්නට  යති. දහවලට අමතර නිහඬ ජීවිකාවක එනම් ඇඟලුම් කම්හලක තෙල් මෝලක සන්නිවේදන මධ්‍යස්ථානයක තවත් කීයක් හෝ සොයාගන්නට අමතක කරන්නේද නැත. තවත් කණ්ඩායමක් නවාතැන් ගැනීමට ස්ථිර තැනක් නොමැති නිසාවෙන් මගී පාලම්වල කඩපිල්වල දහවලේ ගිනි රස්නයෙන් ගැලවී සිටීමට ඔහේ කල් ගතකරති.තවත් සමහර ජීවිත මත්කුඩුවල ගිලී සැනහී ඊළඟ කුඩු උගුර වෙනුවෙන් කාසි සොයා ඇවිදිමින් සික් එකටම දියවී යති. ඔවුන්ට අදින් එහා ලෝකයක්ද හෙට නම් වූ කාලයක්ද නොමැති සේය. ඒ අතර මුණ ගැසුනු එක් කතක් එංගලන්තයේ ඉගෙන ගන්නා දුවට යවන්නට මුදල් එකතු කරනවා යැයි කීමට තරම් දිරිමත් සිතැත්තියක වූවාය. දියවැඩියාවට කකුල් දන් දුන් පුරුෂයා රැක බලාගන්නේ මේ ආදායමෙන් යැයි කීවේද වගකීම් සහගත හඬකින්ය .

සමහරුන්ට ජාතික හැඳුනුම්පතක් හෝ ඇතැම් විට උප්පැන්නයක්වත් සොයාගන්නට නැත.පුරවැසි අයිතිවාසිකම් යන්න මොනවාද කියාවත්  දන්නේ නැත. මේ අවු අස්සේ තමන්ට වැට බඳින නීතියට නම් අප්‍රමාණව වෛර කරන්නට අමතක කරන්නේ නැත. නීතියේ රැකවලුන්ට ගෙවන කප්පමෙන් පමණක් තමාගේ වැයික්කියේ  නිදහසේ සැරිසැරිය හැකි බවට ඇතමෙක් පාරම්ද බාති.ඒ කෙසේවෙතත් මේ වැරදි රස්සාවේ නොයෙදෙන දාටත් පොලිස් පොතේ නඩුගණන පිරවීමට රිමාන්ඩ්වීමට කොයි වෙලාවේත් සූදානම් ශරීරයෙන් සිටිය යුතු බව ඔවුන් නගන ප්‍රධාන මැසිවිල්ලකි. විශේෂයෙන්ම අගනුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රන  ඇති කාලයට පාරේ දඩාවතේ යන බල්ලන් මෙන්ම වීදි සරන මේ ගැහැණුන්ද කූඩුවලට ගාල් කිරීම කෙරෙන්නකි.නීතිපොතේ වැරදිකාරයෙකු වූ පලියට මූලික මානව අයිතිවාසිකම් අහිමිවීමට සහ අතුරු පීඩා පැමිණවීම් හා අත් අඩංගුවට ගන්නා නිලධාරීන්ගේ අඩන්තේට්ටම් වලට නිරන්තරයෙන්ම ගොදුරු වෙති.  ඇප ගෙවා නඩුවෙන් නිදහස් වී උසාවියෙන් පිටතට  එන දොරටුවේදීම  නැවතත් කුදලාගෙන පොලිසියට ගිය කතා බොහෝමයක්මද ඒ අතර විය

ලිංගාශ්‍රිත රෝග බයද ඔවුන් තුල නැතුවාම නොවේ. එහෙත් අතට උනන ලෙහෙසි කාසි පොදිය නිසාවෙන් එය අමතක කර ඉන්නට පෙළඹෙති.
මේ මා  එළඹෙන්නට යන්නේ ඔවුන්ගේ ඉරණමේ හැරවුම් ලක්ෂයම නොවුනත් එකතරා මං සන්ධියකට බව නම් නොකිවමනාය.
මට ඔවුන් හමුවුනේ මහමගදී නොවේ. දහස් ගනන් එහා මෙහා යන නගරයක ඔවුන්ටම වෙන්වූ ප්‍රජා මධ්‍යස්ථානයකදීය.
රාත්‍රියේදී සොයාගන්නා නෝට්ටු කීපය අතැතිව කිහිපදෙනා බැගින් එතැනට ලඟා වෙමින් සිටියහ.එය අපූරු තැනකි. සමාජයේ පිළිකුලෙන් බැට කන ඔවුන් එකිනෙකා හා සහ සම්බන්ධතා පවත්වති. සුහද සාමීචියේ යෙදෙති. එකිනෙකා කෙරේ සම හදැතිව ඉන්නට එකිනෙකාගෙන්ම උගනිති. දහවලේදී පිරිසිදුතාව, නීරෝගීකමේ අගය ගැන උගනිති. ලිංගිකව සම්ප්‍රේශණය වන රෝග වලක්වාගන්නට දැනුවත් වෙති.එපමණක් නොවේ තමන් උපයන මුදල තමාගේම ගිණුමක ඉතුරු කරමින් සකසුරුවම උගනිති.ලියන්නට කියවන්නට උගනිති. පුවත්පත් සඟරා ඇසුරෙන් ලෝකය දකින්නට පෙළඹෙති. වඩාත්ම සිත්ගන්නා සුලු කාරනය වන්නේ එහිදී ඔබ ඔය වෘත්තිය අත් හළයුත්තේමය යැයි ඇඟිල්ලෙන් ඇන ඇන බල නොකිරීමයි. සියලු මිනිසුන්ට හිමි තමාට හිමි යැයි නොදත් තම අයිතිවාසිකම් ගැන උගනීමට ඔවුන්ව යොමු කිරීම මෙන්ම නීති ආධාර අවශ්‍යවිට එය ලබා ගන්නේ කෙලෙසද යන්න පවා ඔවුන්ට පැහැදිලි කරදෙති. දුහුවිල්ලෙන් දහදියෙන් වැකී නීතියේ රැහැනට බියෙන් ගෙවන මේ ජීවිතයට එහා දේවල් ඇති බව ඔවුනටම දැනෙන්නට සැලැස්වීම මෙ සාර්ථකත්වයයි. චර්යා විද්‍යානුකූලව ගත් කල මෙය පූර්ව අවලෝකන , අවලෝකන අවධිවල පසුවන මේ ස්ත්‍රීන් අධිෂ්ටාන අවධිය තෙක් ගමන් කිරීමට ඉඩ සැලැස්වීමකි. විනෝදාංශ වශයෙන් හෝ අමතර ආදායම් මාර්ගයක් වශයෙන් හෝ එසේත් නැත්නම් පවත්නා තත්වයෙන් අත් මිදී ස්වයං රැකියාවක් වශයෙන් විවිධ අත්කම් නිර්මාන මැහුම් ගෙතුම් කිරීම සඳහා පෙළඹවීම් සහිත සහ යම් යම් පහසුකම් සහිත පරිසරයක්ද ගොඩ නැගෙමින් පවතී. මීට අමතරව  කණ්ඩායම්ගත ක්ෂෙත්‍ර අධ්‍යාපනයද මෙහිලා සිත්ගන්නා සුලු ක්‍රියාකාරකමකි. රට, කලාප හෝ දිස්ත්‍රික්ක ගනනාවකට බෙදා ඒ ඒ කලාපයට මේ ගැහණුන් අතරින්ම තෝරාගැනෙන අය කණ්ඩායම් නායිකාවෝ ලෙස තේරී පත්වෙති. ඈ සක්‍රීයව වෘත්තියේ යෙදීම අත්‍යවශ්‍ය නොවන අතර ඇය යටතට තවත් 15-20ක් අතර වීදි කතුන් අනුයුක්ත කෙරෙන අතර ඒ කුඩා කණ්ඩායමේ සුභ සාධන කටයුතු, ප්‍රජා මධ්‍යස්ථානය හා සන්නිවේදන කටයුතු, ලිංගාශ්‍රිත රෝග නිවාරණ තොරතුරු හා උපත් පාලන කොපු බෙදාහැරීම ආදී වගකීම් නායිකාව සතුවේ. මෙමගින් අගනුවරට දුරබැහැර ප්‍රදේශවල වීදි සරන්නියන්ගේ යහ පැවැත්ම උදෙසාද සැලකිය යුතු වැඩ කොටසක් ඉටුවේ.ඒ සඳහා මේ නායිකාවන්ට සුළු වේතනයක්ද හිමිවේ. වඩාත්ම සිත් සසල කරන කාරණය වනුයේ මේ මධ්‍යස්ථානයේ ස්වෙච්ඡාවෙන් සේවය සපයාදෙන කිහිපදෙනෙක්ම දැනට එච්. අයි. වී ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවන් වීමයි. ඔවුන්ගේ මේ මැදිහත්වීම ඉහත පණිවිඩ ප්‍රබලව ඉහත කී කුඩා කණ්ඩායම් තුලට බැහැර කල නොහැකි රතු නිවේදනයක්ද සමඟින්  සමඟ කාවැද්දවීමේ ලා තීරණාත්මක කාර්යභාර්යයක් ඉටු කරයි. සැබැවින්ම මේ එච් අයි වී ආසාදිත ස්වෙච්ච්ච කණ්ඩායමේ මැදිහත්වීම ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ඉහල නැංවීමටද දායක වන්නකි.මෙ ව්‍යාපෘතිය මේවනවිට  සැළකිය යුතු ප්‍රගතියක්ද අත්කරගෙන තිබුනත් අඬුලුහුඬු නැතුවාම නොවේ. මෙම ක්‍රියාවලිය තුලින් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වීම උගහට නමුදු දැනට ඔවුනගේ සුභ සාධනය අතින් සාධනීය ප්‍රතිපල පෙනවාලමින් තිබේ.එමෙන්ම මේ වෘත්තියට තිත තබා යලිත් සමාජයට පානගන්නට එමෙන්ම වෘත්තීය හුරුව ලබාගැනීමේ විධිමත් වෘත්තීය අධ්‍යාපන සැලැස්මක අවශ්‍යතාවද තදින්ම පවතී.

ඉතින් ජීවිතය තමන්ගේ ක්‍රමයට දිනන්න තනන මේ ගැහැණුන් වෙනුවෙන් ඔබට මට කල හැකි යමක් වෙද යන්න අප සිතා බැලිය යුතුය. ඔවු...මේ වෘත්තියට පා තැබීමේ වරද ඔවුනගේම බව සැබෑවකි. එනමුත් ඔවුන් මේ තැනට තල්ලු වී යන තැනට වැඩ කටයුතු සැලැස්වූ මේ පරිභෝජනවාදී සමාජයේ ඔබත් මමත් කොටස්කරුවෝ වම්හ.ඔවුනගේ ඉරණමේ වක්‍ර කොටස්කාර මේ සමාජ ක්‍රමයේ මෙන්ම වත්මන් සමාජ චින්තනයේද නිවැරදි විය යුතු තැන් බොහෝමයක් බව සැබෑවකි. සමාජ අසාධාරණත්වයෙන් ගොඩ ඒමට තනන ඔවුන්ට සැබෑ මිනිසුන් ලෙස වගකීමේ සහ මිනිස්කමේ හස්තය දිගුකලයුතු කාලය එමෙන්ම ඒ සඳහා අපගෙ සිත් සතන් පුරුදු පුහුණු කරගැනීම අවශ්‍යතාව කෙදිනකටත් වඩා අද තදින්ම පවතින්නකි.නීතියේ වැරදිකරුවන්ට මානව හිමිකම් අහිමි කරවීම ජාතික ප්‍රතිපත්තිය කරගත් රටක අඳුරට සාප කරමින් හෝ මේ දුලන්නට තනන කදෝ පැණි එළි වැට ශක්තිමත්කරලීම අප කාගෙත් වරිග යුතුකමක් නොවන්නේද 

Saturday, April 14, 2012

අවුරුද්දේ ස්තුති කතාව




හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!ඉතින් මොන විදියටද මේක ලෝකයාට කියන්නෙ කියල කල්පනා කරා.පොර සෙයියාවෙන්ද? එහෙම නැත්තං අහිංසක පුංචි ආඩම්බරෙන්ද අනේ මන්ද අන්තිමට විදියක් හිතාගන්න බැරි උන හින්ද එහෙම් පිටින්ම කියල දාන්න හිතුව.මේකයි ...!
මේ බ්ලොග් පිටුව පටන් අරන් හෙටට අවුරුද්දක් පිරෙනව.
මේ තියෙන්න මම පලවෙනියටම දාපු පෝස්ට් එක.
ඉතින් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ කීප දෙනෙක්ම ඉන්නව විශේෂයෙන්.ඒ අයට ස්තුති කරන්නයි විශේෂයෙන් මේක දාන්න හිතුවෙ.මුලින්ම මම ආදරයෙන් මතක් කරනව ලහිරුව ඒ කියන්නෙ මාවම.මොකද වැඩක් පටන් අරන් අවුරුද්දක් තිස්සෙ අතරින් පතර උනත් නවත්තන් නැතුව කරන් යන්න තරම් ධෛර්යයක් මට තිබ්බ එක ගැන මම හුඟක් සන්තෝස වෙනවා.ඒකම මට හුඟක් වටිනව.ඊලඟට තමයි වැදගත්ම කෙනා.එයා තමයි මට  ඉරණමෙන්ම හම්බෙලා තියෙන සෝදුපත් බලන්නිය.හැම කවියක්ම ලිපියක්ම මුලින්ම දකින්නෙ එයා.මේක හරි නැහැ,මේක චාටර්,මේක නං ටිකක් ෂේප් කියල මාව නිතරම දිරිගන්වන්න ඇය තමා.එයාට මගේ ලබැඳි ප්‍රණාමය.ඊලඟට පිලිවෙලේ හැටියට නම් පණ්ඩිත්.මේ දවස්වල මාත් එක්ක තරහ උනාට මුලින්ම බ්ලොග් හදන්නෙ කොහොමද කියල ඇහුවම බ්ලොග්ස්පොට්.කොම් පැත්තෙ ගිහින් බලපං කිව්වෙ පණ්ඩිත්.එහෙම ගිහිල්ල ඔහේ ඊලඟ පියවරවලට ගියාම මම දන්නෙමත් නැතුව බ්ලොග් එක හැදුන.මුලින්ම ඩිෆෝල්ට් හැදුන ඩිසයින් එක මාස ගානකට පස්සෙ මාරු කරෙත් පණ්ඩිත්මද කොහෙද.
ඊලඟට මම මුහුණ පාපු දුෂ්කරතාවය තමා අනික් හැමෝගෙම බ්ලොග්වල තියෙන විජෙට්ටු මගේ එකටත් දාගන්නෙ කොහොමද කියල.හැම එකටම පණ්ඩිත්ටම කරදර කරන්න බැරි හින්ද තනියම ඒව දාගන්න සෑහෙන ට්‍රයි කරා.ගූගල් වලින් වැඩ දාල උනත් අන්තිමට දැන් තියෙන ඔක්කොම දාගන්න බැරි උනා.ඒ වෙලාවෙ ලැජ්ජාව පැත්තක තියල ප්‍රාර්ථනා නංගිගෙනුයි අසංක අයියගෙනුයි ඒව දාන්නෙ  කොහොමද කියල අහගත්ත.
මම ලියපුව හුඟ කෙනෙකුට තේරෙන් නෑ කියන ප්‍රශ්නය ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම තියෙන එකක්.බ්ලොග් එකටත් ඒකෙ වෙනසක් උන් නෑ.ඒකට හොඳම උදාහරණ තම මේ පෝස්ට් කීපය.
ඒකට හේතුව තමයි දෙන්න හදන පණිවිඩේ කවිය හරි කතාව ඇතුලෙ හරි හංගල කියාගන්න ගියාම අන්තිමට ඒක මටවත් හොයාගන්න  බැරි විදියට හැංගිලාම යන එක.මගේ සමීක්ෂණ වාර්තා වලට අනුව වැඩිපුරම බ්ලොග් එක ලියවිලා තියෙන්නෙ එක්සෑම් ස්ටඩි ලීව් කාලවල.වැඩක් හරියට නැති කාලවල ලියවෙන්නෙ ඉඳහිට තමා.ඉතින් බ්ලොග් එකටත් මම ස්තූතිවන්ත වෙනව එක්සෑම් කාලෙට මගෙ විවේකය ගතකරන්න දඩ මීමා වෙනවට.
බ්ලොග් එකට කමෙන්ට් කරල දිරිගන්වන හැමදෙනාටමත් ස්තූතියි.  ෆැකල්ටියෙදි හම්බෙලා අදහස් යෝජනා දෙන හැමදෙනාටමත් ස්තූතියි.මේක මුලින්ම පටන් ගත්තෙ හිතෙන දේවල් කවිවලට හරවල ඉදිරිපත් කරන්න.ඒත් පස්සෙ මම යන යන තැන්වල විස්තර දාන්නත් මට හිතුන.ඉස්සරහට තව මොන මොනව දාන්න හිතෙයිද දන් නැහැ.සියලු දේ අනිත්‍යයි කියනවනේ.තව පොඩි දෙයක් බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලෙ නලිනි චන්දිමා අක්ක ඇතුලු හුඟාක් දෙනා සතුටු හිතෙන විදිහේ අදහස් දක්වලා තිබ්බා.ලත් තැන ලොප් නොවී මෙච්චර දුරටවත් මේක කරන් එන්න ඒක මුල්දවස්වල ලොකු හයියක් වුනා.
අවසාන වශයෙන් මගේ මනස්ගාතවලට මහන්සියෙන් හරිහම්බු කරගත්ත සල්ලිවලින් ලැප් එක අරන් දීපු පොඩි මම්මවයි ඩොංගල් එකේ බිල ගෙවන්න තරං කාරුණික වෙන අම්මවයි අප්පච්චිවයි ඒ වගේම හුඟක් වෙලාවට ඩොංගල් එක ඉවර උනාම මගේ සහයට ඉන්න ෆැකල්ටියෙ වයිෆයි එකයිත් හොස්ටල් එකේ වයිෆයි එකයිත් ආදරයෙන් සිහිපත් කරනව. ඉතින් මේ පෝස්ට් එක දාන හිතුවෙ මගේ සෝදුපත් බලන්නිය ඇරෙන්න කවුරුවත් මේ විස්තරේ දන්නෙ නැති හින්දයි.ඒ මොකද අනිත් මිනිස්සුන්ට වෙන වැඩ නැතුවය මගේ පලවෙනි පෝස්ට් එකේ ඉඳන් දින ගැන ගැන ඉන්න.
හරි...! එහෙනන් මට වැරදුන් නැත්තං ස්තුති කරන්න හිතන් හිටපු හැමෝටම ස්තුති කරා.ඉතින් අනේ කාව හරි අමතක උනානං මම දෙවෙනි ඇනිවසරියෙදි ස්තුති කරන්නම්කො.

 ඉතින් ඔන්න ආයෙත් කියනව පුලු පුලුවන් වෙලාවට ඉතින් මේ දිහාවෙදි හම්බෙමුකො.හැමෝටම ප්‍රීතිමත් නව වසරක් වේවා                                                                                  
                                                                                           
                                                                                       
                                 

Monday, December 19, 2011

වස්සාන දියවර 2012-කැලෑගම අපේම මිනිසුන් වෙනුවෙන් අපේ මිනිසත්කමේ යුතුකම

කැලෑගමේ මල්

මේ පුංචි රටේ දස අතේ විසිරිලා ඉන්න දහස් ගාණක් වෙන ජීවිතවල අයිතිකාරයො නොනවතින අරගලයක හැම නිතරම නිරතවෙමින් පුලුවන් උපරිම හොඳින් ජීවත් වෙන්න දත කනවා.මේ සටන ගමේ නගරයේ කියල වෙනසක් නැතුව අනවරතව ඉදිරියට ගලාගෙන යනවා.රටේ නගර අවට බහුතර සැප පහසුකම් මැද්දෙ අපි අපේ ජීවිත සටන ගෙනියන වෙලාවක මේ කතා කරන්න යන්නෙ මේ රටේම තවත් කොනක මූලික මිනිස් අවශ්‍යතාවනුත් අහිමිව තමන්ගෙ දිවි අරගලයේ ගැලිල ඉන්න අපේම සහෝදර පිරිසක් ගැන

කැලෑගම සිරියාව


 මේ ලංකාවෙ තියෙන දහසකුත් ගම්මාන අතරින් එකක්.කුරුණෑගල පුත්තලම පාරෙ නිකවැරටියෙන් හැරිල කිලොමීටර් විස්සක විතර දුර ගියාම තමයි කතාවෙ කියවෙන කැලෑගමට  යන්න පුලුවන් වෙන්නෙ.නමින් කියවෙනව වගේම කැලෑ මණ්ඩිවලින් වටවුනු පාරකින් තමා ගමට ඇතුල්වෙන්න තියෙන්නෙ.ගමට ගමන් පහසුව සලසන්න එකම එක ලංගම බස් රථයක් විතරයි තියෙන්නෙ.ගමට ඇතුල්වෙන අපට අපූරුවට නිලන කුඹුරු යායවල්,රැළි නගන වෑ දිය මතින් හමායන සුන්දරත්වය ආගන්තුක මිහිරක් එක් කරනව උනාට මේ වියළි පස මත්තෙ උදේ හවා හැප්පෙන,තමන්ගෙ දෝතින් ගෙන වතුර බිංදු කීපෙකින් වපුරන බිජුවටවලින් අලුත් දල්ලක් නංවන්න ඔවුන් හෙලන දාඩිය කඳුලෙ හැංගුන සුන්දරත්වය නං අපේ ඇස්මානයට ගෝචර නොවෙන තරං.ඒ හින්දමයි කොළඹ වෛද්‍ය පීටය වාර්ෂිකව පවත්වාගෙන එන "වස්සාන දියවර" මනුෂ්‍යත්වයේ දෑත අපි කැලෑගමේ අපේම මිනිසුන් වෙනුවෙන් දිගුකරන්නට හිතුවෙ.

ගමෙන් අපිට 

කැලෑගම මනුස්සකම් අතින් දෝරගලන ගැමි හදවත්වල අපූරු එකමුතුවක්.මුල් හමුවීමෙදිම ගමේ සියල්ල අප වෙත දිගු කල සෙනෙහසේ දෑත අපව හැඟීම්බර නොකර නොසිටි තරම්.පහුගිය බිනර පුන් පෝදා අපි ගමේ පන්සලට මුල්වරට ගොඩ වුනේ ගමේ තියෙන අඩුපාඩු සියල්ල පාහේ අහල දැනගෙන හැකි උපරිමයෙන් ඒවට පිලියම් යොදන අරමුණෙන්.දායක සභා රැස්වීමෙදි අපි අඩුපාඩු ලැයිස්තුවක් බලාපොරොත්තු වුනත් ඔවුන් සතුව එවැන්නක් තිබුනෙ නැහැ. දුෂ්කරතා මධ්‍යයේ වුනත් තමන් අසරණ යැයි සිතීමට තරම් ඔවුන් අසරණ නොවී සිටියා.අවසානයේ නිර්ව්‍යාජ එක ඉල්ලීමක් පමණක් ඔවුන්ගේ මුවින් පිටවුනා.ඒ ඔවුන් එදිනෙදා හැබෑවටම බැට කන ජල ප්‍රශ්නය.නාන කාමරයෙ වතුර මල යටට වෙලා අපි දවසෙ සරතැස දිය පොදක දිය කරල අරිද්දි මේ මිනිස්සු බොන්න වතුර පොදක් හොයාගෙන නිරුදක බිම පීරනව.ගමේ තියෙන හැම ළිඳකම වතුර කටේ තියන්න බැරි තරම්ම කිවුලයි.බීමට යන්තම් හෝ සුදුසු තරමේ ජලය ඇත්තේ පුද්ගලික ළිං දෙකක පමණයි.මේ ළිං දෙක දැනටත් ගමේ හැමෝගෙම පාවිච්චියට විවෘතයි.ඒත් දවසෙන් වැඩි වෙලාවක් දිය හොයාගෙන ගම පුරා කාල්ගාන්න වීම ඔවුන්ගෙ ජීවිතවල දෛනික වැඩ කටයුතු අඩපණ කරවන්න සමත් වෙලා.ජල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ්වලට ලක්කිරීමෙදි අපිට දැනගන්න ලැබුන හොඳ ෆිල්ටරයක් භාවිතයෙන් මේ ජලය බීමට සුදුසු තත්වයට  ගේන්න පුලුවන් බව.මේ ළිඳෙන් ගමටම වතුර දෙන්න අපහසු උනත් අපේ සැලැස්ම වුනේ ජලය පෙරනයක් හරහා ටැංකියකට යොමු කරල වැඩිපුර ගමේ අය රැස්වෙන පන්සල,පාසල හා මධ්‍යම බෙහෙත් ශාලාවට ජල සැපයුම ලබාදෙන්නයි.මේ සරල නල පද්ධතියට ලක්ෂ 6ක පමණ මුදලක්වත් අවම වශයෙන් වැයවන බව ඇස්තමේන්තු කිරීමේදී දැන ගන්න ලැබුනා.ගම උදෙසා අපේ මෙහෙවරේ මූලිකම අරමුණ වන මේ කටයුත්ත සාක්ෂාත් කරගන්න එක තරමක අපහසු කටයුත්තක් වුනත් එය ඒ ආකාරයෙන්ම සිදුකරන්න දැනටමත් අපේ සොයුරු සොයුරියො ලොකු මහන්සියක් දරනව.
පාසල් සෞඛ්‍ය පරීක්ෂණයෙදී


ගමේ විහාරස්ථානයට ගොඩවුන මොහොතෙ අප අඳුනගත්ත අඩුපාඩු නම් බොහොමයි.වැසිකිළි හා ජල පහසුකම් නොමැතිකම,දහම් පාසලේ ගොඩනැගිලි හිඟය,ඩෙස් බංකු,පොත්පත්,නිල ඇඳුම් හිඟය ඒ අතරින් මූලිකම වෙන බව අපට වැටහුනා.ප්‍රදේශයේ ගම්මාන කීපයක්ම සඳහා තියෙන එකම දහම් පාසල වෙන මෙහි දැනට දරු දැරියො 160ක් විතර දහම් දැනුම ලබනවා.ගමට ආසන්නයේ පිහිටල තිබ්බ තවත් පොඩි පන්සලක,පන්සලකට තියෙන මූලිකම දෙයක්වෙන බුදුපිළිමයක්වත් නැහැයි කියල අපිට අහම්බෙන් වගේ දකින්න හම්බුනා.

ගමේ පවුල් 240කට අයත්ව ගම්වැසියන් 760ක් විතර ජීවත් වෙන බව දැනගන්න ලැබුන.ඉන් පවුල් 70කට විතර විදුලිය පහසුකම් නැති බවත් පවුල් 23කට අවම වැසිකිළි පහසුකම්වත් නැති බව ග්‍රාම සේවක මහත්මිය එක්ක අපි කරපු කතා බහේදි අපට දැනගන්න ලැබුන.

අපේ ගමනෙ ඊළඟ නවාතැන වුනේ කැලෑගමේ ඉස්කෝලෙ.1 වසරෙ ඉඳන් 11 වසර වෙනකන් පංති පැවැත්වෙන මේ ඉස්කොලෙ අකුරු කරන 200කට ආසන්න සිසු දරු කැළට උගන්නන්න ඉන්නෙ ගණනින් 13ක් වෙන ගුරු මණ්ඩලයක්.කොච්චර අවම පහසුකම් යටතෙ උනත් සහජ දක්ෂතාවය යට කරන්න බැහැයි කියන එකට හොඳ උදාහරණයක් අපිට මේ පාසල් බිමෙන්ම හම්බ වුනා.පහුගිය අවුරුද්දෙ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක් ලබාගෙන සමත්වුන සඳුනි සිසුවිය තමයි ඒ.ඒ වගේම තවත් දරුවො දෙන්නෙක් ශිෂ්‍යත්වය සමත් වුනා කියලත් දැනගන්න ලැබුනා.පාසල් බිමේ ඩිංගක් එහාට මෙහාට ඇවිදිද්දි අපෙ ඇස ගිය තැන් බොහෝමයි.පාසලට සාමාන්‍ය විද්‍යගාරයක් සහ පරිගණක විද්‍යාගාරයක් නැති වීම ඒ අතරින් අපි දුටු මූලිකම අඩු පාඩුවක්.කොම්පියුටරය නැතිව මොකවත්ම කරගන්න බැරි ලෝකෙක ඒ ලමයි එහෙම දෙයක් ගැන අහල දැකල නොතිබ්බ තරම්.ඒ විතරක් නෙවෙයි පාසල් ගමනට ඕනෙ කරන පොත් පත්,ලිපි ද්‍රව්‍ය,පෑන් පැන්සල්,නිල ඇඳුම් සපත්තු දේවල් වගෙම පාසල් පුස්තකාලය වැඩි දියුණු කරල දීමත් අපේ අරමුණු ගොන්නට එකතු කරගන්න අපි තීරණය කරා.තූර්ය වාදන කණ්ඩායමට හිඟව තියෙන තූර්ය වාදන භාණ්ඩ හොයා දෙන්නත් අපි හිතාගත්ත.
පාසලේ ශ්‍රමදානයේදී

ගිය මාසෙ නොවැම්බර් 11වෙනිද වෛද්‍ය පීට බෞද්ධ ශිෂ්‍ය සංගමයත් එකතු වෙලා පාසල් භූමියෙ ශ්‍රමදානයක් වගේම පාසල් සෞඛ්‍ය පරීක්ෂණ වැඩ සටහනක් පැවැත්වුවා.මේ කටයුත්ත සාර්ථකව අවසන් වුන අතර එහිදී හඳුනාගත්ත දරුවො වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරුනා.ගමේ දරුවන්ට බාහිර ලෝකයේ ඔවුන්ගෙන් දුරස්වෙලා තියෙන බොහෝ දේවල් ඔවුනට සමීප කරවන්නත් ඒ වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පෙළඹවීම ඇති කරවන්නත් කියන අරමුණුවලින් යුතුව ආදි ආනන්දීය තාරකා විද්‍යා සංගමය සමග එකතු වෙලා තාරකා විද්‍යා කඳවුරක් දෙසැම්බර් 3වෙනිදා ඉතා සාර්ථකව කැලෑගමේදි පැවැත්වුනා.

කැලෑගමේ පාසලේදී

පාසලෙන් අපි ඊලඟට ගොඩ වුනේ ගමේ බෙහෙත් ශාලාවට .ගමේම සුවසෙත සොයාබලන මේ ස්ථානය තිබුනෙ බොහෝම අබලන් තත්වයක.රෝගියෙක් දිගාකරල සේලයින් බිංදු දෙක තුනක් ලබාදෙන්න අඩුගනනෙ රෝහල් ඇඳක්වත් එතන තිබුනෙ නැහැ.ගැබිණි මාතෘ සායනය පැවතියෙ අබලන් කටු මැටි මඩුවක.එන්නත් ඖෂධ කල්තියාගන්න ශීතකරණයක් හෝ ඖෂධ නිකුත් කරන්න සංයෝජකයෙක් පෙනෙන්නට සිටියේ නැහැ.මොන අඩු පාඩු මධ්‍යයේ උනත් ඒ බෙහෙත් ශාලාවෙන් ගමට ඉටුවෙන සේවය නං කියල නිම කරන්න බැරි තරමයි.මේ කටයුතු සඳහා අත්වැලක් වෙන්න අපි කට්ටියයි කුරුණෑගල ජාතික තැලිසීමියා මධ්‍යස්ථානයෙ කාර්ය මණ්ඩලයයි එකතු වෙලා තැලිසීමියා රෝගය හඳුනාගැනීමේ වැඩසටහනක් නොවැම්බර් 12වෙනිදා කැලෑගමේදි පැවැත්වුනා.එහි ප්‍රතිපල අනුව තැලිසීමියා වාහක ගම්වාසීන් හඳුනාගෙන ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් මේ වන විට ලබාදීමට අපි කටයුතු කරන්න උත්සුක වුනා.
තැලිසීමියා රුධිර පරීක්ෂාවට පෙල ගැහෙමින්

ඒ වගේම ගමේ දරු දැරියන්ටයි තරුණයන්ටයි ක්‍රීඩා කටයුතුවල යෙදීම සඳහා අඩු වියදමකින් ක්‍රමවත් වොලිබෝල් පිටියක් ලබාදෙන්න පුලුවන්නම් හොඳ බව ගමේ ඇවිදිද්දි අපට පෙනී ගියා.
කැලෑගම වචනාර්ථයෙන්ම වන වදුලුවලින් වටවුනු මනුස්සකම්වල එකතුවක් .ඒ බව ගමේ අපි ගත කල දින කීපයේදි අපේ හදවත්වලට දැනුන.ජල ප්‍රශ්නය ඇරෙන්න ඔවුන්ගේ මුවින් ගිළිහුණු අන් ගැටලුවක් නැති තරම්.බොහෝමයක් ගැටලු ඔවුන් හඬගා කියූ දේවල් නොවන අතර අපිම දැක හඳුනාගත්ත ඒවායි.නගරබදව සැප පහසු ජීවිත ගත කරන අපිට මේ ඊනියා ශිෂ්ටත්වයෙන් එපිට තමන්ගෙ ජීවිත උදෙසා මහපොලව හා පොරබදන මේ සහෝදර ජීවිතවල හෙට දවස බිඳකින් හෝ එළිය කරන්නට හැකිනම් එය මාහැඟි කුසලයක්ම වන බව අපේ විශ්වාශයයි.ලංකාව පුරා ගම් දහස් ගණනක් තිබියදී එක් ගමක් තෝරාගෙන මේ කරන්නට යන දේ කෙතරම් ප්‍රායෝගික දැයි කෙනෙකුට සිතිය හැක.එසේ සිතමින් නිකම්ම සිටිනවාට වඩා ඒ එකගමක් හෝ වෙනුවෙන් අපට කල හැකි සුලු දෙය වත් කිරීම වඩාත් ප්‍රායෝගික වන බව සැබෑ සත්‍යයයි."වස්සාන දියවර 2012" ව්‍යාපෘතිය යටතේ ඉහත හඳුනාගත් අවශ්‍යතා සපුරාගැනීමට වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ එකමුතුව ප්‍රමුඛ කොළඹ වෛද්‍ය පීට ශිෂ්‍ය ප්‍රජාවම උපරිම කැපවීමෙන් යුතුව වෙහෙසෙන මේ මොහොතේ මේ සත්කාර්යය උදෙසා මෙය දකින ඔබ සැමගේත් දායකත්වය සහෘද සිතින් අපි බලා පොරොත්තු වෙනවා.අපිත් බහුතරය බොහොම අපහසුවෙන් අපේ ජීවන අරගලය ඉදිරියට ගෙන යන අය.නමුත් ඒ අපේම දරු කැලක අනාගතය දිනවන්න පොතක් පැන්සලක් ගෙනදීමට තරම් හැකිනම් අපි අපේ ජීවන සටන වඩා අර්ථවත්ව ගත කලා වනවා නොවේද?ජල සැපයුම් පද්ධතිය අපේ මූලික අරමුණ වන අතර ඒ සඳහා ඇති හැකි ඔබේ නොමසුරු ආධාරය උදක්ම කැලෑගමේ හෙට දවස යහපත් එකක් කරවනවා නො අනුමානයි.මේ සඳහා ටවුන්හෝල් මහජන බැංකු ශාඛාවේ අංක 167100106827356 දරණ ගිණුම(Medical Students' Buddhist Association) විවෘතව පවතින අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු

0715784508 ප්‍රසන්න(වස්සාන දියවර 2012 ප්‍රධාන සංවිධායක )
0776563232 ඩිලාන්(සභාපති-වෛද්‍ය පීට බෞද්ධ ශිෂ්‍ය සංගමය )
0718470350 සංගීතා                                                                             ඇමතීමෙන් ඔබට ලබාගත හැක.
වස්සාන දියවර ෆේස්බුක් පිටුවට Wassana-Diyawara-2012-

සොඳුරු ඉර සඳ ඔවුන් නෙතටත් සිහිල ගෙනෙන හෙටකට...

මේ කටයුත්ත උදෙසා අරමුදල් රැස්කිරීමට දෙසැම්බර් 16දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී "කලම්බු කලම්බු" නාට්‍ය දර්ශනය සඳහා සහභාගී වී දායකත්වය දැක්වූ සියලු දෙනාටම කොළඹ වෛද්‍ය පීටයේ සහෘද ස්තුතිය හිමිවෙනවා.වස්සාන දියවර අපේ වෑයම 2012 ජනවාරි මස 8වෙනිදා දැවැන්ත සෞඛ්‍ය කඳවුරක් ලෙස කැලෑගමට ලඟාවීමට නියමිත අතර අපේ සෙසු අරමුණු
 හැකි උපරිමයද එදින වන විට සාක්ෂාත් කරගැනීම අපේ අභිප්‍රායයි.


මයිකල් ජැක්සන් හෝ ස්ටීව් ජොබ්ස් මළ මොහොතේදී පවා උණු වී හඬා වැටුනු අපේ සහෝදර හදවත් අපේම රටේ අපේම සොයුරු කුලකයක දිය පිපාසාව වෙනුවෙන් වෙනුවෙන් නැගී සිටින බව අපේ විශ්වාසයයි.කැලෑගම උපන් ඒ අපේ සහෝදර කැළතක හෙට දවස යහපත් කරවීම අධ්‍යාශය කරගෙන එබිම සනහා ඇද හැලෙන වස්සාන දියවර වෙනුවෙන් අප හැම අත්වැල් බැඳගත්  මිනිසත්කමේ සුරත් පවුර ඉදි විය යුතු කාලයයි මේ.

....අපි.....

Sunday, August 7, 2011

යථාවාදී තථාකාරී


මහත්තයෝ,ඔය ඉඩ තියෙන හැටියකට ඈඳි ගත්තනං.
     මහත්තයට කියන්න මහත්තයෝ මම මේ ගමේ මනුස්සයෙක් නෙවෙයි.උපන්නෙ බලපිටියෙ බ්‍රාහ්මණවත්තෙ.කිරිබත්ගොඩ මගෙ ලොකු හමුදුරුවො ගාව තමා පැවිද්ද ලැබුවෙ.ටික කාලයක් එතන ඉන්නකොට මට තේරුනා මම භික්ෂුවක් විදිහට ස්වාධීනව ඉන්න ඕනෙ කියල.මම මොකද කරේ,දැම්ම පත්තරේ ඇඩ් එකක් වැහීගෙන ගෙන යන පන්සලක් තියෙනවනම් ඇවිත් දියුණු කරනව කියල.මට ආව ලියුම් එකසියගානක්.ඒවයින් මම තෝරගත්තෙ මේ ගම තමා මහත්තයො.
      මේ ගමේ ඉන්නෙ අන්ත අසරණ දුප්පත් මිනිස්සු.වේල් දෙකයි කන්නෙ.සතියකට එක පාරක් විතර තමා කරවල කෑල්ලක්වත් කන්නෙ.එහෙව් මුං මට දානෙට මුහුදු මාලු ගෙනත් දෙන්න පටන් ගත්ත.මහත්තයෝ භික්ෂුව දානෙන්ම යැපෙන්න ඕනෙය.මේ දාන වේලෙන් මට පවු සිද්ධ වෙනව.මහත්තයත් ඉතින් බෙන්තර ගගෙන් එහා එකෙක්නේ.මගේ මොලේට ආව මරු අදහසක්.
    මම මේකයි කරන්නෙ.හැමදාම පාන්දර පහමාරෙ බස් එකෙන් මම යනව මහත්තයො අවිස්සාවේල්ලට.ගිහින් හෝටලේ උඩ තට්ටුවට වෙලා හොඳට අනුභව කරනව උදේ ආහාරය රජෙක් වගේ.නගිනව රත්නපුරේ බස් එකකට.ගන්නව රත්නපුරේටම ටිකට්.යනගමන් හොඳට දෙපැත්ත බලාගෙන ගිහිල්ල ඇති හැකි උස තාප්ප ගේට්ටු තියෙන ගෙදරක් දැක්කම බැහැගන්නව.අනිවාර්යයෙන්ම ඕව මැණික්කාරයොන්ගෙ ගෙවල්නෙ මහත්තයො.ඇතුලට ගිහින් කියනව මගෙ කතාව,මෙහෙමයි මට පොඩි පන්සලක් කර ගෙන යනව ඒකට ආධාර පිණිසයි මට කුළුබඩු දත්බේත් එහෙම ගන්නයි කීයක් හරි පරිත්‍යාග කොරන්නෙයි කියල.අනිවාර්යයෙන්ම රුපියල් දෙතුන්දාහක් ෂුවර්.අදිමදි කොරනවනං මං ඉතින් ධර්මානුකූලව සාප කරන්න ගන්නව.මහත්තය දන්නවද දැන් මෙහෙම මෙහෙම ගිහිල්ල රත්නපුරේට ලංවෙනකම්ම ගිහිල්ලයි තියෙන්නෙ.ඉතින් මහත්තයො ගාන හොයාගෙන දවල් කෑමට අර හෝටලේටම ගිහින් බුරියානි හරි මොනව හරි කාල අතුරුපසකුත් අඹරල  රෑට මොනාහරි මසක් මාලුවක් පලතුරු අයිස්ක්‍රීම් ටිකක් අරන් ආවාසෙට එනව.ඔහොම ඔහොම මම මහත්තයො මාසෙකට අඩුමගානෙ අසූවත් අනූවත් අතර හොයනව.දැන් මේ කෙරුවාව පටන් අරන් අවුරුදු හයක් විතර වෙනව.ඔය අස්සෙ ජනාධිපතිවරණෙට මැණික්කාරයෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුව දින්නොත් විහාර ගෙයි හදල දෙන්න කියල.දෙයියන්ගෙ පිහිටෙන් ඒකත් හරි ගියා.මහත්තයට කියන්න දැන් මගේ නමින් එයාපෝට් එකේ කාර් එකක් හයර් දුවනව.මේ සෙල්ලම පනස් පහ වෙනකං විතරයි.පනස් පහේදි මම යනව දඹදිව.එහෙ පිණ්ඩපාතෙට දෙන්නෙ සල්ලිලු.අවුරුදු පහයි මම ඉන්නෙ.ආපහු එනව ලංකාවට.එන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රාඩෝ එකක් අරං.එහෙ කාටහරි කියල මට ප්‍රදානය කරවගත්තොත් ටැක්ස් ඇත්තෙත් නෑ.වාහනේ ගෙනත් ගමේ එකෙක් අල්ලං ඌට කියනව උඹට තමා මගෙන් පස්සෙ හැම දෙයක්ම හැබැයි මගෙ දැලි රැවුල් කපපිය,රෙදි ටික හෝදල දීපිය කියල.අනික මහත්තයෝ පේනව නේද ඔය අඩි පාර දෙපැත්තෙ තියෙන ඉඩේ වැවිල තියෙන මැහෝගනී කට්ටිය.හැටේදි මම ආපු ගමන් ඕක කපනව.ඕක ඉස්කෝලෙට ඉඩං ගද්දි ඉතුරු උන කෑල්ලක්.ඒ ටික විකුනල ඕකෙ මං දානව තේ.එතකොට මම ඉඩංහිමි වැවිලි කරුවෙක්.මම මේ ගමේ අහිංසක මිනිස්සුන්ගෙ පාංශුකූලෙට දානෙට මගෙං වෙන්න ඕනෙ වැඩ ටික කරන එක මම වරද්දන් නැතුව කරනව හැබැයි මේ අහිංසකයොන්ගෙන් උයවං කන්න තරං මං පාහර නෑ.මේ තියෙන්නෙ මගෙ ඩී.වී.ඩී. එක ටීවී එක ෆ්‍රිජ් එක.බාත් රූම් එක ටයිල් කරපු කොමඩ් එකක්.
                   මහත්තයෝ මට බුදුවෙන්න ඕනෙත් නෑ.මේ සිවුරෙ හිටිය කියල මගෙ හීන නැතිකරගන්නෙත් නෑ

Sunday, May 29, 2011

පනින්න පෙර සිතා බලමු-1

                                                    දවසක් දා මගෙ යාලුවෙක්(දිනුක )හම්බ උන වෙලාවක කයියක් දාගෙන ඉඳිද්දි හරි අපූරු සිද්දියක් දිහාවට කතාබහ ඇදිල ගියා.ටික කාලෙකට කලින් ඇත්තටම සිද්ද උනාද කියල හරියට නිච්චි නැති උනත් මේ කතාව ඊට කලින් මම අහල තිබුන.සිද්දිය කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.
                           තදබල ලෙස ආදරෙන් වෙලිල හිටිය ජෝඩුවකට ගෙදරින් සුපුරුදු දෝස්මුරේ වැටුනම ඒ දෙන්නා  තීරණය කලාලු ලෝකාන්තයෙන් පහලට පැනල එකටම මැරෙන්න.දෙන්න කතාකරගත්ත විදියට ලෝකාන්තෙට ආවලු.හැබැයි පැන්නෙ පිරිමි ලමය විතරලු.පිරිමි ලමයත් එක්කම පනින්න හිටපු ගෑනු ලමය කොල්ල පැන්නයින් පස්සෙ හැරිල ආපහු ගෙදර ආවලු.ඕකයි කතාව.
                      ඉතින් ඇත්තටම මැරෙන්න කලින් වැටෙන අතරෙ කොල්ලට මොනව හිතෙන්න ඇද්ද කියන එක තමයි අපි දෙන්නට ආපු ලොකුම ප්‍රශ්නය.කොහොම හරි එදා යනකොට පුලුවන්නම් කොල්ලට හිතුන දේ කවියකට හරවපන් කියල පුංචි අයිඩියා එකකුත් දීගෙන තමා දිනුක ගියේ.ඊට ටික දවසකට පස්සෙ නිකන් මනෝවක් ගහන් ඉන්න වෙලාවක මමත් නිකමට වගේ වැඩේට ලාවට අත ගැහුව.නමුත් වැඩේට බැස්සමයි මට තේරුනෙ අත ගැහුවෙ කොටි වලිගෙකට බව.
සෑහෙන වෙලාවක් යනකන් කිසිම අදහසක් ආවෙ නෑ.අන්තිමට බැරිම තැන කොල්ලට හිතෙන්නෙ මොනවද කියන එකට කලින් කොල්ලට දෙයක් හිතෙන්න කොච්චර කාලයක් ඉතුරු වෙලා තියෙනවද කියල හොයන්න මගෙ සිරා මොලේට කල්පනා උනා.
    ඒ ලෙවල් වලට බයෝ කරාට මොකද අපිටත් ඉතින් මොකද්දෝ කරුමෙකට චලිත සමීකරන මතක තිබ්බ නිසා v=u+at දාන්න කියල හිත කිවුවා.නිශ්චලතාවෙ ඉඳන් පැන්න  කියල හිතුවොත් t හොයන්න ගේමක් නෑනෙ.හැබැයි එහෙම කොරන්නත් වැටෙන උස එපායැ.ලෝකාන්තයෙ උස හොයන්න වෙච්චි නෙට් එක පුරා.යන්තන් විකිපීඩියාවල තිබිල උස මීටර්870(අඩි 2854)කියල හම්බුනා කියමුකෝ.ගුරුත්වජ ත්වරණය යටතේ යෙදුවම අන්තිමට උත්තරෙ එනව තත්පර13ක් විතර කියල.(ගාන හදාගෙන යද්දි වර්ගමූල හොයන සාධාරණ ක්‍රමය අමතක වෙලා හරි අමාරුවෙන් ගොඩ දාගත්තෙ ).වැඩේ ගොඩම තමා.අපේ කොල්ලට හැමදේටම තියෙන්නෙ තත්පර 13යි කියල හිත හදාගන්න හදද්දිම  නෙට් එකේම තැනක දැක්ක ආන්ත ප්‍රවේග හුටස්පරයක්.කාල වරෙන්කො දැන්.
               ආයෙත් කවිය ලිවිල්ල පැත්තක තියල ආන්ත ප්‍රවේගය ගැන හොයන්න ගත්ත තියෙන කැහිල්ලට.අන්තර්ජාලය පීරල පීරල සෑහෙන ගේමකින් පස්සෙ පොඩි හෝඩුවාවක් හම්බෙනව,එහෙම එලඹෙන ආන්ත ප්‍රවේගය පැයට කිලෝ මීටර් 190 යි කියල.මහන්සි නොබල ඒක හැරෙව්ව තත්පරයට මීටර් වලට.එතකොට තත්පරයට මීටර් 52ක් විතර.දලව අඩි 500දි විතර මේ අගය එනවලු.අඩි 500 කියන්නෙ මීටර් 152ක් විතර.දැන් නං වැඩේ එපා වෙන තරමයි.ඒත් මං උනත් මටම නෝන්ඩි වෙන්න අරින්න බැරි නිසා කාගෙනම වැඩේට එන්ටර් උනා.ඒලෙවල්වලින් පස්සෙ ඔච්චර ගානක් හැදුවමද කොහෙද.
                      චලිතයෙ මුල් බාගෙට v=u+at  දාල උත්තරේට එන කාලයයි දෙවෙනි බාගෙට s=ut දැම්මම එන කාලයයි එකතු කරාම ඔන්න දෙයියන්ගෙ පිහිටෙන් උත්තරයක් ආවා.ආසන්නව තත්පර 19ක් විතර.කොහොමින් කොහොමින් හරි දන්න ගණන් සෑස්තර ඔක්කෝම දාල මම කොල්ලට තව වැඩිපුර තත්පර 6ක් අරන් දුන්න ගෑණු ගැන තවදුරටත් කල්පනා කරන්න.හැබයි කොල්ලො,මදි වෙයිද මන්දා.
                  අන්තිමේ ඒ කොල්ලට හිතන්න තියෙන කාලය හොයන්න ගිහින් මේ කොල්ලට ජීවිතේ එපා වෙන්න ඔන්න මෙන්න.බරපතල සමාජ ඛේදවාඡකයක් නෝන්ඩි කරා කියල නං හිතන්න එපා.මේක කොච්චර ප්‍රැක්ටිකල්ද කියන්න නං මම දන් නෑ.ගාන වැරදුනාද දන්නෙත් නෑ.කොල්ලට හිතෙන දේ අපි ඊලඟ ලිපියෙන් කතා කරමු.
        ඔය ගාන හදල ලෝකන්තය ගාව දැන්වීම් පුවරුවක් ගහන්න පුලුවන් උනානම් ඔතනින් පනින අය පනිනවද කියල දෙපාරක් හිතල බලාවි නේද...?

                                                               

Thursday, May 19, 2011

උණ්ඩ නැතත් තවමත් බයිනෙත්තු ඇත

මේ කියන්න හදන සිද්ධිය වෙලා දැන් හරියටම අවුරුද්දක් විතර ඇති.උදේ පාන්දර ජාතික රෝහලේ ඕ.පී.ඩී. එක ඉස්සරහදි.ඇස්වාට්ටුව දිහාට යමින් හිටියා ආබාධිත සෙබලු තුන්දෙනෙක්.තුන් දෙනාම ඉරි කමිස සරම් ඇඳන් හිටියෙ.එක්කෙනෙක්ගෙ ඇස් දෙකම නොපෙනුනු පාටක් තමා තිබ්බෙ.එයාට කණවැල අල්ලන් ගිය කෙනාගෙ එක ඇහැක්වහගෙන හිටියෙ.තුවාල වෙලා මම හිතන්නෙ.අනිත් කෙනා කිහිලිකරුවකින් ගියේ.තුන් දෙනාටම වැඩිම උනොත් විස්සක් ඇති.ඒ වෙලාවේ පාරෙ අනිත් පැත්තෙන් පාන්දරින් ඔෆිස් යන ගෑනු ලමයෙක් ආව.ඇඟට හිරවෙන්න ඇඳල,සායත් නියම ගානට තිබ්බ මට මතක තරමට.කෙල්ලව මීටර් උනා කකුල නැති හාදයට.
"අඩෝ ....අර බලහන් පාර එහා පැත්ත.....පට්ටම කෑල්ලක් යකෝ...."

අපේ එකැස් හාදයත් එක පාරටම බලාපි.

"අම්මට හුඩු පිස්සු කොරයි බන්.."
එහෙම්මම කියවුනා.අපේ අනිත් යාලුවට ඉතින් නෝ චාන්ස්.

"අඩේ ඇත්තද බන්......"
තුන්වෙනියට හීල්ලුනෙ ඉබේමයි.
මම නං අට සිල් උපාසක නොවැ.ඒක නිසා කෙල්ල දිහා බලන්න ගියේ නෑ.කෙල්ලත් අපිව පාස් කරන් ගියා නලව නලව.හැරි හැරී කෙල්ල දිහා බලන්න ගියපු අපේ තනි ඇහේ යාලුව එක පාරටම පේව්මන්ට් එකේ තිබ්බ කණුවක හැපිල බිම වැටුන් නැතෑ මෙන්න.මාත් එක්කම කීප දෙනෙක් දැක්ක වැටෙනව.හැබැයි වැටුනෙ ඇයි කියල දැක්කෙ මං විතරයි.කොහොමහරි අනිත් දෙන්න දන පනි ගාල සගයව නැගිට්ටව ගත්ත.වෙච්චි වැඩේට තුන් දෙනාටම හිනා.වෙච්චි සංගදියට නෝන්ඩි දදා තුන්දෙනාම ඇස්වාට්ටුව පැත්තට ගෑටුවා.


ඔන්න ඕකයි සිද්ධිය.කෙනෙකුට හිතෙන්න පුලුවන්,හොඳ වැඩේ.අබ්බගාත වෙලත් කෙල්ලන්ට පෙරන්න යනවට කියල.වෙලා අවුරුද්දක් විතර උනත් ඒ සිද්දිය තාමත් හිතට වදදෙනව.



කකුලක් නැති උනත්,ඇස් දෙකම නැති උනත් ඒත් කොල්ලො.අත පය නැති උනාට අහවල් එක අබ්බගාත නෑනෙ.අපි මෙහෙට වෙලා ආතල් ගනිද්දි අපිටත් වඩා බාල,රැවුල වත් නැති දාසයේ දාහතේ කොල්ලො ලේ හැලුව.දෙපැත්තෙම.කවුරු මොන අරමුණෙන් කරත් යුද්ධය විනාසකාරීයි.දෙපැත්තෙම කාලකන්නි මහ මොල හින්ද අපි උපන් දා ඉඳන් විඳෙව්ව.සිංහල දෙමල කොල්ලො දාස් ගානකගෙ මිනී උඩින් අපි යුද්දෙ ඉවර කරා.වෙනද වගේ කොලඹ බෝම්බ පුපුරන් නෑනෙ.දැන් ඉතින් යුද්දෙ මතක තියන් ඉඳල මොකටද නේද.යුද්දෙ හැබෑ දුක දන්නෙ යුද්ද කරපු අයයි ඒ පවුල්වල අයයි විතරයි කියලයි මට හිතෙන්නෙ.යුද්දෙ නියම නිර්වචන දන්නෙ හැමදාම රෑට තනි ඇඳේ අඬන වැන්දඹු බිරින්දෑවරු.ඇස් කන් අත පය නැතුව රණවිරු නිවාසෙ අපා දුක් විඳින අපේම උන්.අපි හැමෝටම සමාජෙ නොයෙක් නොයෙක් ස්ථරවලදි යුද්දයෙ පශ්චාත් බලපෑම් වල සෙවනැලි හම්බෙනව.වාර්ගික මාමකත්වය යුද්දෙ කරන වෙලාවෙදි ඇති වෙනව තමයි.ඒත් හමුදාවට බැඳෙන බහුතරය එහෙම කරන්නෙ දුප්පත්කම නිසා.මහින්දගෙ පුතත් ප්‍රභාකරන්ගෙ දුවත් ඉගෙනගන්න රට ගියෙ එකයි.යෝෂිතල චාර්ල්ස් ඇන්තනිල හින්ද අපෙ අහිංසක කොල්ලො කෙල්ලො ගොනාට ඇන්දිල උණ්ඩවලට පපුව දුන්න.යෝෂිතල කවදාවත් යුද්දෙට ගියෙ නෑ.ඇන්තනිල මැරුනෙ අන්තිම මොහොතෙ.

ජාතික රෝහලේ වාට්ටු අතරෙ ඇවිදිනකොට සැරින් සැරේ මගෙ විඤ්ඤාණය හීරෙනව යුද්දයෙ මේ පශ්චාත් සෙවනැලිවලට.අනේ මන්ද හැමදාම මේ හිඟන්නගෙ තුවාලෙට මිරිස්කුඩුමයි වැටෙන්නෙ,බේතක් කවදා වැටෙයිද මන්දා




Sunday, May 1, 2011

රෝස පාට මල් ගස් නමය

අහසට අවුරුද්ද කියල ගානක් වත් තිබ්බෙ නෑ.දවසෙම වැස්සය කෑමයි විතරමයි මතක.මිනිස්සු දුවනව දුවනව හරියට ලෝක විනාසෙට කලිං එන අවුරුද්ද වගේ,කටිං කරිං බඩු එල්ලං.මං නටනව කැරකෙනව,ඒ රේස් එක මැද්දෙ.පොඩි ඈයොන්ට හරිම විනෝදෙ මාව.වැඩිපුර පන්සීයක් දෙනව කිව්වට මොකද පොඩි එව්වො එක්ක නටල හොඳටෝම හති.ඔය අව් අස්සෙ තමා එයා දරුවෙකුත් වඩාගෙන ආවෙ.
"මේ පුතේ....බනී......ෂෝයි බනී පැට්ට නේ...."
පුංචි එකා ඉවරයක් නැතුව කනකින් අදිනවද කොහෙද.
"ඩාලිං ..ටේක් අ පික් හනී....."
එයා මගෙ උරහිසට උඩින් අත යැව්ව කියල දැක්ක විතරයි.මෙලෝ සංසාරයක් දැනෙන එකක්යැ.හිත බයේ ගැහි ගැහි ආපස්සට දුවං දුවං ගියා.එයයි මහත්තයයි බබයිත් ගියා ඇතුලට.
         ඉස්සර එයා කෝච්චියෙන් බැහැල දුවං එනකං බලං හිටපු හැටි,නුවර ස්ටේසම ඉස්සරහ පැත්තෙන්.ඒ දවස්වල ඒ ගස්වල මල් පිපෙනව.පේලියට ගස් නමයක් තිබ්බ.නමයම රෝස පාට මල් පොරෝනාවකින් වැහිල තිබ්බ.පේමන්ට් එකෙත් මල් කාපට් එක.එකම ගහක් තිබ්බ වෙන ජාතියක,මල් පිපුනෙත් නැති.ගස් පේලියෙන් මල් වැටෙනව නොනවත්වා.හැම මොහොතෙම මලක් වැටෙමින් තිබ්බ.එයා ආවා ඒ ඇතිරිල්ල දිගේ මං දිහාවට.හැබැයි ඒ සති දෙකක් විතරයි.මං එයාගෙ පස්සෙං අවුරුදු තුනක් ගියා.
    අපි දුප්පත්.එයාලට මහ ගොඩක් සල්ලි නොතිබ්බට පෙළපත් වංසක්කාරයො.හැමදාම කඩුගන්නාවට හවස කෝච්චියෙ පස්සෙං ගිහිං බලගොල්ලට එද්දි රෑ වෙනව.ඇයි දන් නෑ.....එයාට දුක හිතිලද මන්ද මාත් එක්ක යාලු උනේ.පස්සෙං ගියේ මට කාලෙ ගෙවන්න අරමුණක් නොතිබ්බ හින්ද.ඇරත් ඒ අරමුණ හරියාවි කියන අරමුණෙන් නං නෙවි.මම එක පාරක් වත් එයාගෙන් ඇහුවෙ නෑ.දවසක් ස්ටේසං එකේ වේටිං රූම් එකෙං එලියට ඇවිත් , "මං ඔයාට කැමතියි" කිව්ව.මට කරන්නවත් කියන්නවත් දෙයක් ඉතුරු උන් නෑ.
                ඒ සති දෙක හරිම කොටයි.පස්සෙං ගිය අවුරුදු තුන පුදුම දිගයි.අවුරුදු තුන සති දෙකට වඩා කොහොමත් දිගයිනෙ.සිකුරාද දවසකම  තමා එයා අපි මේ විකාරෙ නවත්තමු කිව්වෙ.විකාර විදියකට පටන් අරං එයාමයි නැවැත්තුවෙ.බැඳීම් හදන්නෙත් කඩන්නෙත් දෙකම එයාල.නඩුත් ගෑනුන්ගෙ.බඩුත් ගෑනුන්ගෙ.ඊට පස්සෙ  ඒ ලෙවල් කරා.අන්තිම දවසෙන් පස්සෙ එයාව දැක්කෙම නෑ.
              ලිස්සල අරින ෆෝන් එකකින් තමා ෆොටෝ එක ගත්තෙ.දැං කොයි වෙලේ හරි එයි.දීපා මාව අඳුරගයිද....?නට නට හිටපු මං ඒ පාර හැංගිමුත්තං පටන් ගත්ත.කඩේ උං කියාපි කස්ටමර්ලට පස්ස හරවන්න එපාලු.ඒත් එයා මාව අඳුරගත්තොත්....?පැය දෙකක් විතර ගියා.දීපයි මහත්තයයි බබයි ආවෙ නෑ.මාව අඳුරන්නෙ කොහොමද හත්තිලව්වෙ මම බනී නෙව.හුඟක් විට පස්සෙ එන්ට්‍රරන්ස් එකෙන් යන්ඩැති.
                  ඉක්මනටම හවස් උනා.අහසෙ ඇඬියාව එහෙම්මමයි.පන්සීය කොලේ අතට අරන් ඔලුබක්ක ගලවල මං මාරු.පොඩි උං දෙන්නට නිලා කූරු පැකට් එකක් අරන් වත්තෙගම බස් එකක එල්ලුනා.වාඩි උනා විතරයි.
                  මං බනී ඔලුබක්කා නට නට හිටිය.නිල්මිණි පොඩිම එකාව වඩං මගෙ කනෙං ඇද ඇද හිටිය.ලොකු එකා බංකුවකට නැගල අනිත් කන ඇදං හිටිය.බිම නම දන්නැති රෝස පාට මල් විසිරිල තිබ්බ.
    "මහයියාව බහින්ඩ........"
    කොන්දගෙ මොරේට ගැස්සිල ඇහැරෙනකොට යාන්තං කුණුකෙල බිංදුවක් කට කොනේ මෝදු වෙන්ඩ පටන් අරං තිබ්බ විතරයි.
Related Posts Plugin for WordPress, Blogger...