Sunday, May 29, 2011

පනින්න පෙර සිතා බලමු-1

                                                    දවසක් දා මගෙ යාලුවෙක්(දිනුක )හම්බ උන වෙලාවක කයියක් දාගෙන ඉඳිද්දි හරි අපූරු සිද්දියක් දිහාවට කතාබහ ඇදිල ගියා.ටික කාලෙකට කලින් ඇත්තටම සිද්ද උනාද කියල හරියට නිච්චි නැති උනත් මේ කතාව ඊට කලින් මම අහල තිබුන.සිද්දිය කෙටියෙන් කිව්වොත් මෙහෙමයි.
                           තදබල ලෙස ආදරෙන් වෙලිල හිටිය ජෝඩුවකට ගෙදරින් සුපුරුදු දෝස්මුරේ වැටුනම ඒ දෙන්නා  තීරණය කලාලු ලෝකාන්තයෙන් පහලට පැනල එකටම මැරෙන්න.දෙන්න කතාකරගත්ත විදියට ලෝකාන්තෙට ආවලු.හැබැයි පැන්නෙ පිරිමි ලමය විතරලු.පිරිමි ලමයත් එක්කම පනින්න හිටපු ගෑනු ලමය කොල්ල පැන්නයින් පස්සෙ හැරිල ආපහු ගෙදර ආවලු.ඕකයි කතාව.
                      ඉතින් ඇත්තටම මැරෙන්න කලින් වැටෙන අතරෙ කොල්ලට මොනව හිතෙන්න ඇද්ද කියන එක තමයි අපි දෙන්නට ආපු ලොකුම ප්‍රශ්නය.කොහොම හරි එදා යනකොට පුලුවන්නම් කොල්ලට හිතුන දේ කවියකට හරවපන් කියල පුංචි අයිඩියා එකකුත් දීගෙන තමා දිනුක ගියේ.ඊට ටික දවසකට පස්සෙ නිකන් මනෝවක් ගහන් ඉන්න වෙලාවක මමත් නිකමට වගේ වැඩේට ලාවට අත ගැහුව.නමුත් වැඩේට බැස්සමයි මට තේරුනෙ අත ගැහුවෙ කොටි වලිගෙකට බව.
සෑහෙන වෙලාවක් යනකන් කිසිම අදහසක් ආවෙ නෑ.අන්තිමට බැරිම තැන කොල්ලට හිතෙන්නෙ මොනවද කියන එකට කලින් කොල්ලට දෙයක් හිතෙන්න කොච්චර කාලයක් ඉතුරු වෙලා තියෙනවද කියල හොයන්න මගෙ සිරා මොලේට කල්පනා උනා.
    ඒ ලෙවල් වලට බයෝ කරාට මොකද අපිටත් ඉතින් මොකද්දෝ කරුමෙකට චලිත සමීකරන මතක තිබ්බ නිසා v=u+at දාන්න කියල හිත කිවුවා.නිශ්චලතාවෙ ඉඳන් පැන්න  කියල හිතුවොත් t හොයන්න ගේමක් නෑනෙ.හැබැයි එහෙම කොරන්නත් වැටෙන උස එපායැ.ලෝකාන්තයෙ උස හොයන්න වෙච්චි නෙට් එක පුරා.යන්තන් විකිපීඩියාවල තිබිල උස මීටර්870(අඩි 2854)කියල හම්බුනා කියමුකෝ.ගුරුත්වජ ත්වරණය යටතේ යෙදුවම අන්තිමට උත්තරෙ එනව තත්පර13ක් විතර කියල.(ගාන හදාගෙන යද්දි වර්ගමූල හොයන සාධාරණ ක්‍රමය අමතක වෙලා හරි අමාරුවෙන් ගොඩ දාගත්තෙ ).වැඩේ ගොඩම තමා.අපේ කොල්ලට හැමදේටම තියෙන්නෙ තත්පර 13යි කියල හිත හදාගන්න හදද්දිම  නෙට් එකේම තැනක දැක්ක ආන්ත ප්‍රවේග හුටස්පරයක්.කාල වරෙන්කො දැන්.
               ආයෙත් කවිය ලිවිල්ල පැත්තක තියල ආන්ත ප්‍රවේගය ගැන හොයන්න ගත්ත තියෙන කැහිල්ලට.අන්තර්ජාලය පීරල පීරල සෑහෙන ගේමකින් පස්සෙ පොඩි හෝඩුවාවක් හම්බෙනව,එහෙම එලඹෙන ආන්ත ප්‍රවේගය පැයට කිලෝ මීටර් 190 යි කියල.මහන්සි නොබල ඒක හැරෙව්ව තත්පරයට මීටර් වලට.එතකොට තත්පරයට මීටර් 52ක් විතර.දලව අඩි 500දි විතර මේ අගය එනවලු.අඩි 500 කියන්නෙ මීටර් 152ක් විතර.දැන් නං වැඩේ එපා වෙන තරමයි.ඒත් මං උනත් මටම නෝන්ඩි වෙන්න අරින්න බැරි නිසා කාගෙනම වැඩේට එන්ටර් උනා.ඒලෙවල්වලින් පස්සෙ ඔච්චර ගානක් හැදුවමද කොහෙද.
                      චලිතයෙ මුල් බාගෙට v=u+at  දාල උත්තරේට එන කාලයයි දෙවෙනි බාගෙට s=ut දැම්මම එන කාලයයි එකතු කරාම ඔන්න දෙයියන්ගෙ පිහිටෙන් උත්තරයක් ආවා.ආසන්නව තත්පර 19ක් විතර.කොහොමින් කොහොමින් හරි දන්න ගණන් සෑස්තර ඔක්කෝම දාල මම කොල්ලට තව වැඩිපුර තත්පර 6ක් අරන් දුන්න ගෑණු ගැන තවදුරටත් කල්පනා කරන්න.හැබයි කොල්ලො,මදි වෙයිද මන්දා.
                  අන්තිමේ ඒ කොල්ලට හිතන්න තියෙන කාලය හොයන්න ගිහින් මේ කොල්ලට ජීවිතේ එපා වෙන්න ඔන්න මෙන්න.බරපතල සමාජ ඛේදවාඡකයක් නෝන්ඩි කරා කියල නං හිතන්න එපා.මේක කොච්චර ප්‍රැක්ටිකල්ද කියන්න නං මම දන් නෑ.ගාන වැරදුනාද දන්නෙත් නෑ.කොල්ලට හිතෙන දේ අපි ඊලඟ ලිපියෙන් කතා කරමු.
        ඔය ගාන හදල ලෝකන්තය ගාව දැන්වීම් පුවරුවක් ගහන්න පුලුවන් උනානම් ඔතනින් පනින අය පනිනවද කියල දෙපාරක් හිතල බලාවි නේද...?

                                                               

නුඹ


සඳෙක සිත සුමුදුවට දැනුනූ
පෙමින මා ගත තුටින ඇති ලූ
ඇඳෙන වර වර සිහින තටු ලූ
නේන දුරකට හැඟුම් දැනවූ

අහිමි වූ සඳ හිතක වපුලූ
වියෝ වැර ගෙන යලිඳු ඇදලූ
නොහෙන සේ සිත් මසට එබුනූ
පතකි කේතකි දුකෙහි කටු ලූ



Saturday, May 28, 2011

ආයෙ එනව සුම්මා....

දැන් උඩ පැනං ගියාට...
ඒකිගෙ හෙලුවත් දෙවරක් චක්කරේ වෙලා,
සාක්කුව දංකුඩේටම හූරං කාල,
ඔය ඉමිටේෂං උර චක්කර මාලෙ දිස්නෙත් ගිය දාක
උඹට අඬන්න කඳුලුවත් නැතුව
බල්ලෙක් වගේ නැට්ට අකුලං
මගෙ දෙපතුල හොයාගෙන ඒවි

හැබයි දැනගනිං පුතෝ
එදාට මාව
මේ දීපංකරේ නං
හොයනව බොරු....

                                                                                               -(ෂකිරාගේ  si te vas ගීතය ඇසුරිනි)

                                                                                                              ෂකීරාගේ වීඩියෝවට...



දෙක වෙලා පෙනීම

"....තමුසෙට පේනවද
අර...
එහා ටේබල් එකේ
සෙම පෙරන් ගොර අදින මෑන්ස්ව...?"

"ඕ.. යෙස් 
මිනිහ කොයි වෙලෙත්
පබ් එකේ
කොච්චර බඩු පිට උනත්
අමුම අමු අහිංසකය..."

"දවසක් මං ඇහුව
ඇයි මිනිහො බොන්නෙ ඔච්චර කියල..
ඌ කියපි,
         බිව්වම මට එයා
         දෙක වෙලා පේනව..
         එතකොටනෙ අයිසෙ
         මටත් කියල කවුරුහරි ඉන්නෙ
                                                   කියල.."

Friday, May 27, 2011

මකුලු අම්මා


ලිං පඩිය මත සෙමින
බුබුලුලන පැස කුසින
ලිහී පොව්වන දුවයි
වියැලි පෙඳ කැටි උඩින...

පස් පයෙන සමබරින
ලුහුටනා සිහි සරින
දිය කුණාටුව මැදින
රුවල් බර නූ ලෙසින
ඈ නැවයි.....
දිවි තොට සොයන

නැති තෙපය සක දෙමින
අමිල ඉතිරුන සිහින
දියත මත වැර හිතින
දරු පෙමැති ගැල අදින
හැම මවක හද හුයයි
ලෝ තනුව පන පොවන...

පැසට ගෙන මේ පුතුත්
නලවපන් පස් පයෙන...

Thursday, May 26, 2011

ඉරි තුනේ නාමෙන්




නැට්ට කපල දාපු
ගිලිල මැරුනු ලේන්නුත් හිටියට
අපි ඉපදුනු කූඩුව
ගහන් යද්දි
නැට්ටෙන් ඉහල හරි
මේ මුහුද හිඳිනව ඇරෙන්න
වැල්ලට වෙලා
තව බලන් ඉන්නවද...?

Saturday, May 21, 2011

පාරමිතාව





හන්තානට යන පාරේ
දන දෙපසට ගලන ගඟේ
ඉවුරු පොලේ දෙහි විකුනන
ඈ අත්තම්මා....

බෝගම්බර උලු පියස්සෙ
පවු හෝදපු වතුර ගලන
කානු ගැට්ටෙ ඇන තියාන
දෙහි විකුනන
ඈ අත්තම්මා....

දන රල රැලි තරඟ මතින
රාබු,කසට,මුගුනුවැන්න
ලේ පාටට නහර පිපුනු
රහදිවටත් මහන්සි නැති
ඇරී අගුලු වැටුනු මුවින
දෙහි විකුනන
ඈ අත්තම්මා...

දෙහි ගෙඩි හත අටක උසින
දාගැබ පාමුල
නිවන නිවුනු නෙතින යදින
ඈ අත්තම්මා....

දුකට දිරා වැහැරී ගිය
උරපතු ඇට,ඇකිලුනු හම
වියලී ඉරිතැලුනු පපුව
අරුත කුමන තිසරු පටින

ඇහැට නේන පේන මානෙ
බෝගම්බර පිට්ටනි මැද
බීර ඔඩම්,සාද තෙපුල්
ඔල්වරසන්
පරදයි මැද දුල මරු සෙන්
අත නාරින පන්දු කෙලිය
හැඩයක් නැති

දවසක ඈ ඇස දුටහොත්
අහන්න දෙහි ගෙඩියක මිල
කෙවෙනි තුලම කිමිදුනු නෙත්
හන්තාන අහස දෙසට හැරී
"මුලු ගොඩටම විස්සක් ඇති"
සත්තකි ඈ කියන කියුම

මරඟන රඟ හැඩතල මැද
විරිය පාරමිතා පුරන
බුදු මව වී හන්තානට
ගොලු තෙපුලින් නොව නෙතගින්
බණ පදයක් දා කවියක්
දෙසාපන් මට....

Friday, May 20, 2011

හිනා වෙන්න තිබ්බ





හිතේ ගින්දරටම පිච්චිච්ච
රොටි ගුලිය කපුටු කටවල ඔබල
උන්ගෙ බෑඟිරිය නවත්තන එක
සන්තෝසයක් නං....

කොන්ඩගලින් පාත් වෙන
තුහින දුම් බානෙ
පැය අටේම දල්ලෙ බෙල්ල මිරිකන එක
සන්තෝසයක් නං....

රාත්තිරි කරුවලේ
මිනිහගෙ ඇඟටම යටවෙලා
පුංචිම එකාගෙ කිරි උගුරත් අහක යන එක
සන්තෝසයක් නං....

මහත්තයෝ...
ඔය පොටෝ කෑල්ලට
ඔයිට වඩා ලස්සනට
හිනා වෙන්න තිබ්බ

Thursday, May 19, 2011

උණ්ඩ නැතත් තවමත් බයිනෙත්තු ඇත

මේ කියන්න හදන සිද්ධිය වෙලා දැන් හරියටම අවුරුද්දක් විතර ඇති.උදේ පාන්දර ජාතික රෝහලේ ඕ.පී.ඩී. එක ඉස්සරහදි.ඇස්වාට්ටුව දිහාට යමින් හිටියා ආබාධිත සෙබලු තුන්දෙනෙක්.තුන් දෙනාම ඉරි කමිස සරම් ඇඳන් හිටියෙ.එක්කෙනෙක්ගෙ ඇස් දෙකම නොපෙනුනු පාටක් තමා තිබ්බෙ.එයාට කණවැල අල්ලන් ගිය කෙනාගෙ එක ඇහැක්වහගෙන හිටියෙ.තුවාල වෙලා මම හිතන්නෙ.අනිත් කෙනා කිහිලිකරුවකින් ගියේ.තුන් දෙනාටම වැඩිම උනොත් විස්සක් ඇති.ඒ වෙලාවේ පාරෙ අනිත් පැත්තෙන් පාන්දරින් ඔෆිස් යන ගෑනු ලමයෙක් ආව.ඇඟට හිරවෙන්න ඇඳල,සායත් නියම ගානට තිබ්බ මට මතක තරමට.කෙල්ලව මීටර් උනා කකුල නැති හාදයට.
"අඩෝ ....අර බලහන් පාර එහා පැත්ත.....පට්ටම කෑල්ලක් යකෝ...."

අපේ එකැස් හාදයත් එක පාරටම බලාපි.

"අම්මට හුඩු පිස්සු කොරයි බන්.."
එහෙම්මම කියවුනා.අපේ අනිත් යාලුවට ඉතින් නෝ චාන්ස්.

"අඩේ ඇත්තද බන්......"
තුන්වෙනියට හීල්ලුනෙ ඉබේමයි.
මම නං අට සිල් උපාසක නොවැ.ඒක නිසා කෙල්ල දිහා බලන්න ගියේ නෑ.කෙල්ලත් අපිව පාස් කරන් ගියා නලව නලව.හැරි හැරී කෙල්ල දිහා බලන්න ගියපු අපේ තනි ඇහේ යාලුව එක පාරටම පේව්මන්ට් එකේ තිබ්බ කණුවක හැපිල බිම වැටුන් නැතෑ මෙන්න.මාත් එක්කම කීප දෙනෙක් දැක්ක වැටෙනව.හැබැයි වැටුනෙ ඇයි කියල දැක්කෙ මං විතරයි.කොහොමහරි අනිත් දෙන්න දන පනි ගාල සගයව නැගිට්ටව ගත්ත.වෙච්චි වැඩේට තුන් දෙනාටම හිනා.වෙච්චි සංගදියට නෝන්ඩි දදා තුන්දෙනාම ඇස්වාට්ටුව පැත්තට ගෑටුවා.


ඔන්න ඕකයි සිද්ධිය.කෙනෙකුට හිතෙන්න පුලුවන්,හොඳ වැඩේ.අබ්බගාත වෙලත් කෙල්ලන්ට පෙරන්න යනවට කියල.වෙලා අවුරුද්දක් විතර උනත් ඒ සිද්දිය තාමත් හිතට වදදෙනව.



කකුලක් නැති උනත්,ඇස් දෙකම නැති උනත් ඒත් කොල්ලො.අත පය නැති උනාට අහවල් එක අබ්බගාත නෑනෙ.අපි මෙහෙට වෙලා ආතල් ගනිද්දි අපිටත් වඩා බාල,රැවුල වත් නැති දාසයේ දාහතේ කොල්ලො ලේ හැලුව.දෙපැත්තෙම.කවුරු මොන අරමුණෙන් කරත් යුද්ධය විනාසකාරීයි.දෙපැත්තෙම කාලකන්නි මහ මොල හින්ද අපි උපන් දා ඉඳන් විඳෙව්ව.සිංහල දෙමල කොල්ලො දාස් ගානකගෙ මිනී උඩින් අපි යුද්දෙ ඉවර කරා.වෙනද වගේ කොලඹ බෝම්බ පුපුරන් නෑනෙ.දැන් ඉතින් යුද්දෙ මතක තියන් ඉඳල මොකටද නේද.යුද්දෙ හැබෑ දුක දන්නෙ යුද්ද කරපු අයයි ඒ පවුල්වල අයයි විතරයි කියලයි මට හිතෙන්නෙ.යුද්දෙ නියම නිර්වචන දන්නෙ හැමදාම රෑට තනි ඇඳේ අඬන වැන්දඹු බිරින්දෑවරු.ඇස් කන් අත පය නැතුව රණවිරු නිවාසෙ අපා දුක් විඳින අපේම උන්.අපි හැමෝටම සමාජෙ නොයෙක් නොයෙක් ස්ථරවලදි යුද්දයෙ පශ්චාත් බලපෑම් වල සෙවනැලි හම්බෙනව.වාර්ගික මාමකත්වය යුද්දෙ කරන වෙලාවෙදි ඇති වෙනව තමයි.ඒත් හමුදාවට බැඳෙන බහුතරය එහෙම කරන්නෙ දුප්පත්කම නිසා.මහින්දගෙ පුතත් ප්‍රභාකරන්ගෙ දුවත් ඉගෙනගන්න රට ගියෙ එකයි.යෝෂිතල චාර්ල්ස් ඇන්තනිල හින්ද අපෙ අහිංසක කොල්ලො කෙල්ලො ගොනාට ඇන්දිල උණ්ඩවලට පපුව දුන්න.යෝෂිතල කවදාවත් යුද්දෙට ගියෙ නෑ.ඇන්තනිල මැරුනෙ අන්තිම මොහොතෙ.

ජාතික රෝහලේ වාට්ටු අතරෙ ඇවිදිනකොට සැරින් සැරේ මගෙ විඤ්ඤාණය හීරෙනව යුද්දයෙ මේ පශ්චාත් සෙවනැලිවලට.අනේ මන්ද හැමදාම මේ හිඟන්නගෙ තුවාලෙට මිරිස්කුඩුමයි වැටෙන්නෙ,බේතක් කවදා වැටෙයිද මන්දා




Sunday, May 1, 2011

රෝස පාට මල් ගස් නමය

අහසට අවුරුද්ද කියල ගානක් වත් තිබ්බෙ නෑ.දවසෙම වැස්සය කෑමයි විතරමයි මතක.මිනිස්සු දුවනව දුවනව හරියට ලෝක විනාසෙට කලිං එන අවුරුද්ද වගේ,කටිං කරිං බඩු එල්ලං.මං නටනව කැරකෙනව,ඒ රේස් එක මැද්දෙ.පොඩි ඈයොන්ට හරිම විනෝදෙ මාව.වැඩිපුර පන්සීයක් දෙනව කිව්වට මොකද පොඩි එව්වො එක්ක නටල හොඳටෝම හති.ඔය අව් අස්සෙ තමා එයා දරුවෙකුත් වඩාගෙන ආවෙ.
"මේ පුතේ....බනී......ෂෝයි බනී පැට්ට නේ...."
පුංචි එකා ඉවරයක් නැතුව කනකින් අදිනවද කොහෙද.
"ඩාලිං ..ටේක් අ පික් හනී....."
එයා මගෙ උරහිසට උඩින් අත යැව්ව කියල දැක්ක විතරයි.මෙලෝ සංසාරයක් දැනෙන එකක්යැ.හිත බයේ ගැහි ගැහි ආපස්සට දුවං දුවං ගියා.එයයි මහත්තයයි බබයිත් ගියා ඇතුලට.
         ඉස්සර එයා කෝච්චියෙන් බැහැල දුවං එනකං බලං හිටපු හැටි,නුවර ස්ටේසම ඉස්සරහ පැත්තෙන්.ඒ දවස්වල ඒ ගස්වල මල් පිපෙනව.පේලියට ගස් නමයක් තිබ්බ.නමයම රෝස පාට මල් පොරෝනාවකින් වැහිල තිබ්බ.පේමන්ට් එකෙත් මල් කාපට් එක.එකම ගහක් තිබ්බ වෙන ජාතියක,මල් පිපුනෙත් නැති.ගස් පේලියෙන් මල් වැටෙනව නොනවත්වා.හැම මොහොතෙම මලක් වැටෙමින් තිබ්බ.එයා ආවා ඒ ඇතිරිල්ල දිගේ මං දිහාවට.හැබැයි ඒ සති දෙකක් විතරයි.මං එයාගෙ පස්සෙං අවුරුදු තුනක් ගියා.
    අපි දුප්පත්.එයාලට මහ ගොඩක් සල්ලි නොතිබ්බට පෙළපත් වංසක්කාරයො.හැමදාම කඩුගන්නාවට හවස කෝච්චියෙ පස්සෙං ගිහිං බලගොල්ලට එද්දි රෑ වෙනව.ඇයි දන් නෑ.....එයාට දුක හිතිලද මන්ද මාත් එක්ක යාලු උනේ.පස්සෙං ගියේ මට කාලෙ ගෙවන්න අරමුණක් නොතිබ්බ හින්ද.ඇරත් ඒ අරමුණ හරියාවි කියන අරමුණෙන් නං නෙවි.මම එක පාරක් වත් එයාගෙන් ඇහුවෙ නෑ.දවසක් ස්ටේසං එකේ වේටිං රූම් එකෙං එලියට ඇවිත් , "මං ඔයාට කැමතියි" කිව්ව.මට කරන්නවත් කියන්නවත් දෙයක් ඉතුරු උන් නෑ.
                ඒ සති දෙක හරිම කොටයි.පස්සෙං ගිය අවුරුදු තුන පුදුම දිගයි.අවුරුදු තුන සති දෙකට වඩා කොහොමත් දිගයිනෙ.සිකුරාද දවසකම  තමා එයා අපි මේ විකාරෙ නවත්තමු කිව්වෙ.විකාර විදියකට පටන් අරං එයාමයි නැවැත්තුවෙ.බැඳීම් හදන්නෙත් කඩන්නෙත් දෙකම එයාල.නඩුත් ගෑනුන්ගෙ.බඩුත් ගෑනුන්ගෙ.ඊට පස්සෙ  ඒ ලෙවල් කරා.අන්තිම දවසෙන් පස්සෙ එයාව දැක්කෙම නෑ.
              ලිස්සල අරින ෆෝන් එකකින් තමා ෆොටෝ එක ගත්තෙ.දැං කොයි වෙලේ හරි එයි.දීපා මාව අඳුරගයිද....?නට නට හිටපු මං ඒ පාර හැංගිමුත්තං පටන් ගත්ත.කඩේ උං කියාපි කස්ටමර්ලට පස්ස හරවන්න එපාලු.ඒත් එයා මාව අඳුරගත්තොත්....?පැය දෙකක් විතර ගියා.දීපයි මහත්තයයි බබයි ආවෙ නෑ.මාව අඳුරන්නෙ කොහොමද හත්තිලව්වෙ මම බනී නෙව.හුඟක් විට පස්සෙ එන්ට්‍රරන්ස් එකෙන් යන්ඩැති.
                  ඉක්මනටම හවස් උනා.අහසෙ ඇඬියාව එහෙම්මමයි.පන්සීය කොලේ අතට අරන් ඔලුබක්ක ගලවල මං මාරු.පොඩි උං දෙන්නට නිලා කූරු පැකට් එකක් අරන් වත්තෙගම බස් එකක එල්ලුනා.වාඩි උනා විතරයි.
                  මං බනී ඔලුබක්කා නට නට හිටිය.නිල්මිණි පොඩිම එකාව වඩං මගෙ කනෙං ඇද ඇද හිටිය.ලොකු එකා බංකුවකට නැගල අනිත් කන ඇදං හිටිය.බිම නම දන්නැති රෝස පාට මල් විසිරිල තිබ්බ.
    "මහයියාව බහින්ඩ........"
    කොන්දගෙ මොරේට ගැස්සිල ඇහැරෙනකොට යාන්තං කුණුකෙල බිංදුවක් කට කොනේ මෝදු වෙන්ඩ පටන් අරං තිබ්බ විතරයි.
Related Posts Plugin for WordPress, Blogger...