Tuesday, November 7, 2023

 අතුරුදහන් වී තුන්වසරකට පසු

බැස යා නොහී ඉර කැරකෙන රෑක මුදු

ගාලු මුවදොරදි අවසන් වරට දුටු

නුඹ හමු වුනා යාරාවේ දෑල මතු


පාවී අවුත් වඩදිය හා මඩ අතරේ

තෙත බරිතව නමුත් මද සිනහව මුහුනේ

මන්දස්මිත මුවින් සතුටින් බව පෙනුනේ

නෙත් දෙක ඇරුනු සෙයකිනි අහසට හැරුනේ


මියගොස් ඇති වගක් හිතනම් දැන උන්නේ

එනමුත් සිරුර දැකුමෙන් සංකා ඇරුනේ

අගමුල නොදත් සමහර ගැටපද ලිහුනේ

බෝයාවකට බැඳි අවසන් හුය ලිහුනේ



මසැසින් දියනොවී මරණය සිදුවිම

මලවුන් සමග හිමයේ දුර ඇවිදීම

නුපුරුදු නැතැයි සිතුනොත් මග නැවතීම

රැකුනොත් පහන්සිල සුලඟේ, සැනසීම



 යවුලැනුනු ලයකිනි

රුහිරුසේ වෑහෙනා කඳුලිනි

පහන් සිලකින් නොම නිමි

වාරු ගෙන මේ හිමය ඇවිදිමි



 මතක බණක් නොබිනූ

සොහොන් කොතක් නොතැනූ

සමුගැන්මක් ලැබුනේ නැති

ආදර මල් හැලුනූ




ගං ඉවුරට ඇදුනූ

පෙම්වත් සිත් තුරුණූ

සාගරයක් ලද පසුවත්

ගං නොවිනිද හැරුනූ



 ගුවන් තොටකුත් ඇති....

ජින් උගුරු දෙකකුත් ඇති.....

පරණ යැයි හිතෙන තරමට 

කලු සුදු නමුත් පැහැදිලි

අයිස් කැට මතකය

කෙවෙනි පැස් පුරවනකොට



අනිශ්චිත පැයක 

හිරවෙන සියක් හිත් මැද....

සතුටු හිතෙනා හුදෙකලාවකි

ලාව්හිරුගෙ එලියෙන්

 මැකී යාමට නියමිත



 හිරු සදිසි සිදු සදිසි 

ප්‍රේමයන් මල ලොවට

නුඹ සදිසි ස්නේහයක

අරුම මෙතෙකැයි නොමැත



 ඒක හරි කෙටි ප්‍රේමයක්

සරත් ඉර්තුවෙ ප්‍රේමයක්

සදාකාලික නොවන බව දැන

තනිව ඇවිලුනු ප්‍රේමයක්


මුවින් ගොලුවී අසා ගෙන උන්

දෑස් මානා මග බලා උන්

මෙහෙම ඉන්නේ ඇයිද නොහිතූ

අන්ත අසරණ ප්‍රේමයක්




බිඳී විසිරුණු පසුවටත්

වසන්තය ආ බැව් නොදත්

අදහගන්නට විපිලිසර උනු

මගෙම කවියක පේලියක්



 තාමත් ඉරට තරහට ගුලිවෙනවාද

කෙටි පණිවිඩවලට ඇස් පොඩි වෙනවාද

"ටයිපින්" කියා වැටුනම පොපියනවාද

පාර බලන් සීතට ඔරවනවාද




 මනමේ මැරුණේ කඩුව දෙද්දිම

කුමාරිය වැදි රජෙකුට...


පාවදෙද්දී  බැන්ද ප්‍රේමය


ලය පැලී සත් කඩකට...


අසුරු මොහොතක පලායා හැකි


ප්‍රේමයක් රැකි වරදට....


කඩුව විනිවිද ගියේ හෙමිහිට 


පැලී අහවර හදවත.....

 මීටත් වැඩිය අඳුරු

විය නොහැකි යැයි සිතුනු

කාලයකදී පිපුනු

පහන් එලියට බැඳුණු


දෑස් ගිණිකණ වැටුණු

කාන්තිය මග නිවුනු

අතරමංවී හසර නොම දැන

රැයට බැන බැන හැඬුනු


පිලිස්සී තටු සිඳුනු

කදෝ කිමි තෙම රිදුනු

බැඳුනු ප්‍රේමෙන් මිදෙනු නොහැකිව

රැයේ තුරුලට වැදුනු




 එකම කෙටි පණිවිඩයකට

ඇවිත් හිටියා 

දහ අවුරුද්දකට පසුවත්


වලාකුල නුඹ....




 මේ තරම් මල් මැද 

නැවතුනේ ඇයි මේ තැනම මම

ඇයිදැයි නොවිමසන්

මගෙ ඇසින් මගෙ ලොව නොදුටු නුඹ




 ශීත ඉර්තුවේ

කඳුලු සැලු පත්...

සීතලට පලි ගසා

සැනසුනෝ වෙත්...



 මැදින්  නොකියවා අත් හැරීගිය පොතක...

දහසකුත් එකක් වූ අවසානයන් එකක...

මා සොයාගත හැකිය එන්න හිත ඇති නුඹට...

නමුත් ඔබ ආයුතුමයැයි  නියමයක් නොමැත....




 මතක බණක් නොබිනූ

සොහොන් කොතක් නොතැනූ

සමුගැන්මක් ලැබුනේ නැති

ආදර මල් හැලුනූ


ගං ඉවුරට ඇදුනූ

පෙම්වත් සිත් තුරුණූ

සාගරයක් ලද පසුවත්

ගං නැතිවෙද හැරුනූ



 දන්නවා ඇති සරුංගල්... හැරෙන බව  කොයි සුළඟත්

නොතේරුන සේ ඉන්නවා ඇති දුක හිතේවියි නලටත්

අකාලික වූ යමක් නැතිමය එය සනාතන  දහමක්

පොලොව සිඹිනා ඉරණමම මිස බැඳුන හුය නොම බ්ඳුනත්



 එලිසමය පැන නොගිය සරලතම හවස්

පේලි හතරකුත් ඇති එහෙම උනු දවස්

කාලයේ තැනි බිමේ එලාගෙන පලස්

වැතිරිලා එලලුවා ආදරේ හිඩැස්




Related Posts Plugin for WordPress, Blogger...