Wednesday, August 31, 2011

කිසාගෝතමිය වළපී


පොල් පේලි අතර තණකොල හොයන කිරිදෙන්නු
වේලි දෙල් කොල උඩිං ගොර අදින කර හුලං
ඉරි තැලුනු වෑ පිටියෙ පණ අදින නෙලුම් දලු
හෝන් කොත් වගේ මට දැනෙනවා හැම දේම

මාන්කුලමෙදි මිසිං උන අයිය හොයාගෙන
පොඩි එක ගොහිං දැන් මහ කලක් ගත උනා
"අම්මෙ මං ඕකුන්ව මරාගෙන මැරෙනවා"
එදා මළ ඉර තාම වැව උඩින් පිපෙනවා

බොල් අහසෙ තටු ගාන වරා මල් බල බලා
මැටි කට්ටෙ දූවිල්ල තවත් උඩහට ගියා
උඹෙ සොවට මහ උන්දැ ලෙඩ ඇඳේ තනි වෙලා
හිත යටින් හූල්ලයි හුස්ම පොද තල තලා

අයිය පණ ගෙනිච්චා,උඹ හුස්ම ගෙනිච්චා
මට් තාම බැරි උනා සුදු මූණු දකින්නට
පෝදාට පානකින් තනිය හූරාලන්ට 
ඇයි උන්ට බැරි උනේ උඹලාව එවන්නට

පන්සලේ බෝධියේ බැම්ම උඩ හැමදාම
පාංවැට දිලෙනවා උඹෙ නමින් තුන් රෑම
පිංකමට ලොකු සාදු උඹේ නම් කියනකොට
පුරා හඳ වැහෙනවා කලු වළා රොත්තකට

හංදියට ගියදාට බස් එකෙන් බහිනකොට
බස් හෝල්ට් බිත්තියේ පොටෝ දෙක දකිනකොට
එන අතරමග අනිත් බස් හෝල්ට් දකිනකොට
අබ මොටද මේ දුකට මයෙ පුතේ නාකි මට



Tuesday, August 30, 2011

අහස නුඹ


හිත බර වෙලාවට
හති හලන්නවත් ඉඩක් හම්බුනාම
මම මුලින්ම හැරෙන්නෙ උඹ දිහාවට
උඹ කරුණාවන්තයි
අපෙ හැම ඊයම් බරුවම
ලොකුවට හරි පොඩියට හරි
අහසෙ කොනකවත්
වළාකුලු තීන්තෙන්
අඳුරගන්න පුලුවන් තාලෙන් ඇඳල
හිතට එකම කැඩපත වෙන්න තරං
කරුණාවන්තයි උඹ

Monday, August 29, 2011

ස්ත්‍රී ලිංගික ක්‍රියා පද



ඩාලිං...
අද පාඩම තමා,
ස්ත්‍රී ලිංගික ක්‍රියා පද...

හා ඔයා දන්නවනං කියන්න බලන්න
උදාහරණ දෙක තුනක්

හොර කෙල්ල දැන දැනත් කියන් නෑ නේද
ඇයි....උයනවා.....!
හෝදනවා............!
අස් කරනවා..........!

Sunday, August 28, 2011

Rank your love


වර්ල්ඩ් රෑන්කින්ස් මොක උව
තරඟයේ වීරයා
වෙනස් වෙනවාමයි
ඔපේට තෝරාපු නුඹට

පිච් එක පරණ වෙද්දී
බෝලෙ හම යද්දී
staying on the crease is
what matters only

Saturday, August 27, 2011

කාක්කෝ



ගෝල් ෆේස් හුලඟේ
මුහුද දිහා බලාන
මුලු ඇඟේම විරියෙන්
එකම තැන ඉන්නත් තටු ගහන
කාක්කන් නොවෙමුද 
අපි.....?



Friday, August 19, 2011

කඳු මුදුනත වෑ කොමළිය:සෙම්බුවත්ත වැව



අද කියන්න යන්නෙ ලඟදි ගියපු තවත් ගමනක් ගැන.මේ ගමන ගියේ නං ඇල්කඩුවෙ සෙම්බුවත්ත විල බලන්න.ගමනට එකතු වුනේ මගේ යාලුව සංගීතුයි මමයි.
     පාන්දරම අස්ගිරියෙන් පිටවෙලා හතයි තිහ වෙනකොට වත්තෙගමට ආව.වත්තෙගමින් ඇල්කඩුව බස් එකක් තිබ්බෙ අටයි තිහට.විනාඩි හතලිස් පහක විතර ගමනකින් පස්සෙ ඇල්කඩුව හංදියට ආව කියමුකෝ.මට කැමරාවට අහුකරගන්න නම් බැරි උනා.ඒත් ඇල්කඩුවට මෙහා බස් එකේ එද්දි සමහර තැන් වලදි ඈතින් කඳු අතර පහත් බිමේ නුවර ටවුම හරි ලස්සනට බලාගන්නත් පුලුවන්.ඇල්කඩුවෙ ඉඳන් සෙම්බුවත්තට කිලෝමීටර් හතරක් පහක් තියෙනවා.පාර හරියටම නොදන්න නිසා අපි ත්‍රීවීල් එකක් හයර් කරන් යන්න හිතුව.

ත්‍රීවීල් ගමන අතරමග දසුන්
කොහොම වෙතත් ත්‍රීවීල් එකේ අයිය නං කිව්වෙ මේ වැව අරාබි සංචාරකයන් අතරෙ හරි ජනප්‍රියයි කියල.ත්‍රී වීල් එකේ යද්දි අවට කඳු යාය විශේෂයෙන්ම මාතලේ පැත්ත පහලින් හරි අපූරුවට දැකගන්න පුලුවන්.මේ වැව තියෙන්නෙ ඇල්කඩුව වතුයාය ඇතුලෙ.තැන ලස්සනට පිලිවෙලට හදල මේ තත්වෙට අරන් තියෙන්නෙ වතුයායෙ වර්තමාන අධිකාරිවරයා කියල තමයි දැනගන්න හම්බුනෙ.තැනට ඇතුල් වෙද්දි එක්කෙනෙක් රුපියල් එකසිය පනහක ටිකට් එකක් ගන්න ඕනෙ.ඒ මුදලින් කොටසක් වතුයායෙ වැඩ කරන ශ්‍රමිකයන්ගෙ සුභ සාධනයට බැර වෙන බව අහන්න ලැබුන.

සෙම්බුවත්ත වැව

      ත්‍රීවීල් එකෙන් වැව ගාවටම යන්න පුලුවන්.ඇත්තටම ඒක දැකපු ගමන්ම හිතේ අමතක නොවෙන විදියට පැලපදියම් වෙන දර්ශනයක්.තේ යාය මැදින් කන්ද නැගගෙන ඇවිත් එකපාරටම මුදුනට ආවාම දැකගන්න හම්බෙන්නෙ කන්ද මුදුනෙ තියෙන වැව.එක පැත්තකින් පයිනස් කැලෑව.පසුබිමෙන් තේ දල්ලෙන් වැසී ගත්ත තවත් කඳු මුදුනක්.

වැව පසුබිමේ පයිනස් කැලෑව
වැව අවට සුන්දරත්වයනම් කියල නිම කරන්න බැරිතරම්.උසම උස කඳු අතරෙ මේ වගේ තැනක් හැංගිලා තියෙනව කියල හිතාගන්නත් බැරි තරම්.
වැව් බැම්ම


   වැව ගැන කියන්න තියෙන පලවෙනිම දේ තමයි මේ වැව   නෑවොත් එලොව යාම අනිවාර්ය තැනක්ලු.වැවට බහින කවුරුත් ආපහු එනව බොරු කියල තමා තැන බලාගන්න හිටපු මෝගන් අයිය කිව්වෙ.මොකටද ඉතින් ඔය නලපාන වැවට බහින්නෙ අගේට පිහිනුම් තටාකයක් වැව ගාවම තියෙද්දි
තටාකය අසල


වැවයි අහසයි





ගහ දිගේ...





ඇස ගැටුනු මලක්
සෙම්බුවත්ත කියන නම ලැබිල තියෙන්නෙ මේ වැවේ ඉස්සර පාවුනා කියල කියවෙන සෙම්බුවක් නිසාලු.කන්දෙන් ගලාගෙන දිය පාරක් හරස් කරල හදපු පිහිනුම් තටාකය ඇත්තටම ගමන් විඩාව කඳු හුලඟෙ පා කරල දාන්න සමත්.අවාසනාවකට වටේ පොටෝ ගගහ හිටියට මටයි යාලුවටයි තටාකෙ පොටෝ එකක් ගන්න බැරි උනා.

ඒ ලඟම පොඩි ගිම්හාන කුටියක් ඒ වගේම කට්ටියට එකතු වෙලා සතුටු සාමීචියෙ යෙදෙන්න පුලුවන් අට්ටාලයකුත් හදල තියෙනව.අවට මල් වවල ඔංචිල්ලා සීසෝ එහෙම හයි කරල තිබ්බ.ඉතින් පවුලෙ හැමෝම එක්ක ගිහිං දවසක් ගත කරල එන්න හරි අපූරු තැන.රාත්‍රී නවාතැන් ගන්න ඕනෙ කරන කූඩාරම් පහසුකම් වත්තෙන්ම සපයගන්න උනත් පුලුවන්.

කඳු මුදුනට වැව දිස්වෙන අයුරු



කඳු මුදුනට හාත්පස දිස්වෙන අයුරු



පයිනස් තුරු වියන යට
පෙඳ පලස් ඇතිරිලි
  එතන හිටපු මනුස්සය කිව්ව වැවට උඩින් තියෙන කඳු මුදුනෙ තියෙන පරණ සුදු වතු පාලකයෙක්ගෙ බංගලාවක නටබුන් වගයක් ගැන.මායි යාලුවයි සෑහෙන වෙලාවක් කන්ද මුදුන පීර පීර හෙව්වත් ඒ තැන නං හොයාගන්න බැරි උනා.යන කෙනෙක්ට ඉතින් ගවේෂණ කැසිල්ල තියෙනවනං ඕං කොරන්න කියාපු වැඩේ.
ඉම් නොදුටු කඳු යාය


එනසාල් මල් පිපී

ආපහු එන ගමනේ ඇස ගිය තැන්
ඉතිං වැව අවට නාල ගිමන් ඇරල කන්ද නැගල විඩාවට පත් උන අපි දෙන්න අවරට යන්න පටන් ගත්ත ඉරත් එක්කම ආපහු එන්න හැරුන.ආපු පාරෙන්ම යන්න හිටපු අපි දෙන්නට ඊට වඩා කෙටි පාරක් ගැන අහන්න හම්බුනා.වෙලාවට මෝගන් අයිය අපිට තව තැනක් පෙන්නන්නත් එක්කම පාරත් පෙන්නන්න ඉදිරිපත් උනා.
පාර කියාපු මෝගන් අයියා

අත් හරින ලද ඇල්කඩුව තේ කම්හල
අවට තියෙන තව අපූරු තැන් කිහිපයක් ගැන හෝඩුවාවල් අපිට එන ගමනෙදි අහන්න හම්බුනා.එපිටහ කඳු අතර තියෙනව කියපු ලාම්පු තෙල් ලිඳ එයින් එක තැනක්.ඒ වගේම එන පාරෙදි අපට අහන්න ලැබුන උඩ පර්වත අතරෙ තියෙන ගල් ගුහාවක් ගැන.ඉස්සර සුද්දගෙ කාලෙ මේ ගල් ගුහාවට අස්සය පිටින් සුදු යුවලක් ගියාලු.ඒත් ආපහු ආවෙ නං නැහැල්ලු.කතාව කියපු අයියත් මේ ගුහාවෙ මුවවිටටම ගිහිල්ල තිබුනත් ඇතුලට යන්න නං බැරි උන බව තමා කිව්වෙ.
පර්වත බිත්තියේ ගුහා දොර
කන්ද බැහැපු පාරෙ හම්බෙන තව තැනක් තමා අන්නාසි ගල.ගල පහු උනාම ආපහු හැරිල කෑගැහුවම ඇහෙන දෝංකාර සද්දෙ අහන්නත් අමතක කරන්න එපා.මේ ගල මුදුනෙ අදටත් අන්නාසි ගස් තියෙනවලු.
අන්නාසි ගල
ඒ අය්ය අපිව එක්කං ගියා එන පාරෙම තිබ්බ තවත් තැනකට.ඒක ප්‍රපාතය ඉද්දර තියෙන පර්වතයක්.ඒ ගලේ ඉඳල පහල නිම්නෙට සවි කරපු කේබල් වලින් ඉස්සර සුදු අධිරාජ්‍ය කාලෙදි පහලට තේ දලු ප්‍රවාහනය කරපු බව අහන්න හම්බුනා.අදටත් ඒ බවට සාක්කි විදිහට ගලේ හයි කරපු යකඩ කූරු දකින්න පුලුවන්.
තේ දලු පැටවූ ගලට පේන හුන්නස්ගිරි මුදුන
ඒ වගේමයි මෙතනට හුන්නස්ගිරි මුදුනත් හරිම අපූරුවට පේනව.හුන්නස්ගිරි නගින විස්තර එහෙමත් ඒ අයියගෙන් දැනගන්න පුලුවන් උනා.යන පාර පෙන්නල දීපු අපේ සහෝදර ගමන් සගය එතනින් ආපහු හැරුන.අපිට කරපු උදවු වලට පිං දීල අපි පෙන්නපු පාර දිගේ පල්ලම්  බැස්ස.දෙමල මනුස්සයෙක් උනත් බුදුසරණයි මහත්තයෝ ගිහින් එන්න කියල කියන්න තරම් ඒ මනුස්සය කාරුණික උනා.නාඳුනන පලතකදි හම්බෙච්ච ඒ මනුස්සකම හදවතේ රන්දගෙන අපි පහලට ආව.එන මගදි අපි දෙන්නට තියෙන කෙටි පාරවල්වලටත් වඩා කෙටි පාරවල් හොයන්න ගිහින් අගල් අස්සෙ බඩගාන්නත් උනා.කොහොමහරි බොහොම ඉක්මනට අපි පාරට ආපහු වැටුන.ඒ නගින්න පටන්ගත්ත තැනට වඩා ටවුමට බොහොම ලඟින්.බස් හෝල්ට් එකක් විතර පයින් ගිහින් ඇල්කඩුව හන්දියට ආපු අපි දෙන්න හන්දියෙ ටැප් එකකින් වතුර බීගෙන බීගෙන ගිහින් ලඟම තිබ්බ පොඩි කඩේකට ගිහින් ඉස්පංචියක් එහෙම කාල නුවර බස් එකට නැගගත්ත.ඒ වෙනකොට වෙලාව දවල් දෙකට විතර ඇති.
  ඉතින් මේ ගමන බොහොම අලුත්ම විදිහේ අත්දැකීම් ගොන්නක් අත්විඳින්න පුලුවන් උන ගමනක්.මේ ගමන යන්න උදවු උන ඒ තැන බලාගන්න මෝගන් අයියව මේ වෙලාවෙ මතක් නොකරම බැහැ.අපිට පාර පෙන්නුවටත් වඩා ඒ පෙන්නපු මනුස්සකමට පිං දෙන්න ඕනෙ.ඒ වගේමයි සංගීත්ටත්.මේ ගමනෙන් දවස් කීපෙකට පස්සෙ මගෙ යාලුව අවුරුදු ගානකට විදේශගත උනා.සෑහෙන කාලෙකට අපි දෙන්නටම මතක හිටින මතක ගොන්නකුත් ඒ ගමන එක් කරා කිව්වොත් හරි.
මලක මෙලෙක
     ඉතින් යන්න කැමති අයට කියන්න තියෙන පලවෙනිම දේ තමා මොනම හේතුවකටවත් වැවට බහින්න එපා කියන එක.පුද්ගලික වාහනේකින් යනවනම් පාන්දරින්ම යන්න පුලුවන් උනොත් හොඳයි.එහෙම උනොත් මට දකින්න තරම් වාසනාවක් නොතිබ්බ වැවට උඩින් හිමිදිරි මීදුම බවුන් වඩන අපූරු මනස්කාන්ත දසුන දකින්න තරම් ඔබේ නෙත් වාසනාවන්ත වේවි.

Wednesday, August 17, 2011

මගේ සඳ අවරේ ගිලුණු වග


දෙසුම් හල පංකා විලාපය සිහිල නොගෙනේ දැවෙන සිතකට
ඇවිරි කවුළුව ඈත අහසට වැහි ගෙනා සුව මකා දමමින
ඇහැළ මල් පිපි පාලු මාවත පා තැබූ අඩි මැකී නැත තව
වහින වැස්සට හමන හුළඟට අපි කියූ කවි මතක නැත තව

සීත වැහිබර සැඳෑවක අග වදුලු තුරුලේ සැඟව උන් අප
ගං ළමැද කිති කැවූ උණ දලු සේ හද සරය විඳිමින
ඒ ගඟම අද සුළි නගා කැරකී සොයයි නුඹ දෑල දෙගොඩම
නලේ නුඹවත් කියාදීපන් ඈ යලිත් මෙහි නේන වගතුග

මල් උයන් කොන දෑස් මානන දහස් දනගෙන් වසංවීගෙන
සිම්බ නලලත දෑස් වසමින දැනුනු උණුහුම මතක ඇත තව
සියක් දන ඇස් කඳුලු අතරේ සිම්බ මොහොතේ නුඹේ නලලත
දැනුනු සීතල මතක් කෙරුවා මගේ සඳ අවරේ ගිලුණු වග

හීන විජිතය කන්ද මුදුනේ තනා උන්නා නුඹට මතකද
අදත් රෑ කල පාලු අඳුරේ විදුලි බුබුලින් ඇලී දිලිහෙන
අකුණු සරකින් රැයම එලිවී තුබූ තන්හිම අරා උන් සඳ
මේ බිමම සොහොනයි නුඹේ හන්තාන වී මතුයේ සොහොන් කොත

ගෙවුනු තෙවසර පැයකි අද මට එළැඹි වස කප් සහස් වනසේ
තවත් දවසක් ඉපිද මියැදේ නුඹ තෙපුල් සවනේ බමන සේ
මියෙන්නට තව පණක් නෑ මට එයත් ගෙන ගිය සෙයකි රහසේ
හෙටත් ගං මත පාලමට වී නේන නුඹ නෙත් සොයමි රහසේ


Friday, August 12, 2011

සඳ රෑ



සඳ නොම දුටුවද සයුරත දිලි රැළි
අපි දුටුවෙමු තුටු වෙරළත නැග සැලි
ලොව උනි නිසසල අඳුරක ගැලි ගැලි
ගැන ගැන උනි මා නලලත කෙහෙරැළි



Sunday, August 7, 2011

යථාවාදී තථාකාරී


මහත්තයෝ,ඔය ඉඩ තියෙන හැටියකට ඈඳි ගත්තනං.
     මහත්තයට කියන්න මහත්තයෝ මම මේ ගමේ මනුස්සයෙක් නෙවෙයි.උපන්නෙ බලපිටියෙ බ්‍රාහ්මණවත්තෙ.කිරිබත්ගොඩ මගෙ ලොකු හමුදුරුවො ගාව තමා පැවිද්ද ලැබුවෙ.ටික කාලයක් එතන ඉන්නකොට මට තේරුනා මම භික්ෂුවක් විදිහට ස්වාධීනව ඉන්න ඕනෙ කියල.මම මොකද කරේ,දැම්ම පත්තරේ ඇඩ් එකක් වැහීගෙන ගෙන යන පන්සලක් තියෙනවනම් ඇවිත් දියුණු කරනව කියල.මට ආව ලියුම් එකසියගානක්.ඒවයින් මම තෝරගත්තෙ මේ ගම තමා මහත්තයො.
      මේ ගමේ ඉන්නෙ අන්ත අසරණ දුප්පත් මිනිස්සු.වේල් දෙකයි කන්නෙ.සතියකට එක පාරක් විතර තමා කරවල කෑල්ලක්වත් කන්නෙ.එහෙව් මුං මට දානෙට මුහුදු මාලු ගෙනත් දෙන්න පටන් ගත්ත.මහත්තයෝ භික්ෂුව දානෙන්ම යැපෙන්න ඕනෙය.මේ දාන වේලෙන් මට පවු සිද්ධ වෙනව.මහත්තයත් ඉතින් බෙන්තර ගගෙන් එහා එකෙක්නේ.මගේ මොලේට ආව මරු අදහසක්.
    මම මේකයි කරන්නෙ.හැමදාම පාන්දර පහමාරෙ බස් එකෙන් මම යනව මහත්තයො අවිස්සාවේල්ලට.ගිහින් හෝටලේ උඩ තට්ටුවට වෙලා හොඳට අනුභව කරනව උදේ ආහාරය රජෙක් වගේ.නගිනව රත්නපුරේ බස් එකකට.ගන්නව රත්නපුරේටම ටිකට්.යනගමන් හොඳට දෙපැත්ත බලාගෙන ගිහිල්ල ඇති හැකි උස තාප්ප ගේට්ටු තියෙන ගෙදරක් දැක්කම බැහැගන්නව.අනිවාර්යයෙන්ම ඕව මැණික්කාරයොන්ගෙ ගෙවල්නෙ මහත්තයො.ඇතුලට ගිහින් කියනව මගෙ කතාව,මෙහෙමයි මට පොඩි පන්සලක් කර ගෙන යනව ඒකට ආධාර පිණිසයි මට කුළුබඩු දත්බේත් එහෙම ගන්නයි කීයක් හරි පරිත්‍යාග කොරන්නෙයි කියල.අනිවාර්යයෙන්ම රුපියල් දෙතුන්දාහක් ෂුවර්.අදිමදි කොරනවනං මං ඉතින් ධර්මානුකූලව සාප කරන්න ගන්නව.මහත්තය දන්නවද දැන් මෙහෙම මෙහෙම ගිහිල්ල රත්නපුරේට ලංවෙනකම්ම ගිහිල්ලයි තියෙන්නෙ.ඉතින් මහත්තයො ගාන හොයාගෙන දවල් කෑමට අර හෝටලේටම ගිහින් බුරියානි හරි මොනව හරි කාල අතුරුපසකුත් අඹරල  රෑට මොනාහරි මසක් මාලුවක් පලතුරු අයිස්ක්‍රීම් ටිකක් අරන් ආවාසෙට එනව.ඔහොම ඔහොම මම මහත්තයො මාසෙකට අඩුමගානෙ අසූවත් අනූවත් අතර හොයනව.දැන් මේ කෙරුවාව පටන් අරන් අවුරුදු හයක් විතර වෙනව.ඔය අස්සෙ ජනාධිපතිවරණෙට මැණික්කාරයෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුව දින්නොත් විහාර ගෙයි හදල දෙන්න කියල.දෙයියන්ගෙ පිහිටෙන් ඒකත් හරි ගියා.මහත්තයට කියන්න දැන් මගේ නමින් එයාපෝට් එකේ කාර් එකක් හයර් දුවනව.මේ සෙල්ලම පනස් පහ වෙනකං විතරයි.පනස් පහේදි මම යනව දඹදිව.එහෙ පිණ්ඩපාතෙට දෙන්නෙ සල්ලිලු.අවුරුදු පහයි මම ඉන්නෙ.ආපහු එනව ලංකාවට.එන්නෙ අනිවාර්යයෙන්ම ප්‍රාඩෝ එකක් අරං.එහෙ කාටහරි කියල මට ප්‍රදානය කරවගත්තොත් ටැක්ස් ඇත්තෙත් නෑ.වාහනේ ගෙනත් ගමේ එකෙක් අල්ලං ඌට කියනව උඹට තමා මගෙන් පස්සෙ හැම දෙයක්ම හැබැයි මගෙ දැලි රැවුල් කපපිය,රෙදි ටික හෝදල දීපිය කියල.අනික මහත්තයෝ පේනව නේද ඔය අඩි පාර දෙපැත්තෙ තියෙන ඉඩේ වැවිල තියෙන මැහෝගනී කට්ටිය.හැටේදි මම ආපු ගමන් ඕක කපනව.ඕක ඉස්කෝලෙට ඉඩං ගද්දි ඉතුරු උන කෑල්ලක්.ඒ ටික විකුනල ඕකෙ මං දානව තේ.එතකොට මම ඉඩංහිමි වැවිලි කරුවෙක්.මම මේ ගමේ අහිංසක මිනිස්සුන්ගෙ පාංශුකූලෙට දානෙට මගෙං වෙන්න ඕනෙ වැඩ ටික කරන එක මම වරද්දන් නැතුව කරනව හැබැයි මේ අහිංසකයොන්ගෙන් උයවං කන්න තරං මං පාහර නෑ.මේ තියෙන්නෙ මගෙ ඩී.වී.ඩී. එක ටීවී එක ෆ්‍රිජ් එක.බාත් රූම් එක ටයිල් කරපු කොමඩ් එකක්.
                   මහත්තයෝ මට බුදුවෙන්න ඕනෙත් නෑ.මේ සිවුරෙ හිටිය කියල මගෙ හීන නැතිකරගන්නෙත් නෑ

Friday, August 5, 2011

රුපියල් දෙක


ආනේ මයෙ පුතේ
උඹමද මංද හිටියෙ
පෙරෙයිදා
දොලහෙ කණුවට ගත්තු ටිකට් එකේ
රුපියල් දෙකක්
අඩු උනා නෙව බාං

ආපෝ ආතම්මෙ
තියාගනින් උඹෙ දෙක ඕං
දෙකට පහක්ම මේං

මා පුතේ
මේ මොකෑ
මං නෙව දෙක දෙන්න තිබ්බෙ
උඹෙන් මොකටෝ
තව පහක් ඈ 


Wednesday, August 3, 2011

නැවක් කතා කරයි


නැවක් වේද යම් මුහුදේ යා යුතු
බැහැ නවතිනු එක පහන් ටැඹ නමින්
මග දැනගනු ඇර වේද අන් පලක්

දැක තිබේද නුඹ ටැඹ අස වෙරළේ
ගිම් නිවනා එකකුදු නෞකාවක්

නැහැ නැහැ

මක් නිසාදයත් එලෙස පැතූ නැව්
පතුල සිඹින්නා මුහුදට ගව්දුර
නැත්නම් කුළු මත හැපී ගිලෙනු ඇර

කාටත් සුබ වේ නැව තම ගමනේ
තුති හැඟුමන් හදවත පුරවාගෙන

               
Related Posts Plugin for WordPress, Blogger...