Tuesday, July 26, 2011

ගැරිසන් සොහොන




කපිතාන් මැක්ග්ලෑෂන්ගේ සොහොන් ඵලකය


ඔහු නමින් කපිතාන් ජේම්ස් එඩ්වර්ඩ් මැක්ග්ලෑෂන්.වෝටලූ සටනෙදි වගේම බසාකෝ,ඇල්බියුරා වගෙ සටන්වලදි රැජිනගෙ 19වැනි රෙජිමේන්තුව වෙනුවෙන් සටන් වැදුනු සම්මානලාභී රණ ශූරයෙක්.දරුණු සතුරු බලමුලු මැද්දෙ ජීවිතේ බේරගෙන යුධ වැදුනු බ්‍රිතාන්‍ය සෙන්පතියෙක්.1817දි 1වෙනි සිලෝන් රෙජිමේන්තුවට අනුයුක්ත වෙන කපිතාන් ජේම්ස් ටිකක් මුරණ්ඩු හිතුවක්කාරය.තමන්ගෙ සගයො එපා කියල දහ අතේ අනතුරු අඟවද්දි කපිතාන් ත්‍රිකුණාමලේ ඉඳන් නුවරට පයින්ම එන්න පිටත් වෙනව.එන ගමන හරිම දුෂ්කරයි.විශේෂයෙන්ම ඝර්ම කලාපයෙ ඔරොත්තු නොදෙන ආර්ද්‍රතාවයි රස්නෙයි දරාගෙන වගුරු දියකඩිති වදුලු මැදින් මේ එන ගමන කොහොමහරි නුවරට ඇවිත්ම තමයි ඉවර වෙන්නෙ.මෙ සිදුවීම් සිද්ධ වෙන්නෙ නොවැම්බර් මාසෙ අග හරියෙදි. ඇවිත් ටික දවසකින් කපිතාන් දරුණු උණකට ගොදුරු වෙනව.කොච්චර වීරය උනත් මේ උණට නං කපිතාන් තමන්ගෙ ජීවිතෙන්ම පරාද වෙනව.ඒ හරියටම දෙසැම්බර් 2වැනිද.

ඔයාල ඒ ඇහුවෙ යටත් විජිත කාලෙ අපේ රට පාලනය කරපු හුඟාක් බ්‍රිතාන්‍ය සෙබලු අත්විඳපු මරණයෙ එක් උදාහරණයක්.අපේ සෙබලුන්ගෙ කඩුවට වඩා සුදු ජීවිත බිලිගන්න සමත් උනා ඒ කාලෙ හිටපු මදුරුවො.මේ අපේ ඉතිහාසයෙම අපි බොහොම හැල හැප්පිලි,කැරලි කෝලාහල මැද ජීවත් උන කාලයක්.නමුත් ඉතිහාසය කියන කාරණාවෙදි  අපිට අමිහිරි මතක එක් කලත් මේ සමය ලංකාවෙ අනාගතය වෙනස් කරන්න සමත් උනු තීරක කාල පරිච්ඡේදයක්.මම කියපු කතාවෙ කපිතාන්ගෙ සොහොන් ඵලකය තමා කතාව මුලදිම ඔබ දක්කෙ.මේක අපි නිතර දෙවේලෙ යන තැනක් ලඟ තිබ්බත් හුඟක් දෙනා මේක දැකල නැතුව ඇති.අපිට කපිතාන් මැක්ග්ලෑෂන් විතරක් නෙවෙයි මේ වගෙ කතා සියගණනක අයිතිකාරයො හම්බෙන්න පුලුවන් ගැරිසන් සුසානයෙදි.
ගැරිසන් සොහොන

      ගැරිසන් සොහොන තියෙන්නෙ දළදා මාලිගාව පිටිපස්සෙ.දිගන දිහාවට යන පාරෙ මාලිගාව පිටිපස්සෙ වංගුව ලගින් වම් පැත්තට විහිදෙන පොඩි පාරෙ තමා මේ තැන තියෙන්නෙ.1820-1870 අතර කාලෙ මිහිදන් උන බ්‍රිතාන්‍ය ජාතිකයින් 190ත් 200ත් අතර දෙනෙක්ගෙ කතා මෙතන වැලලිල තියෙනව.ඒ අතර කවුරුත් නිතර අහල තියෙන ජෝන් ඩොයිලි,ග්‍රෙගරි ආණ්ඩුකාරයගෙ බිරිඳ එලිසබත් වගෙම පුංචි අතදරුවො පවා ඉන්නව.
ජෝන් ඩොයිලිගෙ සොහොන
ග්‍රෙගරි ආණ්ඩුකාර බිරිඳගෙ සොහොන
 මෙතනට ගියාම අපිට හම්බෙනව මෙතන භාරකාරය.ඔහු නමින් චාල්ස් කාමයිකල්.ඔහු මේ සුසානය බොහොම පිලිවෙලට පවත්වගෙන යනව.මෙතනට යන ඕනෙම කෙනෙක්ට මෙහෙ තියෙන හැම ඵලකයකම හැංගිල තියෙන කතාව බොහොම රසාලිප්තව ඉංග්‍රීසියෙන් කියල දෙන්න කාමයිකල් උන්නැහේ සමත්.ඉඳල හිටල ගැරිසන් සොහොනට එන සංචාරකයන්ට අමතක නොවෙන කතාරසයක් දනවන්න,එක් කරන්න පුලුවන් පුද්ගලයෙක් ඔහු.සොහොනට අමතරව ඒ ලඟම පොඩි කටුගෙයකුත් තියෙනව.කාලයක් වල්බිහිවෙල තිබ්බ මේ තැන පහුගිය කාලෙක සිද්ධ උන චාල්ස් කුමාරයගෙ ලංකා ගමනට සමගාමීව හෙලිපෙහෙලි කෙරිල තියෙනව.ඉතින් මම මීට වඩා මේ තැන ගැන කියන්න යන්නෙ නෑ මොකද ඊට වඩා ලේසියි ඔයගොල්ලො හැමෝටම මාලිගාවට ආපු වෙලාවක පැය භාගයක් විතර වෙන් කරගෙන මෙතනට එන එක.
කතාව කියල දෙන කාමයිකල් උන්නැහේ

කෞතුකාගාරෙ ඇතුලත

                මේ වෙලාවෙ මාව මේ තැනට එක්කං ගියපු එහා ගෙදර වින්සි අන්කල්ව මතක් නොකරම බැහැ.ඉතින් පුලුවන් වෙලාවක නුවර ගියාම ගැරිසන් සොහොනට යන්න.එතන ඉන්න හුඟක් දෙනා බලන් ඉන්නෙ "නොදන්න රටක තනිවුනු තමන්ගෙ දුක්බර කතාව" කියන්න.ඒක මෙතෙක් නොලබපු වෙනස්ම අත්දැකීමක් වෙනවට කිසිම සැකයක් නැහැ.

Monday, July 25, 2011

සමුගනිමි රෝමියෝ


පහුගිය දවස්වල විභාගෙ නිසා බ්ලොග් එක දිහාවෙ එන්නම බැරි උනා.විභාගෙ ඉවරම නැතත් මෙ පැත්තෙ එන්න හිතුවෙ බෙදා ගන්න අලුත් දෙයක් තියෙන හින්ද.මේ කියන්න හදන්නෙ අලුතින්ම කෙරුනු සින්දුවක් ගැන.
සිංදුවෙ නම "සමුගනිමි රෝමියෝ"


සින්දුව කියන්නෙ බැච් එකේ නිලංකා මුණසිංහ සහෝදරිය.

සංගීතය ඩිලාන් සංජයගෙන්.

ලිව්වෙ නං මම.

***************
නීල පෑ අඳුරේ   රුහිරෙන් වැසී වෙලුනේ...
මා කෙවෙනි කඳුලේ   නොසොයා කිමද තැවුනේ...
මේ වැසුනු දෙනෙත් විදා   මුව පියුම් මුදා...
මා සිප සැනසෙන් සඳේ   යුග දෑත් හොවා...
යමු අත් බැඳ ඉතින් සමුදී වෙරෝනා
මේ සීතට හොරා මීදුම වෙලා..

තනි රැයයි ගෙවුනේ   නුඹ අයි මෙලෙස මිදුනේ...
පාට දී දිවියේ   සිත්තම ඉරා ඇදුනේ...
ඒ සඳලු මතින් පිපී   සඳ නලෙක එතී...
අප මිමිණූ ඒ රහස්   සඳ තවම දනී...
ලෝ රුපුනොද දනා ගිනිහුලු මවා
පෙම් කුරුසියෙ හොවා අප හළු කලා...

අවදි නැති සිහිනේ නුඹ නෑ තනිව ඉන්නේ...
දෙතොල් පිණි ඇතිරූ   රස විසද මද වූයේ...
මේ කිණිසි අගින් රුවා   හද දොරටු පවා...
අරවා එන්නම් මිහිරේ ඔබ තුරුල සොයා...
මේ ලෙන හැර දමා අහසට නැගී
මා එනතුරු හිඳින් පියඹා නොයා..

**************
සිංදුවෙන් කියවෙන්නෙ ජුලියට් දිවිනසාගන්න කලින් රොමියෝගෙ පණසුන් දේහය අසල කෙරෙන අතීතාවර්ජනයක් ගැන.

වැඩි විස්තර මොකටද නේද මෙතනින් සින්දුව අහලම බලන්නකෝ.

http://www.youtube.com/watch?v=AZBReETaYtU&feature=share


මේ වෙලාවෙ මට මේකට දායක වෙන්න ඉඩහසර හොයල දීපු නිලංකවත් පණ්ඩිත්වත් ලබැඳි සිතින් මතක් කරනව.
ඉතින් ඔයාලගෙ අදහස්,යෝජනා බලාපොරොත්තු වෙනව මේ ගැන.ඒ හැම දෙයක්ම හුගක් වටිනව කියල විතරක් අමතක කරන්න එපා.
                                                                                 

Wednesday, July 13, 2011

රෑ බදුල්ලෝ


(පුවතක්:-සටන් විරාම සමයේ ආරක්ෂක වලල්ල හරහා තම පෙම්වතිය හමුවූ සෙබලා අත් අඩංගුවට )

♂-ඔයා මට ආදරේද...?
♀-හ්ම්ම්...

♂-හරි
  වැරදිලාහරි අපි
  දවාලෙ හම්බුනොත් ඇටෑක් එකකදි
  ඔයා මට වෙඩි තියනවද?
♀-නැතුව...

♂-හෙහ්
  ආදරේට වෙන්නැති එහෙනං
  වෙඩි තියන්නෙ...
♀-ඔව්..
  හැබැයි නිජභූමියට

♂-බම්බු නිජභූමිය..

  මං යනව යන්න

♀-හෙට රෑටත් එනව නේද...?
♂-හ්ම්ම්.....

  දවල්ට ඔයයි මායි හම්බ නූනොත්


Tuesday, July 12, 2011

නලපාන ජාතකය


ඔබ ආ පාරේ
අඩි සටහන් ඇත්තේ
ඔබගේ පමණක් නොවේ....

එහෙත්
පිටව ගිය උන් අතර
ඔබේ අඩි
තවම දැක්කේද නොවේ...

මක්වීද නුඹට...?
මක්වීද අපට...?

Sunday, July 10, 2011

පුංචි ලිඳේ....


කරත්තය හිස්ය
ඒත් තල්ලුව මදිය
ඉර තාම නිදිය
නුඹට ඒ සැප නැතිය

කලුවර තාම හෙවනයි
ඒත් කපුටෝ නැගිටියි
වසුරු බර සලතෙයි
බේරි බේරී යා යුතුම වෙයි

හෙට්ටු ගාණට පැකිලී
පිටකොටුවෙ පොල් මුදලී
වෙන්ඩ පෙර පොල් තැඹිලී
අනේ වලු වලු අඳුරෙ බැබලී

එන ගමන දුකකී
මරදාන මහමෙරකී
බැරියරය දුරකී
උන් උදවු තෙක් යාම යෙහෙකී

අවිය හල අතිනී
උදවු කාසිය තැඹිලී
දී යලිඳු හැරුනී
තාම ඉර අඳ බැවිනී

කිංසි පාරේ මගදී
යනෙන ඔබ බොන තැඹිලී
රහ යහට නොමැතී
කරුණු මෙකඳුලු නොවිය නොහැකී

Wednesday, July 6, 2011

මගේ අනිමිසය


නිසතු යුගයක
කෙවෙනි අයිනේ
නමට නුඹගේ
කඳුළු තිබුණත්

කඳුළ දෙපදෙක
රුවා රහසින
විලි දැරූමුත්
නොදිටි නුඹ නෙත්

මතක මාවත
ඉවුරු අයිනේ
නුඹට අවසඟ
වීය හද තත්

එවෙණ සොම්නස්
සෙනෙන් අදරින
වයන පන්සිළු
කුමරි අබිසෙස්

ළමැද සයනේ
නිදන සුවසේ
නුඹට අනිමිස
පුදමි මේ ලෙස්

ජීවිතය වී
දෝත් මලසුන
පිපුණ ආදර
කුසුම නිකෙලෙස්

Sunday, July 3, 2011

සැරසිලි


ජය සිකුරු යද්දී උඩහට
දාල දුවපු "දෙමල ෆ්‍රිජ්"වල
එකතු කරපු කොයිල් කම්බි
හැඩට ඔතල දඟර දාපු
හරි ලස්සන මල් පෝච්චි පොඩිත්ත
තාමත් එල්ලෙනව සාලෙ මැද්දෙ
නිවාඩුවකට ආ වෙලාවක
අප්පච්චි එල්ලපු විදියටම

Saturday, July 2, 2011

තල් කවි


සාක්කු හිස් කරලා
පුරවගමු අත්වලට
විසිකරමු කච්චාන් හුලඟට
ගහං යන්න උඩහට

හුලඟටත් හොරාට
උන්හිටිතැනම වපුරන
අපිවම වහං පැලවෙන
කවි මොකට බඩ සා දුරලන

වරා අහුරක් විලස
හුලඟ ඉඹගෙන පියඹන
කඳුලු තෙත මත දලුලන
මතු දිනේ සෙවනැති බිජු කවක් මිස 

Friday, July 1, 2011

Guidelines For Love


බෙදන්නයි ඕනෙ බදනවට වඩා..
ප්‍රාශ්වාසයයි ඕනෙ ආශ්වාසයට වඩා..
නකුට වනන්නයි ඕනෙ ලෙවකනවට වඩා..
තරුවක් වෙන්නයි ඕනෙ හඳක් වෙනවට වඩා..
දිගේලි කරන්නයි ඕනෙ කූඩු කරනවට වඩා..
Related Posts Plugin for WordPress, Blogger...