කැලෑගමේ මල් |
මේ පුංචි රටේ දස අතේ විසිරිලා ඉන්න දහස් ගාණක් වෙන ජීවිතවල අයිතිකාරයො නොනවතින අරගලයක හැම නිතරම නිරතවෙමින් පුලුවන් උපරිම හොඳින් ජීවත් වෙන්න දත කනවා.මේ සටන ගමේ නගරයේ කියල වෙනසක් නැතුව අනවරතව ඉදිරියට ගලාගෙන යනවා.රටේ නගර අවට බහුතර සැප පහසුකම් මැද්දෙ අපි අපේ ජීවිත සටන ගෙනියන වෙලාවක මේ කතා කරන්න යන්නෙ මේ රටේම තවත් කොනක මූලික මිනිස් අවශ්‍යතාවනුත් අහිමිව තමන්ගෙ දිවි අරගලයේ ගැලිල ඉන්න අපේම සහෝදර පිරිසක් ගැන
කැලෑගම සිරියාව |
මේ ලංකාවෙ තියෙන දහසකුත් ගම්මාන අතරින් එකක්.කුරුණෑගල පුත්තලම පාරෙ නිකවැරටියෙන් හැරිල කිලොමීටර් විස්සක විතර දුර ගියාම තමයි කතාවෙ කියවෙන කැලෑගමට යන්න පුලුවන් වෙන්නෙ.නමින් කියවෙනව වගේම කැලෑ මණ්ඩිවලින් වටවුනු පාරකින් තමා ගමට ඇතුල්වෙන්න තියෙන්නෙ.ගමට ගමන් පහසුව සලසන්න එකම එක ලංගම බස් රථයක් විතරයි තියෙන්නෙ.ගමට ඇතුල්වෙන අපට අපූරුවට නිලන කුඹුරු යායවල්,රැළි නගන වෑ දිය මතින් හමායන සුන්දරත්වය ආගන්තුක මිහිරක් එක් කරනව උනාට මේ වියළි පස මත්තෙ උදේ හවා හැප්පෙන,තමන්ගෙ දෝතින් ගෙන වතුර බිංදු කීපෙකින් වපුරන බිජුවටවලින් අලුත් දල්ලක් නංවන්න ඔවුන් හෙලන දාඩිය කඳුලෙ හැංගුන සුන්දරත්වය නං අපේ ඇස්මානයට ගෝචර නොවෙන තරං.ඒ හින්දමයි කොළඹ වෛද්‍ය පීටය වාර්ෂිකව පවත්වාගෙන එන "වස්සාන දියවර" මනුෂ්‍යත්වයේ දෑත අපි කැලෑගමේ අපේම මිනිසුන් වෙනුවෙන් දිගුකරන්නට හිතුවෙ.
ගමෙන් අපිට |
කැලෑගම මනුස්සකම් අතින් දෝරගලන ගැමි හදවත්වල අපූරු එකමුතුවක්.මුල් හමුවීමෙදිම ගමේ සියල්ල අප වෙත දිගු කල සෙනෙහසේ දෑත අපව හැඟීම්බර නොකර නොසිටි තරම්.පහුගිය බිනර පුන් පෝදා අපි ගමේ පන්සලට මුල්වරට ගොඩ වුනේ ගමේ තියෙන අඩුපාඩු සියල්ල පාහේ අහල දැනගෙන හැකි උපරිමයෙන් ඒවට පිලියම් යොදන අරමුණෙන්.දායක සභා රැස්වීමෙදි අපි අඩුපාඩු ලැයිස්තුවක් බලාපොරොත්තු වුනත් ඔවුන් සතුව එවැන්නක් තිබුනෙ නැහැ. දුෂ්කරතා මධ්‍යයේ වුනත් තමන් අසරණ යැයි සිතීමට තරම් ඔවුන් අසරණ නොවී සිටියා.අවසානයේ නිර්ව්‍යාජ එක ඉල්ලීමක් පමණක් ඔවුන්ගේ මුවින් පිටවුනා.ඒ ඔවුන් එදිනෙදා හැබෑවටම බැට කන ජල ප්රශ්නය.නාන කාමරයෙ වතුර මල යටට වෙලා අපි දවසෙ සරතැස දිය පොදක දිය කරල අරිද්දි මේ මිනිස්සු බොන්න වතුර පොදක් හොයාගෙන නිරුදක බිම පීරනව.ගමේ තියෙන හැම ළිඳකම වතුර කටේ තියන්න බැරි තරම්ම කිවුලයි.බීමට යන්තම් හෝ සුදුසු තරමේ ජලය ඇත්තේ පුද්ගලික ළිං දෙකක පමණයි.මේ ළිං දෙක දැනටත් ගමේ හැමෝගෙම පාවිච්චියට විවෘතයි.ඒත් දවසෙන් වැඩි වෙලාවක් දිය හොයාගෙන ගම පුරා කාල්ගාන්න වීම ඔවුන්ගෙ ජීවිතවල දෛනික වැඩ කටයුතු අඩපණ කරවන්න සමත් වෙලා.ජල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ්වලට ලක්කිරීමෙදි අපිට දැනගන්න ලැබුන හොඳ ෆිල්ටරයක් භාවිතයෙන් මේ ජලය බීමට සුදුසු තත්වයට ගේන්න පුලුවන් බව.මේ ළිඳෙන් ගමටම වතුර දෙන්න අපහසු උනත් අපේ සැලැස්ම වුනේ ජලය පෙරනයක් හරහා ටැංකියකට යොමු කරල වැඩිපුර ගමේ අය රැස්වෙන පන්සල,පාසල හා මධ්‍යම බෙහෙත් ශාලාවට ජල සැපයුම ලබාදෙන්නයි.මේ සරල නල පද්ධතියට ලක්ෂ 6ක පමණ මුදලක්වත් අවම වශයෙන් වැයවන බව ඇස්තමේන්තු කිරීමේදී දැන ගන්න ලැබුනා.ගම උදෙසා අපේ මෙහෙවරේ මූලිකම අරමුණ වන මේ කටයුත්ත සාක්ෂාත් කරගන්න එක තරමක අපහසු කටයුත්තක් වුනත් එය ඒ ආකාරයෙන්ම සිදුකරන්න දැනටමත් අපේ සොයුරු සොයුරියො ලොකු මහන්සියක් දරනව.
පාසල් සෞඛ්‍ය පරීක්ෂණයෙදී |
ගමේ විහාරස්ථානයට ගොඩවුන මොහොතෙ අප අඳුනගත්ත අඩුපාඩු නම් බොහොමයි.වැසිකිළි හා ජල පහසුකම් නොමැතිකම,දහම් පාසලේ ගොඩනැගිලි හිඟය,ඩෙස් බංකු,පොත්පත්,නිල ඇඳුම් හිඟය ඒ අතරින් මූලිකම වෙන බව අපට වැටහුනා.ප්‍රදේශයේ ගම්මාන කීපයක්ම සඳහා තියෙන එකම දහම් පාසල වෙන මෙහි දැනට දරු දැරියො 160ක් විතර දහම් දැනුම ලබනවා.ගමට ආසන්නයේ පිහිටල තිබ්බ තවත් පොඩි පන්සලක,පන්සලකට තියෙන මූලිකම දෙයක්වෙන බුදුපිළිමයක්වත් නැහැයි කියල අපිට අහම්බෙන් වගේ දකින්න හම්බුනා.
ගමේ පවුල් 240කට අයත්ව ගම්වැසියන් 760ක් විතර ජීවත් වෙන බව දැනගන්න ලැබුන.ඉන් පවුල් 70කට විතර විදුලිය පහසුකම් නැති බවත් පවුල් 23කට අවම වැසිකිළි පහසුකම්වත් නැති බව ග්‍රාම සේවක මහත්මිය එක්ක අපි කරපු කතා බහේදි අපට දැනගන්න ලැබුන.
අපේ ගමනෙ ඊළඟ නවාතැන වුනේ කැලෑගමේ ඉස්කෝලෙ.1 වසරෙ ඉඳන් 11 වසර වෙනකන් පංති පැවැත්වෙන මේ ඉස්කොලෙ අකුරු කරන 200කට ආසන්න සිසු දරු කැළට උගන්නන්න ඉන්නෙ ගණනින් 13ක් වෙන ගුරු මණ්ඩලයක්.කොච්චර අවම පහසුකම් යටතෙ උනත් සහජ දක්ෂතාවය යට කරන්න බැහැයි කියන එකට හොඳ උදාහරණයක් අපිට මේ පාසල් බිමෙන්ම හම්බ වුනා.පහුගිය අවුරුද්දෙ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක් ලබාගෙන සමත්වුන සඳුනි සිසුවිය තමයි ඒ.ඒ වගේම තවත් දරුවො දෙන්නෙක් ශිෂ්‍යත්වය සමත් වුනා කියලත් දැනගන්න ලැබුනා.පාසල් බිමේ ඩිංගක් එහාට මෙහාට ඇවිදිද්දි අපෙ ඇස ගිය තැන් බොහෝමයි.පාසලට සාමාන්‍ය විද්‍යගාරයක් සහ පරිගණක විද්‍යාගාරයක් නැති වීම ඒ අතරින් අපි දුටු මූලිකම අඩු පාඩුවක්.කොම්පියුටරය නැතිව මොකවත්ම කරගන්න බැරි ලෝකෙක ඒ ලමයි එහෙම දෙයක් ගැන අහල දැකල නොතිබ්බ තරම්.ඒ විතරක් නෙවෙයි පාසල් ගමනට ඕනෙ කරන පොත් පත්,ලිපි ද්‍රව්‍ය,පෑන් පැන්සල්,නිල ඇඳුම් සපත්තු දේවල් වගෙම පාසල් පුස්තකාලය වැඩි දියුණු කරල දීමත් අපේ අරමුණු ගොන්නට එකතු කරගන්න අපි තීරණය කරා.තූර්ය වාදන කණ්ඩායමට හිඟව තියෙන තූර්ය වාදන භාණ්ඩ හොයා දෙන්නත් අපි හිතාගත්ත.
පාසලේ ශ්රමදානයේදී |
ගිය මාසෙ නොවැම්බර් 11වෙනිද වෛද්‍ය පීට බෞද්ධ ශිෂ්‍ය සංගමයත් එකතු වෙලා පාසල් භූමියෙ ශ්‍රමදානයක් වගේම පාසල් සෞඛ්‍ය පරීක්ෂණ වැඩ සටහනක් පැවැත්වුවා.මේ කටයුත්ත සාර්ථකව අවසන් වුන අතර එහිදී හඳුනාගත්ත දරුවො වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරුනා.ගමේ දරුවන්ට බාහිර ලෝකයේ ඔවුන්ගෙන් දුරස්වෙලා තියෙන බොහෝ දේවල් ඔවුනට සමීප කරවන්නත් ඒ වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පෙළඹවීම ඇති කරවන්නත් කියන අරමුණුවලින් යුතුව ආදි ආනන්දීය තාරකා විද්‍යා සංගමය සමග එකතු වෙලා තාරකා විද්‍යා කඳවුරක් දෙසැම්බර් 3වෙනිදා ඉතා සාර්ථකව කැලෑගමේදි පැවැත්වුනා.
කැලෑගමේ පාසලේදී |
පාසලෙන් අපි ඊලඟට ගොඩ වුනේ ගමේ බෙහෙත් ශාලාවට .ගමේම සුවසෙත සොයාබලන මේ ස්ථානය තිබුනෙ බොහෝම අබලන් තත්වයක.රෝගියෙක් දිගාකරල සේලයින් බිංදු දෙක තුනක් ලබාදෙන්න අඩුගනනෙ රෝහල් ඇඳක්වත් එතන තිබුනෙ නැහැ.ගැබිණි මාතෘ සායනය පැවතියෙ අබලන් කටු මැටි මඩුවක.එන්නත් ඖෂධ කල්තියාගන්න ශීතකරණයක් හෝ ඖෂධ නිකුත් කරන්න සංයෝජකයෙක් පෙනෙන්නට සිටියේ නැහැ.මොන අඩු පාඩු මධ්‍යයේ උනත් ඒ බෙහෙත් ශාලාවෙන් ගමට ඉටුවෙන සේවය නං කියල නිම කරන්න බැරි තරමයි.මේ කටයුතු සඳහා අත්වැලක් වෙන්න අපි කට්ටියයි කුරුණෑගල ජාතික තැලිසීමියා මධ්‍යස්ථානයෙ කාර්ය මණ්ඩලයයි එකතු වෙලා තැලිසීමියා රෝගය හඳුනාගැනීමේ වැඩසටහනක් නොවැම්බර් 12වෙනිදා කැලෑගමේදි පැවැත්වුනා.එහි ප්‍රතිපල අනුව තැලිසීමියා වාහක ගම්වාසීන් හඳුනාගෙන ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් මේ වන විට ලබාදීමට අපි කටයුතු කරන්න උත්සුක වුනා.
තැලිසීමියා රුධිර පරීක්ෂාවට පෙල ගැහෙමින් |
ඒ වගේම ගමේ දරු දැරියන්ටයි තරුණයන්ටයි ක්‍රීඩා කටයුතුවල යෙදීම සඳහා අඩු වියදමකින් ක්‍රමවත් වොලිබෝල් පිටියක් ලබාදෙන්න පුලුවන්නම් හොඳ බව ගමේ ඇවිදිද්දි අපට පෙනී ගියා.
කැලෑගම වචනාර්ථයෙන්ම වන වදුලුවලින් වටවුනු මනුස්සකම්වල එකතුවක් .ඒ බව ගමේ අපි ගත කල දින කීපයේදි අපේ හදවත්වලට දැනුන.ජල ප්රශ්නය ඇරෙන්න ඔවුන්ගේ මුවින් ගිළිහුණු අන් ගැටලුවක් නැති තරම්.බොහෝමයක් ගැටලු ඔවුන් හඬගා කියූ දේවල් නොවන අතර අපිම දැක හඳුනාගත්ත ඒවායි.නගරබදව සැප පහසු ජීවිත ගත කරන අපිට මේ ඊනියා ශිෂ්ටත්වයෙන් එපිට තමන්ගෙ ජීවිත උදෙසා මහපොලව හා පොරබදන මේ සහෝදර ජීවිතවල හෙට දවස බිඳකින් හෝ එළිය කරන්නට හැකිනම් එය මාහැඟි කුසලයක්ම වන බව අපේ විශ්වාශයයි.ලංකාව පුරා ගම් දහස් ගණනක් තිබියදී එක් ගමක් තෝරාගෙන මේ කරන්නට යන දේ කෙතරම් ප්‍රායෝගික දැයි කෙනෙකුට සිතිය හැක.එසේ සිතමින් නිකම්ම සිටිනවාට වඩා ඒ එකගමක් හෝ වෙනුවෙන් අපට කල හැකි සුලු දෙය වත් කිරීම වඩාත් ප්‍රායෝගික වන බව සැබෑ සත්‍යයයි."වස්සාන දියවර 2012" ව්‍යාපෘතිය යටතේ ඉහත හඳුනාගත් අවශ්‍යතා සපුරාගැනීමට වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ එකමුතුව ප්රමුඛ කොළඹ වෛද්‍ය පීට ශිෂ්‍ය ප්‍රජාවම උපරිම කැපවීමෙන් යුතුව වෙහෙසෙන මේ මොහොතේ මේ සත්කාර්යය උදෙසා මෙය දකින ඔබ සැමගේත් දායකත්වය සහෘද සිතින් අපි බලා පොරොත්තු වෙනවා.අපිත් බහුතරය බොහොම අපහසුවෙන් අපේ ජීවන අරගලය ඉදිරියට ගෙන යන අය.නමුත් ඒ අපේම දරු කැලක අනාගතය දිනවන්න පොතක් පැන්සලක් ගෙනදීමට තරම් හැකිනම් අපි අපේ ජීවන සටන වඩා අර්ථවත්ව ගත කලා වනවා නොවේද?ජල සැපයුම් පද්ධතිය අපේ මූලික අරමුණ වන අතර ඒ සඳහා ඇති හැකි ඔබේ නොමසුරු ආධාරය උදක්ම කැලෑගමේ හෙට දවස යහපත් එකක් කරවනවා නො අනුමානයි.මේ සඳහා ටවුන්හෝල් මහජන බැංකු ශාඛාවේ අංක 167100106827356 දරණ ගිණුම(Medical Students' Buddhist Association) විවෘතව පවතින අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු
0715784508 ප්‍රසන්න(වස්සාන දියවර 2012 ප්‍රධාන සංවිධායක )
0776563232 ඩිලාන්(සභාපති-වෛද්‍ය පීට බෞද්ධ ශිෂ්‍ය සංගමය )
0718470350 සංගීතා ඇමතීමෙන් ඔබට ලබාගත හැක.
වස්සාන දියවර ෆේස්බුක් පිටුවට Wassana-Diyawara-2012-
සොඳුරු ඉර සඳ ඔවුන් නෙතටත් සිහිල ගෙනෙන හෙටකට... |
මේ කටයුත්ත උදෙසා අරමුදල් රැස්කිරීමට දෙසැම්බර් 16දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී "කලම්බු කලම්බු" නාට්‍ය දර්ශනය සඳහා සහභාගී වී දායකත්වය දැක්වූ සියලු දෙනාටම කොළඹ වෛද්‍ය පීටයේ සහෘද ස්තුතිය හිමිවෙනවා.වස්සාන දියවර අපේ වෑයම 2012 ජනවාරි මස 8වෙනිදා දැවැන්ත සෞඛ්‍ය කඳවුරක් ලෙස කැලෑගමට ලඟාවීමට නියමිත අතර අපේ සෙසු අරමුණු
හැකි උපරිමයද එදින වන විට සාක්ෂාත් කරගැනීම අපේ අභිප්‍රායයි.
මයිකල් ජැක්සන් හෝ ස්ටීව් ජොබ්ස් මළ මොහොතේදී පවා උණු වී හඬා වැටුනු අපේ සහෝදර හදවත් අපේම රටේ අපේම සොයුරු කුලකයක දිය පිපාසාව වෙනුවෙන් වෙනුවෙන් නැගී සිටින බව අපේ විශ්වාසයයි.කැලෑගම උපන් ඒ අපේ සහෝදර කැළතක හෙට දවස යහපත් කරවීම අධ්‍යාශය කරගෙන එබිම සනහා ඇද හැලෙන වස්සාන දියවර වෙනුවෙන් අප හැම අත්වැල් බැඳගත් මිනිසත්කමේ සුරත් පවුර ඉදි විය යුතු කාලයයි මේ.
....අපි..... |
No comments:
Post a Comment
නොතිත් සිතඹර අරා...