Monday, March 30, 2020



පිපී ඇති රොබරෝසියා
ගලහ පාරේ තැන තැන
තුටු පහටු සැනසිල්ලක


දුටුවෙ නැති මුත් දන්නවා මම

හරියටම ඔබ වාගෙම

Sunday, August 18, 2019






එහෙමමත් දවසක
කලාතුරකින් හවසක
අකුල් මං කටු හැර
බෙහෙත් වැල් මුල් හාරා
වලාකුලු ගිරි හිමේ පීරන
නාඳුනන්නියකට අහුවෙන ලෙස
වන ගුල්ම මැද
ගිලුණු දොරුවක
ගැඹුරු කදුරක
මා දෝමනස්සයන්
සඟවා තබමි

ඔවි
නුඹ ලිහිණි අක්කේ යැයි හඬතැලිය යුතු නැත
කවුරු හෝ පැමිණීමමත් ඇති
අහන්, ආ ගමනම ගියත් ඇති



Saturday, August 3, 2019




සියලු මාර්ග ඵල 
දිග්විජය කල පසු
ඒ ඉසිවරු
වැඩ උන් ගඳකුටිය
අමදිති

හැමදාම මෙන්
අතුනොගා ඉතිරි කල
රොඩු බොඩු සම්භවේ


දුහුවිලි පමණක්
හැඬූ කඳුලෙනි
හැමදාම
අතු ගෑවී යනසොවින්


Monday, July 15, 2019



ඇල්මෙන් කුමන පල
පැල්මකි ගැඹුරු හද

හැල්මෙන් මිදෙන'තර
බැල්මෙන් විඳිනු හැර





Saturday, July 6, 2019




ඉති දෙකක පිපි
මල් දෙකක් බව
දැන දැනම උහු
දඟ සුලං රොල්ලක
නැලවුනා
නොකල්හී හැමු





Tuesday, May 7, 2019

අවසාන ප්‍රේමය


අවසානයේ
දෙවියන්
මා වෙනුවෙන්ම වූ ප්‍රේමය
අඹා හමාර කොට තිබුණි.
සෙනෙහස සොයා ගිය මග කෙලවර
හැල්මේ දිවුම අවසන
ඉසිඹු සුසුමක
අවසරය ගමි.
මා දුටුවන නෙත් අගින්
නිනව්නැතිවම
උතුරන
ප්‍රේමය,
දෙනෝදහසක් මැද උව
නොපැකිලිව හාදු දෙන
ප්‍රේමය,
එසැනක ඉඟියකින්
හිස මද මුදු සරින්
ඇඟිලි තුඩු මත සතප්පන
ප්‍රේමය,
මගේ බොරු හැඬුමට
කෝකටත් රිදුනාදැයි
විපිලිසර වෙන
ප්‍රේමය,
පරෙස්සම් සහගතව
මා සොයාවිත් තිබුනි.
ඉතින් සුහදිනි,
අප ඉනික්බිත්තේ ඇති
ජීවිතය කෙබඳුදැයි
විටින් විට
බිය ගනී මා සිත.
ඒත් මේ තත්පරයෙ
තාවර වෙවී නුඹ අස
ප්‍රේමයෙන් මුසපත් වනු මිස
කවර නම් අන් සැපතක්
වේවිදැයි මේදියත මාහට.








Saturday, August 11, 2018

මැඩම් ටුසෝඩ් කලාගාරයේදීය






ඉරිදාට
බස් එකේ දුර යන දාට 
විතරක්
මෘදුම කිරි කිරියකින්
හරිමි 
ආගාරයේ දොරපලු


මා තනිව ආ බව දතත්
සීරුවෙන් අඩි තැබෙනවා
පණ පිහිටුවාවී බියෙන්
මතකයේ නිදි කුමරියන්


කාලයත් ප්‍රේමයත් උණු කොට
සීරුවෙන් ඇඹුණූ
අපේ ඉටි පිලිරූ
තෘණ තලා මත
ගං ඉවුරු මත
හාදු ආලිංගනාරූඪව
වැතිරගෙන සොඳුරූ
පසු කරමි එක අසුරූ


හැම දාම 
මම වාඩිවෙන තැන
කවුරු හෝ හිඳ නැගිට ගිය බව
පිණි මැකුණු
තණ පතක් පැවසී
විපිළිසර විමි
ඔත්තුවෙන් ලද


කවුරු නම් ආවාද ප්‍රේමිය
අපිම විතරක් පාර දැන උන්
අතීතේ මේ වංකගිරියට








Saturday, September 2, 2017

ආදරේ පිස්සුවක්




පෙති කැපුනු ඉරු කිරණ තණ පලස් සිඹිනකොට

ඒ දිගේ ලදල්ලක් සේ සිතැඟි එතෙනකොට

හැන්දෑව බීරිමෙන් ආතුරව පෙඟෙනකොට

ආදරේ පිස්සුවක් නොවුනොත් තමයි පුදුම



Thursday, March 9, 2017

නිම්නයක හුදෙකලාව

හන්තාන වැටිය
යතුගායි
බිරම් ස්වරයෙන්
වැඩ ඇරී ගෙදර යන
කඩිමුඩි වැහි වලාකුලු

වැහි සුඹුලු ඉහිරෙයි
පහල ගොවි බිම්
සිත් තෙතින් සනහා

වසම් මායිම් ඇස ගසා උනි
නිදි කිරනවා සේ
ඔහේ වැතිරී
තවත් කඳු කඳු

අතරින් පතර
වවුලන් වේය
ගලහ හන්දියෙන් හැරෙන
අන්තිම බසය මිස් උනු
ඒත් ගණනකටවත් නැති

හැමදාම වාගේ
රැයේ එඬේරා
මුදුම තරවටුවෙන්
ගාල් කරවයි
නිම්නයේ ලිහී පැතුරුනු
ඔහේ ව්සිරුනු
මගේ සිතිවිලි




Monday, August 29, 2016

පැමිණිලි පිටපත



සිලි සිලිය සුලඟ හා
දොඩමලුය
නිදහස්‍ ය
උණපත්‍ර


නෝක්කඩු චිරිචිරිය
කිටිකිටියෙ
ඇතිල්ලෙන
කඳෙන් 
පමණක් වෙද්ද


බාගෙට අසා පැමිණිල්ල
ඇඟ බේරගෙන 
ආ ගමන යාගන්න
මගක් හොය හොයා ඉඳිද්දී 
සම්බ විය ගඟ


ඉඳින් කොහොමද
තාම තනියෙම
මාත් මහතයි
ඔහෙත් වාගෙම


උත්තරේකට
හදද්දී කට
පැන ගොහින් අහවරය 
ගඟ


මා ගෙනා පැමිණිලි පිටපත
මිටි කර ගැනුම මිස
උණ පඳුරකට වැඩි
ප්‍රශ්න වේවිද කාහට






Related Posts Plugin for WordPress, Blogger...