Monday, November 7, 2011

අලට කන්න බැරි උනු - අලගල්ල

මේ කියන්න යන්නෙ පහු ගිය දවසක ගියපු තවත් ගමනක් ගැන.මේ ගමන ගියේ අලගල්ල කන්ද නගින්න.




ගමන්ට එකතු උනේ හතර දෙනයි.ජයකොඩි පවුලයි අකුරැටියගේ පවුලයි.ගමන පටන් ගන්න පරක්කු උනා මොකද ජයකොඩි පවුල පිලිමතලාවට එනකොට ටිකක් දවල් උනා.කොහොමහරි උදේ කෑම පිලිමතලාවෙන් අරන් අපි පොත්තපිටිය බස් එකට ගොඩ උනා.පොත්තපිටියට රුපියල් විස්සෙ  දුර.අපි උදේ එකොලහ වෙනකොට පොත්තපිටිය ටවුමෙං බැහැගත්ත.එතන ඉඳන් කන්ද නගින්න පටන් ගන්න තැනට වෙනකන් ත්‍රීවීල් සගයෙක්ගෙ උදවු අරගත්ත මොකද ඒ වෙනකොටත් ඉර මුදුන් වෙන්න පටන් අරගෙනයි තිබ්බෙ.ගිනියම් අවුවෙ පිච්චිල්ල නොතකා අපි හතරදෙනා කන්ද නගින්න පටන් ගත්ත.අලගල්ල තේ වත්තෙ ඉහල හරිය තමා මුලින්ම හම්බ වෙන්නෙ.වතු නිවාස පහු කරං තේ වත්ත මැදි ටික දුරක් යනකොට තේ වත්ත එක පාරටම ඉවර වෙනව.ඒ ඉවර වෙන්නෙ කැලෑවකින්.මේ කැලෑ මණ්ඩිය තරමක් ගනයි.හැබැයි යා යුතු පාර  පැහැදිලිව තිබුන නිසා අපි බයක් හැකක් නැතිව  කැලේට ඇතුලු උනා.ඇරත් කන්ද හොඳටම පේන නිසා පාර වරදියි කියල බයක් නං හිතෙන් නෑ.කූඩැල්ලන්ගෙ කරදරේ නං අඩුවක් නැතුව තිබ්බ පෑවිල්ල කාලයක් උනත්.පවුල් සවාරියක්නෙ.ඒක නිසා අපේ ගමන තරමක් හෙමින් තමා සිද්ධ උනේ.මග දිගට කටු අතු වලින් සිද්ධ වෙච්චි අකරතැබ්බ වලට සාක්කි තාමත් මේක ටයිප් කරන මොහොතෙත් දැවිල්ල දනවමින් පුපුරු ගහනව.පෙබරවාරි මාසෙ මේ පලාතෙ කට්ටිය නිදහස සමරන චාරිත්‍රයක් විදිහට නඩ පිටින් අලගල්ල නගිනවලු.ඒකට පුංචි නිධාන කතාවකුත් තියෙනව කියල තමයි මම අන්තර්ජාලෙන් නං දැක්කෙ.හතලිස් අටේ නිදහස ලැබුනු දවසෙ කොළඹ තිබ්බ නිදහස් උත්සවේ බලන්න මේ පලාතෙ මිනිස්සු බොහොමයක් අලගල්ල මුදුනට නැග්ගලු.හැබැයි ඉතින් නැග්ග කාටවත්ම කොළඹ තිබ්බ නිදහස් ශ්‍රීය නං පෙනිල නෑ.කොහොම වෙතත් ඒ දවස්වල ඉඳන් පෙබරවාරි මාසෙට මේ කන්ද නගින එක එක්තරා ප්‍රාදේශීය සිරිතක්ලු.අපි ගියෙ ඔක්තෝම්බර් හින්ද පාරත් නොපෙනෙන තරමටම සමහර තැන්වල කැලෑ වදිල තිබ්බ.කෙසේ වෙතත් මේ කැලෑ කට්ටිය දිගේ සැලකිය යුතු දුරක් නැග්ගයින් පස්සෙ ටික ටික එලිමහනක ස්වරූපයක් පරිසරයට ආරෝපණය වෙනව.හැබයි එලි මහන උනාට මොකද මේක තමා අමාරුම හරිය.මේ පටන් ගන්නෙ මානා යාය.මතක් වෙනකොටත් එපා වෙන තරමයි.මාන ගස්වල තියෙන බූසිය ඇඟ හැම තැනම ගැවිල පුපුරු ගහන එක නවත්තගන්න ඕනෙ නං ඉතින් අපේ උන්දැ වගේ ඥානාන්විතව අත්දිග කමිස කලිසම් ඇඳන් එන්න ඕනෙ.ත්‍රී ක්වාටක් ඇඳන් ගියපු මට වෙච්චි හරිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.ඒ කතාව පැත්තකින් තියමු.මේ මානා කැලය පීරගෙන ආව වගේම දුරක් කන්ද නගින්න වෙනව.එතකොට මුදුනට ලංවෙද්දි පොඩි පර්වත එකතු වෙලා හැදිච්ච පර්වත වැටක් වගේ පේන්න තියෙනව.මේ ගල් අස්සෙන් ආපහු මානා කැලේට ඇතුලු වෙන්න ඕනෙ.එතකොට තරමක් දුරින් අලගල්ල මුදුන දැකගන්න පුලුවන්.ඒ දර්ශනය හරිම ලස්සන එකක්.මානා යාය මැදින් තේජස්ව අලගල්ල නැගී ඉන්නව.ඒක දැක්කම මට නං මතක් උනේ පර්වත බලකොටුවක්.කොහොම වෙතත් අලගල්ල මුදුනට නගින එක තරමක් අසීරු වැඩක්.අපිත් එක්ක බවලත් උදවියත් ගියපු නිසා අපි ඒ අවදානම ගන්න ගියේ නෑ.හැබැයි ඒ ඉතුරු අඩි කිහිපය සැලකිල්ලෙන් යන්න  පුලුවන් නං එච්චර අපහසු දෙයක් නෙවෙයි වගෙයි පෙනුනෙ.කොහොම වෙතත් මම අහල තියෙන විදියට අලගල්ල මුදුන කට්ටියකට  කෑම්ප් ගහන්න නං කියාපු තැනක්ලු.සබරගමු මධ්‍යම පලාත් මායිම යන්නෙත් මුදුන හරහා කියල තමයි දැනගන්න තියෙන්නෙ.
අන්තිම චුට්ට නැගගන්න බැරි උන එක ටිකක් හිතට දුක උනත් අවට දර්ශනය දැක්කම ඒ සියල්ල අමතක වෙලා ගියා.මීදුමෙන් වැහුනු කඳු මුදුන් ඒ වගේම පහල කුඹුරු යායවල් පාරවල් ඒ හැමදේම හරිම අපූරු දර්ශනයක් මවනවා.ඒ වගේමයි කන්ද උඩට ඉහල කෝට්ටේ දුම් රිය ස්ථානයත් හරි පැහැදිලිව පේනව.ඒ විතරක් නෙවෙයි බලන,බතලේගල,ඌරාකන්ද,උතුවන්කන්ද වගේ කඳු යායක්ම වගේම මාවනැල්ල නගරයත් හරි අපූරුවට බලාගන්න පුලුවන්.




"බලු නකුට"ක සුන්දරත්වය






අතරමග සිත්ගත් දසුන්





තේවත්තට අලගල්ල දිස්වෙනයුරු




කහ මල් කිනිත්තක් සැලුනා...



ලං ලං වෙන අලගල්ල





ඈත කඳු අතර මගදි...




මල් කිනිත්තක් අස්සේ....ඔන්න අලගල්ල දිස්සේ....




ගිම් නිවූ තුරු වදුලු




රිලේ දුවනව නං වෙන්න බෑ.....



ලඟට දුටුවාම.....




මළත් සොඳුරු නොවෙදෝ...





අතරමග අතැර යා නොහුණු තවත් මලක්





නෙක කඳු මුදුන්





මාවනැල්ල ටවුමට පිටිපස්සෙන් බතලේගල දැක්කද?





තව තවත් වට පිට..



ඕං මුදුන...




නගින්නත් බෑ....නොනැගත් බෑ...?






නිකමට ගහපුව...




vertical ට්‍රයි එකක්..





අලගල්ල අවට කඳු යාය...එක මිටට....



මේව නං කොච්චර ගැහැව්වත් මදි...




මානා යාය..




ඇදයිද මංද....?





දම් පාට මල් කිනිති...




ආපහු හැරෙමු එහෙනං...




අන්තිම වතාවට ලඟට බැලූ වෙලේ...


අපි ගමන පටන් ගත්තෙම පරක්කු වෙලා නිසා කන්ද උඩ එතරම් වෙලාවක් ගත කරන්න නම් හම්බ උනේ නෑ.ඒ ලස්සන හිතේ දරාගෙන පල්ලම් බහින්න පටන් ගත්ත.බහින ගමනට නං නගින තරං වෙලා ගත උනේ  නෑ.හැබැයි මහන්සි පිට බහින එක තරමක් අපහසු උනා.අපිව බස්සපු ත්‍රීවීල් සගයට ඇමතුමක් දීල මගට වාහනේ ගෙන්න ගත්ත නිසා කොහොමහරි හැන්දෑවෙ හතරහ මාර වෙද්දි අපි ආපහු පොත්තපිටියට ආව.

ගමන ගැන කරුණු කීපයක් කියන්න තියෙනව.පලවෙනි දේ තමයි යන්න අදහසක් තියෙනවනන් අනිවාර්යයෙන්ම උදේ පාන්දරින් යන්න අමතක කරන්න එපා.ඒ වගේම ඇති තරම් වතුර ගෙනියන්නත් අමතක කරන්න එපා.දාඩිය දානවට වඩා අතපය හීරෙන එක නවත්තගන්න එක වැදගත් කියල හිතෙන අය අත්දිග ඇඳුමක් ඇඳං යන්නත් අමතක කරන්න එපා.

කොහොම හරි අර කවියක් තියෙනවනේ....,
"...අලට කන්න බැරි අලගල්ලේ කන්ද ..." කියල.කවියෙ තියෙන ඒවයින් මට තව හුන්නස්ගිරිය නගින්න ඉතුරු වෙලා තියෙනව.දිනුක නං කවිය සම්පූර්ණ කරල අහවරයි.කවියෙ ඉතුරු පදෙත් සම්පූර්ණ කරන්න හිතේ තියාගෙන අපි රාත්තිරි කලුවරත් එක්කම කොළඹ බලා එන්න පිටත් උනා.




3 comments:

  1. I have done this few times but never used the same route on return. You can either climb down and catch the train at Ihala Kotte, or further down and catch a bus to Mawanella.

    ReplyDelete
  2. මචං අපි මහ ගොඩක් පරක්කු උනේ නෑ හරිය???? උඹලා පිළිමතලාවට ඇවිත් මහ වෙලාවක් යන්න කලිං අපි ආවා.අවුලක් නෑ ඊළඟ පාර යනකොට මීට වඩා කළිං සහ ඕනෙ කරදරේකට ඕනෙ කරන බඩු අරං යමු.ලිපියෙ ඡේද වෙං කරනවානං හොඳයි.නැත්තං කියවන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
  3. අපෝ උඹල කලින් කීවානම් මමත් එනවා මම ඉන්නෙත් ඔය කිට්ටුවම තමා. ඔය ගලට පහතින් ඉස්සර අපේ ඉඩමක් තිබුන. හැබැයි කවදාවත් මම ඕකට ගිහින් නැ. මම නම් ඔය කඳු බඩ ගෑම ගැන හිතන්නේ මෙහෙමයි.
    "නපුරු කලට සත් හට පැමිණෙන වෙහෙස
    එදුරු නොවෙයි කල කම් පල දෙවා මිස ".

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...