තහනම් සුළඟයි හමන්නේ
සිහිල ගත දැවටී...
හුස්මක අවසර නොදෙන්නී
සුවඳ පා දුවතී...
ලය දැදුරු නොම දන්නී...
ඔතරම් හිනා මල් කිමැයි
අද නුඹම විමසනු ඇතී...
හෙට නේන නුඹ සිහියේ හොවා
අද අඬන්නද හිතවතී...
දුක සතුට කර හිනැහෙමී...
කාලයම ඔච්චම් කෙරූ
ආලයන් ලොව පැවතුනී...
මේ ඇරඹුමද අවසනද නොවනා
බව නොදැන හිත බැඳී..
අද කාලයට ඔරවමී...
වැහි අඳුරු හවසක
ඉදිමුනු පයද සහිතව
වාට්ටුව මුල්ලක
අහෝ හේ මට හමුවිය
විසුළු හැඩ කෙහෙ ඇති
කැපුම් කැළලින් විසුළැති
පොරවගත් සම ඇති
එහැම පරදන සිනා මුහුණැති
ඔසවා සරම ඉණටම
පෙන්වා නහර පිරි සම
බිඳකුදු නොදෙඩු මුව තම
රිදුම් සඟවා සිනාසුනු බැම
පෙයර් ක්‍රිෂ්ණන්මි
වන්දාරමුල්ලේ උනිමී
පොළොන්නරුවෙන් ආමී
අපහසුව මැද අසා ගතිමී
පය අහිමි වූ සඳ
මල් මදින්නේ කොහොමද
නැසුවේ මම වෙද
කවදනම් උඹ ගමට යනවද
දත් දෙමළ මද විය
ගම තතු අසාගන්නට
තනියෙන්ද මවු තව
ඔත්පළ ඈට කොහොමද
හිත කිනිති ගස්සන
පැනයත් අරන් පහුදින
ගිය නමුදු නුඹ වෙත
ඇඳ පමණි, නුඹ කෝ කොහෙක වෙද
ඉතින් මගෙ සොහොයුර
අපේ අප්පච්චී
වෙඩි තියව්වේ උඹටද
අපේ අප්පච්චිට
වෙඩි තියව්වේ උඹමද