Sunday, December 21, 2014

සඳෙක මහා වැව්කම්


එක වැහි කෝඩෙට
උතුරා යන්නට
බලා හිඳින්නෙමි මම්

එක අව් රැල්ලට
ඉරී තැලෙන්නට
අසරණ වූදා මම්

ඔබගේ තෙපුලෙන්
සිහි එලවාගමි
සඳෙක මහා වැව්කම්

දියවර මුදනට
සිත් හෝදිසියට
වාන් දමා සැනසෙම්






Tuesday, August 5, 2014

මා මැරෙන හොඳම තැන



උපන්නේ කොයිබින්ද
අමතකව ගිය හිතක
පාවෙනව ඇර දුරක
අරමුණක් තිබුනෙහිද

හමායනවිට අහක
දුර කියා හිතු දුරක
නොකමැතිය නවතින්න
නන් සුවඳ මුහුම් කොට

සකිය මා පෙර භවය
සුළඟක්ය ටක්කෙටම
මැරුණමත් නලෙක් මිස
අන් පණක් මට කොහිද

භවයක්ම සොයාගොස්
තෝරාපු හොඳම තැන
මම මැරී ඇද වැටෙමි
පතා මද මුදු ඉසිඹු

සුළි සුළං පැල නොවන
මා මැරෙන හරිම තැන
දැන උන්නු හැම ඇවිත්
බුම්මාන සේ ඉන්න

නොසොයන්න පොළව යට
සකිය මා එහි නොමැත
බර සුසුම් ලිහා දා
මා දුරක් ගොස් ඇතිය







පොලොවෙන් අහසට





බිත්ති පාදම් මත නැගූ
ඔබේ ලෝකය බිඳ වැටී
වළපිනා හඬ මට ඇසේ

ඉතින් අහසේ මා තැනූ
සිහින කූඩාරම මගෙයි
මහපොලව මත නොම රඳයි

එන්න පාරක් සොයාගත්තොත්
කූඩාරමට ඔබ වැඩි නොවෙයි






Thursday, July 31, 2014

ඈ සහ මුනිඳු




උතුරුදිග ලුණු දිය තලාවේ
ඉහළට මදක්
ඇස් උස්සා බලන
දූවකි හෙමින

කවුරු හෝ එන
පිළිගත යුතුය අදිටනින
වෙලී එකිනෙක
වැලිත් බිම්තඹුරුත්
ඉඩ ලද විටක ලතවන
අතරතුර ඉරු තාප උරමින
එකලාව
අයාගත් දෑසින

තුන්සිය හැටපස් දවස
ගව්වේ දුරින් හිඳගෙන
මින් සොයා පින් පුරන
රංචුවට ට්‍රෝලර
ලං වීම තුන් හිතකවත් වෙද

මුර සංචාරය කරන බෝට්ටුව නම්
ඉඳහිට එන
බලා අතගා
හිඳීදැයි සැක හැර
අඩි කීපයක් වැල්ලේ ඔබා යන


වසරකින් පායන
දෙදිනක් කෙරේ පෙම් බැඳ
උන් තබා යන අඩි
ලයේ සඟවාගෙන
වැලි පිරෙන්නට නොදී
තවත් වසකුත් රකින

තනිකම මෙයය නොම දැන
ලතවෙන
නොපෙනෙන ඉමක
උන්
ඈ අයිති කරගන්න
නඩු කියන
ඈ දැකගන්න
නම් නොම එන

බඳ පුරා ඔරු
දරුවන්ට නිරතුරු
මසු පුරා පාරමී දම් පිරු
සුරුවමයි ඔහු


දූපතක් වුව
ගැහැනියක් බව 
ගණනකට නොම ගෙන
 අල්තාරයට පිටදී
අන්තෝනි මුනිඳුද
ඔහේ මහ බර කල්පනාවක





Tuesday, July 29, 2014

එනව නේ මගෙ පෝරු නැකතට




කල්පෙටත් දෙදොහකට පස්සේ
ඈව හම්බුනෙ
මගුලට බුලත් දෙන්න ගිය දවසේ

ඒ දවස්වල පැනල යද්දී
ඈට තිබ්බා
ස්ටිකර් මිටි දෙක තුනක්
උඹට වැඩියෙන් හොයල ඇති මම
ඒත් 
හම්බුනේ නැහැ තවත් 

සනුහරේ ගෑවුනු දැලී
ඇගෙ අතේ නම් ගෑවී නැතී
ලිපට නම් ඉනු කඳුලැලී
දැලි වී නොවී පිටවෙන්නැතී

එකුන් තිස් වූ වයසට
විඳපු විඳවපු හැටියට
ජීවිතේ නම් කවි ලියා ගොස්
අගමුලක් නැති එළිවැටක් නැති
ඇගේ ඇඟ සම හරහට

එනසල් ගාල් කන්දේ
ඉස්සර
උඩහට දුව දුවා
වසාවාසී ඇහිලුවාහේ
වීරිය වරින් වර
උපදවාගත්තාද අක්කේ

හැමදාම එකවගේ තඹ පාට බළල් ඇස් අග
ඉස්සරට වඩා අවපාට ඇහි පිල්ලමක් උඩ
නෑහෙන්න ඉකිගහන කඳුලු කැටයක උව
පුංචි ආඩම්බරයකුත් නැතුවමත් නොව


පඩිපෙලක පිළිවෙලට
වගෙයි ලී බෝනික්කියෝ තුන්දෙන
මැද නුඹත් උනි ඔහේ සතුටින
සත පහේ දූපතක විලසින

" පවුලෙ පලවෙනි මංගල්ලෙනේ "
කියා උඹ ගිලගත්ත හීනේ
හැඟුම් නිර්නාමිකව උතුරන
හදවතට ඇබයක් වෙලා වද 

පරපුරේ දස මාර රඟ මැද
වීරියේ මල් පෙති ඉහින්නට
දරු තුන් දෙනත් අරගෙන
එනව නේ මගෙ පෝරු නැකතට






Monday, July 21, 2014

විස මධු







දෂ්ට නොකරන්න පෙම්වත
නිකරුනේ ඔතරම්
ඉතිරි කරගන්න මටත්
විස බිංදුවක් මනරම්
නිර්වින්දනය වී මියැදෙන්න
මමයි සූදානම්




Sunday, July 20, 2014

මුල්




දමා යා යුතුය
මහ නගර 
මිනිසාට මිනිසා ලං කරන
හඹා යායුතුය 
වන පියස් තණ පළස්
මුල් පොකුරු පොට්ටනි රැගෙන
හොඳම තැන මුල් අදින





Saturday, July 19, 2014

අත්තම්මා




දරු මුණුබුරන් සුරතල්
කෙලි කවටකම් අතර
පෑනේ මිතුරු පෙම්වත
එවූ ඉපැරණි සිතුවමටද
ඇතැම් හවසක
හදේ ඉඩදෙන





Friday, July 18, 2014

ලොකු හාමුදුරුවෝ



කලබලෙන් දිවූ 
ලොකු හාමුදුරුවෝ
අඩවන් දොර
තදින් අල්ලාගත්හ
සුළඟට එදිරිව




Thursday, July 17, 2014

ඉර්තු





අපිත් බෙදාගමු
වසන්තය සිසිරය ලෙස
කාලය
වසරක් දිග වැඩි නැත්ද
එතකොට එක ඉර්තුවක් සතුටෙන්
තව ඉර්තුවක් දුකකින්
ඉර්තුවක් මැදහත් සිතින්
හරි හරි තව එකක් ප්‍රේමෙන්






Related Posts Plugin for WordPress, Blogger...