Monday, October 14, 2013

පෙම්වත් මිණිබිරිය




සත්වසක් මුලුල්ලේ
බ්‍රහ්ම දණ්ඩණය ලද්දී
ගම ආවාය
සත්සයුරු මතින් පියඹා

තටුවෙන් වහන් උන්නත්
වළාකුලු සීතට ගුලි ගැහුනු
කිරිලි පුළුන් බෝලයක් හැලුවාය
බුම්මාන අහක බලා උන්
සීය තාත්තාගේ සරමේ ඔඩොක්කුවට

කාංසාවෙන් සිර කරං උන්
දුකටපත් ගර්වය
උණු වීය දිය වීය
පැටි කිරිල්ලීගෙ තොදොලට

ඉතින් ඉන් පසු
කැදලි මිදුලේ උන් තණපෙත්තෝ
ස්ව කැමැත්තෙන්ම අවුත්
ගාල්වූහ
ගෙඹි ටිකිරිත්තෝ
වහ වහා පොල් කටු යටට වී
පැටි කිරිල්ලිය එනතුරු
නො ඉවසිලිමත් වූහ

දෙනියෙන් නියරටද
නියරෙන් පේර ලානටද
මහලු අත්තටු කිහිල්ලට වී
එහෙ මෙහෙ පියෑඹුවාය

ඉනික්බිති
එළඹුනු දිනෙන් සත්වැන්නේ
සුළං යළි හැරුනෙන්
ඈට යන්නට සිදුවිය
සත් සයුරෙන් එපිට
උපන්නා වූ ඒ කොදෙව්වට

තක්කිට තරිකිට නටපු තරමට
කිරි කිරි හඬින් දෙස් දුන්
වියටපත් හන්දි ඇටකටු
සහ පිය බිරින්දෑ වෙත
සවන් නම් හේ නොදුන්නේ වෙද

කලකට පසුව යළි
පෙම්වතෙක් වී හමාරය ඔහු
මිණිබිරි කිචි බිචිය
අහන්නට නො ඉවසිල්ලෙන්
හැම සවසකම
දුරකථනය අසල


No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...