Wednesday, December 28, 2011

විසාලා වෙරළේ හිඳ...























පෑළ දිග අහසට
තාම අඬදෙන වැල්ලට
අමතකය උඹ ගැන
වැල්ලෙ හිනැහුනු උඹ ගැන

කරිජ්ජට ඇඹරුණ
කරටි පොල් අතු යට ඉඳ
එබේවිය හිත හිත
වෙරළ ගංබද පීරුමුත් හිත

පොඩිකමට පැනගෙන
මළුවෙ බෝපත් ඇහිලුව
උර උතුරු සළුපොට
වහං කරගෙන ගියා ඇස්පිට

මගේ සුදු පුතු පැටි
ආවදැයි හැමදාම කොනහන
අම්මට දෙන්න උත්තර
මූදු රැල්ලක එවාපන් මට

මේ මූදු සෝනේ
මැද කොතයි දේවාල දූවේ
උඹ ඇඳපු ඉරි කොයි
තාම මං හොයනවා වැල්ලේ                                  
                                                                   

Wednesday, December 21, 2011

මුමුණන්න මිහිදුමට




   මිහිදුමෙන් පිරි මාවතේ
සීත පමණකි මා වටේ
මැටෙන වැහි බිඳු හා එතී
තනිය තනිවී හිනැහෙතේ

රැහැයි සුසුමක සැඟවිලා
පහන් කණු සෙවනට වෙලා
තනිව මුමුණමි ඔබේ නම මම
මං පෙතේ ඉවුරට වෙලා  



                                     

Tuesday, December 20, 2011

කුජීත කෙසරිඳු



කුණු කෙල වේලිලා
කේසර හැඩපලු ගෙතිලා
දත් පණුවො කාලා
වසුරු දුගඳින් ගුහා පිරිලා

ගුහාවේ බාල් නටනවා
නැට්ටත් ඕං පෑගෙනවා
තාමත් ඉසුරුමත්
ලකකට හීන දකිනවා

ඇතුන් වල ගොඩ ලූ පයෙනි
සීනු තාමත් වවුල් බෙටි පිරි
හේනේ පඹරාළ වනු පෙර
මුදවු සිහරද ගුහා සිත්දොර                                                                              
                                                     

Monday, December 19, 2011

වස්සාන දියවර 2012-කැලෑගම අපේම මිනිසුන් වෙනුවෙන් අපේ මිනිසත්කමේ යුතුකම

කැලෑගමේ මල්

මේ පුංචි රටේ දස අතේ විසිරිලා ඉන්න දහස් ගාණක් වෙන ජීවිතවල අයිතිකාරයො නොනවතින අරගලයක හැම නිතරම නිරතවෙමින් පුලුවන් උපරිම හොඳින් ජීවත් වෙන්න දත කනවා.මේ සටන ගමේ නගරයේ කියල වෙනසක් නැතුව අනවරතව ඉදිරියට ගලාගෙන යනවා.රටේ නගර අවට බහුතර සැප පහසුකම් මැද්දෙ අපි අපේ ජීවිත සටන ගෙනියන වෙලාවක මේ කතා කරන්න යන්නෙ මේ රටේම තවත් කොනක මූලික මිනිස් අවශ්‍යතාවනුත් අහිමිව තමන්ගෙ දිවි අරගලයේ ගැලිල ඉන්න අපේම සහෝදර පිරිසක් ගැන

කැලෑගම සිරියාව


 මේ ලංකාවෙ තියෙන දහසකුත් ගම්මාන අතරින් එකක්.කුරුණෑගල පුත්තලම පාරෙ නිකවැරටියෙන් හැරිල කිලොමීටර් විස්සක විතර දුර ගියාම තමයි කතාවෙ කියවෙන කැලෑගමට  යන්න පුලුවන් වෙන්නෙ.නමින් කියවෙනව වගේම කැලෑ මණ්ඩිවලින් වටවුනු පාරකින් තමා ගමට ඇතුල්වෙන්න තියෙන්නෙ.ගමට ගමන් පහසුව සලසන්න එකම එක ලංගම බස් රථයක් විතරයි තියෙන්නෙ.ගමට ඇතුල්වෙන අපට අපූරුවට නිලන කුඹුරු යායවල්,රැළි නගන වෑ දිය මතින් හමායන සුන්දරත්වය ආගන්තුක මිහිරක් එක් කරනව උනාට මේ වියළි පස මත්තෙ උදේ හවා හැප්පෙන,තමන්ගෙ දෝතින් ගෙන වතුර බිංදු කීපෙකින් වපුරන බිජුවටවලින් අලුත් දල්ලක් නංවන්න ඔවුන් හෙලන දාඩිය කඳුලෙ හැංගුන සුන්දරත්වය නං අපේ ඇස්මානයට ගෝචර නොවෙන තරං.ඒ හින්දමයි කොළඹ වෛද්‍ය පීටය වාර්ෂිකව පවත්වාගෙන එන "වස්සාන දියවර" මනුෂ්‍යත්වයේ දෑත අපි කැලෑගමේ අපේම මිනිසුන් වෙනුවෙන් දිගුකරන්නට හිතුවෙ.

ගමෙන් අපිට 

කැලෑගම මනුස්සකම් අතින් දෝරගලන ගැමි හදවත්වල අපූරු එකමුතුවක්.මුල් හමුවීමෙදිම ගමේ සියල්ල අප වෙත දිගු කල සෙනෙහසේ දෑත අපව හැඟීම්බර නොකර නොසිටි තරම්.පහුගිය බිනර පුන් පෝදා අපි ගමේ පන්සලට මුල්වරට ගොඩ වුනේ ගමේ තියෙන අඩුපාඩු සියල්ල පාහේ අහල දැනගෙන හැකි උපරිමයෙන් ඒවට පිලියම් යොදන අරමුණෙන්.දායක සභා රැස්වීමෙදි අපි අඩුපාඩු ලැයිස්තුවක් බලාපොරොත්තු වුනත් ඔවුන් සතුව එවැන්නක් තිබුනෙ නැහැ. දුෂ්කරතා මධ්‍යයේ වුනත් තමන් අසරණ යැයි සිතීමට තරම් ඔවුන් අසරණ නොවී සිටියා.අවසානයේ නිර්ව්‍යාජ එක ඉල්ලීමක් පමණක් ඔවුන්ගේ මුවින් පිටවුනා.ඒ ඔවුන් එදිනෙදා හැබෑවටම බැට කන ජල ප්‍රශ්නය.නාන කාමරයෙ වතුර මල යටට වෙලා අපි දවසෙ සරතැස දිය පොදක දිය කරල අරිද්දි මේ මිනිස්සු බොන්න වතුර පොදක් හොයාගෙන නිරුදක බිම පීරනව.ගමේ තියෙන හැම ළිඳකම වතුර කටේ තියන්න බැරි තරම්ම කිවුලයි.බීමට යන්තම් හෝ සුදුසු තරමේ ජලය ඇත්තේ පුද්ගලික ළිං දෙකක පමණයි.මේ ළිං දෙක දැනටත් ගමේ හැමෝගෙම පාවිච්චියට විවෘතයි.ඒත් දවසෙන් වැඩි වෙලාවක් දිය හොයාගෙන ගම පුරා කාල්ගාන්න වීම ඔවුන්ගෙ ජීවිතවල දෛනික වැඩ කටයුතු අඩපණ කරවන්න සමත් වෙලා.ජල සාම්පල විද්‍යාගාර පරීක්ෂණ්වලට ලක්කිරීමෙදි අපිට දැනගන්න ලැබුන හොඳ ෆිල්ටරයක් භාවිතයෙන් මේ ජලය බීමට සුදුසු තත්වයට  ගේන්න පුලුවන් බව.මේ ළිඳෙන් ගමටම වතුර දෙන්න අපහසු උනත් අපේ සැලැස්ම වුනේ ජලය පෙරනයක් හරහා ටැංකියකට යොමු කරල වැඩිපුර ගමේ අය රැස්වෙන පන්සල,පාසල හා මධ්‍යම බෙහෙත් ශාලාවට ජල සැපයුම ලබාදෙන්නයි.මේ සරල නල පද්ධතියට ලක්ෂ 6ක පමණ මුදලක්වත් අවම වශයෙන් වැයවන බව ඇස්තමේන්තු කිරීමේදී දැන ගන්න ලැබුනා.ගම උදෙසා අපේ මෙහෙවරේ මූලිකම අරමුණ වන මේ කටයුත්ත සාක්ෂාත් කරගන්න එක තරමක අපහසු කටයුත්තක් වුනත් එය ඒ ආකාරයෙන්ම සිදුකරන්න දැනටමත් අපේ සොයුරු සොයුරියො ලොකු මහන්සියක් දරනව.
පාසල් සෞඛ්‍ය පරීක්ෂණයෙදී


ගමේ විහාරස්ථානයට ගොඩවුන මොහොතෙ අප අඳුනගත්ත අඩුපාඩු නම් බොහොමයි.වැසිකිළි හා ජල පහසුකම් නොමැතිකම,දහම් පාසලේ ගොඩනැගිලි හිඟය,ඩෙස් බංකු,පොත්පත්,නිල ඇඳුම් හිඟය ඒ අතරින් මූලිකම වෙන බව අපට වැටහුනා.ප්‍රදේශයේ ගම්මාන කීපයක්ම සඳහා තියෙන එකම දහම් පාසල වෙන මෙහි දැනට දරු දැරියො 160ක් විතර දහම් දැනුම ලබනවා.ගමට ආසන්නයේ පිහිටල තිබ්බ තවත් පොඩි පන්සලක,පන්සලකට තියෙන මූලිකම දෙයක්වෙන බුදුපිළිමයක්වත් නැහැයි කියල අපිට අහම්බෙන් වගේ දකින්න හම්බුනා.

ගමේ පවුල් 240කට අයත්ව ගම්වැසියන් 760ක් විතර ජීවත් වෙන බව දැනගන්න ලැබුන.ඉන් පවුල් 70කට විතර විදුලිය පහසුකම් නැති බවත් පවුල් 23කට අවම වැසිකිළි පහසුකම්වත් නැති බව ග්‍රාම සේවක මහත්මිය එක්ක අපි කරපු කතා බහේදි අපට දැනගන්න ලැබුන.

අපේ ගමනෙ ඊළඟ නවාතැන වුනේ කැලෑගමේ ඉස්කෝලෙ.1 වසරෙ ඉඳන් 11 වසර වෙනකන් පංති පැවැත්වෙන මේ ඉස්කොලෙ අකුරු කරන 200කට ආසන්න සිසු දරු කැළට උගන්නන්න ඉන්නෙ ගණනින් 13ක් වෙන ගුරු මණ්ඩලයක්.කොච්චර අවම පහසුකම් යටතෙ උනත් සහජ දක්ෂතාවය යට කරන්න බැහැයි කියන එකට හොඳ උදාහරණයක් අපිට මේ පාසල් බිමෙන්ම හම්බ වුනා.පහුගිය අවුරුද්දෙ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181ක් ලබාගෙන සමත්වුන සඳුනි සිසුවිය තමයි ඒ.ඒ වගේම තවත් දරුවො දෙන්නෙක් ශිෂ්‍යත්වය සමත් වුනා කියලත් දැනගන්න ලැබුනා.පාසල් බිමේ ඩිංගක් එහාට මෙහාට ඇවිදිද්දි අපෙ ඇස ගිය තැන් බොහෝමයි.පාසලට සාමාන්‍ය විද්‍යගාරයක් සහ පරිගණක විද්‍යාගාරයක් නැති වීම ඒ අතරින් අපි දුටු මූලිකම අඩු පාඩුවක්.කොම්පියුටරය නැතිව මොකවත්ම කරගන්න බැරි ලෝකෙක ඒ ලමයි එහෙම දෙයක් ගැන අහල දැකල නොතිබ්බ තරම්.ඒ විතරක් නෙවෙයි පාසල් ගමනට ඕනෙ කරන පොත් පත්,ලිපි ද්‍රව්‍ය,පෑන් පැන්සල්,නිල ඇඳුම් සපත්තු දේවල් වගෙම පාසල් පුස්තකාලය වැඩි දියුණු කරල දීමත් අපේ අරමුණු ගොන්නට එකතු කරගන්න අපි තීරණය කරා.තූර්ය වාදන කණ්ඩායමට හිඟව තියෙන තූර්ය වාදන භාණ්ඩ හොයා දෙන්නත් අපි හිතාගත්ත.
පාසලේ ශ්‍රමදානයේදී

ගිය මාසෙ නොවැම්බර් 11වෙනිද වෛද්‍ය පීට බෞද්ධ ශිෂ්‍ය සංගමයත් එකතු වෙලා පාසල් භූමියෙ ශ්‍රමදානයක් වගේම පාසල් සෞඛ්‍ය පරීක්ෂණ වැඩ සටහනක් පැවැත්වුවා.මේ කටයුත්ත සාර්ථකව අවසන් වුන අතර එහිදී හඳුනාගත්ත දරුවො වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කෙරුනා.ගමේ දරුවන්ට බාහිර ලෝකයේ ඔවුන්ගෙන් දුරස්වෙලා තියෙන බොහෝ දේවල් ඔවුනට සමීප කරවන්නත් ඒ වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පෙළඹවීම ඇති කරවන්නත් කියන අරමුණුවලින් යුතුව ආදි ආනන්දීය තාරකා විද්‍යා සංගමය සමග එකතු වෙලා තාරකා විද්‍යා කඳවුරක් දෙසැම්බර් 3වෙනිදා ඉතා සාර්ථකව කැලෑගමේදි පැවැත්වුනා.

කැලෑගමේ පාසලේදී

පාසලෙන් අපි ඊලඟට ගොඩ වුනේ ගමේ බෙහෙත් ශාලාවට .ගමේම සුවසෙත සොයාබලන මේ ස්ථානය තිබුනෙ බොහෝම අබලන් තත්වයක.රෝගියෙක් දිගාකරල සේලයින් බිංදු දෙක තුනක් ලබාදෙන්න අඩුගනනෙ රෝහල් ඇඳක්වත් එතන තිබුනෙ නැහැ.ගැබිණි මාතෘ සායනය පැවතියෙ අබලන් කටු මැටි මඩුවක.එන්නත් ඖෂධ කල්තියාගන්න ශීතකරණයක් හෝ ඖෂධ නිකුත් කරන්න සංයෝජකයෙක් පෙනෙන්නට සිටියේ නැහැ.මොන අඩු පාඩු මධ්‍යයේ උනත් ඒ බෙහෙත් ශාලාවෙන් ගමට ඉටුවෙන සේවය නං කියල නිම කරන්න බැරි තරමයි.මේ කටයුතු සඳහා අත්වැලක් වෙන්න අපි කට්ටියයි කුරුණෑගල ජාතික තැලිසීමියා මධ්‍යස්ථානයෙ කාර්ය මණ්ඩලයයි එකතු වෙලා තැලිසීමියා රෝගය හඳුනාගැනීමේ වැඩසටහනක් නොවැම්බර් 12වෙනිදා කැලෑගමේදි පැවැත්වුනා.එහි ප්‍රතිපල අනුව තැලිසීමියා වාහක ගම්වාසීන් හඳුනාගෙන ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් මේ වන විට ලබාදීමට අපි කටයුතු කරන්න උත්සුක වුනා.
තැලිසීමියා රුධිර පරීක්ෂාවට පෙල ගැහෙමින්

ඒ වගේම ගමේ දරු දැරියන්ටයි තරුණයන්ටයි ක්‍රීඩා කටයුතුවල යෙදීම සඳහා අඩු වියදමකින් ක්‍රමවත් වොලිබෝල් පිටියක් ලබාදෙන්න පුලුවන්නම් හොඳ බව ගමේ ඇවිදිද්දි අපට පෙනී ගියා.
කැලෑගම වචනාර්ථයෙන්ම වන වදුලුවලින් වටවුනු මනුස්සකම්වල එකතුවක් .ඒ බව ගමේ අපි ගත කල දින කීපයේදි අපේ හදවත්වලට දැනුන.ජල ප්‍රශ්නය ඇරෙන්න ඔවුන්ගේ මුවින් ගිළිහුණු අන් ගැටලුවක් නැති තරම්.බොහෝමයක් ගැටලු ඔවුන් හඬගා කියූ දේවල් නොවන අතර අපිම දැක හඳුනාගත්ත ඒවායි.නගරබදව සැප පහසු ජීවිත ගත කරන අපිට මේ ඊනියා ශිෂ්ටත්වයෙන් එපිට තමන්ගෙ ජීවිත උදෙසා මහපොලව හා පොරබදන මේ සහෝදර ජීවිතවල හෙට දවස බිඳකින් හෝ එළිය කරන්නට හැකිනම් එය මාහැඟි කුසලයක්ම වන බව අපේ විශ්වාශයයි.ලංකාව පුරා ගම් දහස් ගණනක් තිබියදී එක් ගමක් තෝරාගෙන මේ කරන්නට යන දේ කෙතරම් ප්‍රායෝගික දැයි කෙනෙකුට සිතිය හැක.එසේ සිතමින් නිකම්ම සිටිනවාට වඩා ඒ එකගමක් හෝ වෙනුවෙන් අපට කල හැකි සුලු දෙය වත් කිරීම වඩාත් ප්‍රායෝගික වන බව සැබෑ සත්‍යයයි."වස්සාන දියවර 2012" ව්‍යාපෘතිය යටතේ ඉහත හඳුනාගත් අවශ්‍යතා සපුරාගැනීමට වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ එකමුතුව ප්‍රමුඛ කොළඹ වෛද්‍ය පීට ශිෂ්‍ය ප්‍රජාවම උපරිම කැපවීමෙන් යුතුව වෙහෙසෙන මේ මොහොතේ මේ සත්කාර්යය උදෙසා මෙය දකින ඔබ සැමගේත් දායකත්වය සහෘද සිතින් අපි බලා පොරොත්තු වෙනවා.අපිත් බහුතරය බොහොම අපහසුවෙන් අපේ ජීවන අරගලය ඉදිරියට ගෙන යන අය.නමුත් ඒ අපේම දරු කැලක අනාගතය දිනවන්න පොතක් පැන්සලක් ගෙනදීමට තරම් හැකිනම් අපි අපේ ජීවන සටන වඩා අර්ථවත්ව ගත කලා වනවා නොවේද?ජල සැපයුම් පද්ධතිය අපේ මූලික අරමුණ වන අතර ඒ සඳහා ඇති හැකි ඔබේ නොමසුරු ආධාරය උදක්ම කැලෑගමේ හෙට දවස යහපත් එකක් කරවනවා නො අනුමානයි.මේ සඳහා ටවුන්හෝල් මහජන බැංකු ශාඛාවේ අංක 167100106827356 දරණ ගිණුම(Medical Students' Buddhist Association) විවෘතව පවතින අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු

0715784508 ප්‍රසන්න(වස්සාන දියවර 2012 ප්‍රධාන සංවිධායක )
0776563232 ඩිලාන්(සභාපති-වෛද්‍ය පීට බෞද්ධ ශිෂ්‍ය සංගමය )
0718470350 සංගීතා                                                                             ඇමතීමෙන් ඔබට ලබාගත හැක.
වස්සාන දියවර ෆේස්බුක් පිටුවට Wassana-Diyawara-2012-

සොඳුරු ඉර සඳ ඔවුන් නෙතටත් සිහිල ගෙනෙන හෙටකට...

මේ කටයුත්ත උදෙසා අරමුදල් රැස්කිරීමට දෙසැම්බර් 16දින ජෝන් ද සිල්වා සමරු රඟහලේදී "කලම්බු කලම්බු" නාට්‍ය දර්ශනය සඳහා සහභාගී වී දායකත්වය දැක්වූ සියලු දෙනාටම කොළඹ වෛද්‍ය පීටයේ සහෘද ස්තුතිය හිමිවෙනවා.වස්සාන දියවර අපේ වෑයම 2012 ජනවාරි මස 8වෙනිදා දැවැන්ත සෞඛ්‍ය කඳවුරක් ලෙස කැලෑගමට ලඟාවීමට නියමිත අතර අපේ සෙසු අරමුණු
 හැකි උපරිමයද එදින වන විට සාක්ෂාත් කරගැනීම අපේ අභිප්‍රායයි.


මයිකල් ජැක්සන් හෝ ස්ටීව් ජොබ්ස් මළ මොහොතේදී පවා උණු වී හඬා වැටුනු අපේ සහෝදර හදවත් අපේම රටේ අපේම සොයුරු කුලකයක දිය පිපාසාව වෙනුවෙන් වෙනුවෙන් නැගී සිටින බව අපේ විශ්වාසයයි.කැලෑගම උපන් ඒ අපේ සහෝදර කැළතක හෙට දවස යහපත් කරවීම අධ්‍යාශය කරගෙන එබිම සනහා ඇද හැලෙන වස්සාන දියවර වෙනුවෙන් අප හැම අත්වැල් බැඳගත්  මිනිසත්කමේ සුරත් පවුර ඉදි විය යුතු කාලයයි මේ.

....අපි.....

Saturday, December 17, 2011

නොගිය පාර





ඉස්සර දවසක
පා අවසඟ වී
නොහැරුනු පාරක්
හමුවිය එසැනෙන

අත් හල අත්තල
අද දෑඟිලි බැඳ
නුදුටියි නොසිතමි
අප අන්සතු මුදු  


           

Saturday, December 3, 2011

කිංසි පාර ගං ඉවුරේ....


පහුගිය නොවැම්බර් 30වැනිදා කොළඹ වෛද්‍ය පීටය වාර්ෂිකව පවත්වන "නින්නාද" කලා උළෙල අතිඋත්කර්ෂවත් විදිහට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවෙදි පැවැත්වුනා.මෙවර එහි සංවිධානය කෙරුනෙ උසස් පෙළ 2007 කණ්ඩායම අතින්.වෛද්‍ය පීටයේ උඩ පහල බැච් සේරෝම වගේම රාගම,ජපුර,යාපනය,නැගෙනහිර වගේ වෛද්‍ය පීටවල සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවොත් මේ උළෙල අලංකාර කරන්න එකතු උනා.ඒ ගැන පුරාජේරුව වෙනම වෙලාවක විස්තර කරන්නම්කෝ.ඒ විස්තර පහළින් ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන්.

"නින්නාද 11" ෆේස් බුක් පිටුවට මෙතැනින් http://www.facebook.com/events/162001877231017/
 "නින්නාද 11" බ්ලොග් පිටුවට මෙතැනින්      http://ninnada11.blogspot.com/


මේ කියන්න යන්නෙ ඒ නින්නාද 11 කළ උළෙලට සමගාමීව කෙරුනු ගීතයක් ගැන.මේ ගීතය නින්නාදෙ තේමා ගීතය නම් නොවෙයි.මේ ගීතය ලියවෙන්නෙ කොළඹ වෛද්‍ය පීටයේ ගතවෙන සුවහසක් වෙද සිසු ජීවිතවල කතාව කියන්නයි.රටේ හතරකොනින් මේ බිමට පයගහල තමන්ගෙ හිරිමල් තරුණ විය මේ හතරැස් බිම ඇතුලෙ ඔට්ටුවට තියල  අනේක විධ කම්කටොලු මැද්දෙ  මිනිස් ජීවිත සුවපත් කරන්න,ඒ වගේම තමන්ට යහපත් අනාගතයක් තනාගන්න වීරිය යොදන අපේම සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන්.මේ බිමෙන් පන්නරය ලබාගෙන අද ලංකාවෙ හතර කොනේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම දස දිසාවෙම විසිරිල ඉන්න මේ වෙද විදුහලේ ආදි සිසුන් ඒ වගේම අපේම ගුරුවරුන් වෙනුවෙන්.

වෛද්‍ය ශිෂ්‍යයෙක්ගෙ ජීවිතයෙ තියෙන දුෂ්කරතා අමාරුකම් අනේකයි.ඒක අපි කාටත් පොදුයි.මේ ගෙන්දගම් පොළව මත්තෙ කිංසි පාර දෙපැත්තෙ ඉඳන් අපි ගතකරන ජීවිතේ දුෂ්කර උනත් ඒ හැම දේමත් මැද්දෙ අපේ ජීවිතවල වටිනාම කාලෙ විඳිමින් ගතකරන්න අපි හැමෝම උත්සාහ කරනවා.

කොළඹ සද්ද බද්ද ගාලගෝට්ටි මැද්දෙ අපිට නිදහසේ ඇවිදින්න විශ්ව විද්‍යාලවල තියෙන දර්ශීය පෙම් උයන්,ගස් හෙවනවල්,උද්‍යාන,ගං ඉවුරු නම් නැහැ තමයි.ඒත් අපේ ජීවිත ආවේණික විධියකට විඳින්න අපි පුරුදු වෙලා නැතුවා නෙවෙයි.හැන්දෑවට ගෝල්ෆේස් පැත්තෙ යන්න,කැරමකට නෙක්ස්ට් එකක් දාන්න,කොමන් රූම් එකෙ පච හල හල ඉන්න,ටීවි රූම් එකේ පෙම් බස් මුමුණන්න,කැන්ටිමේ ප්ලේන්ටියක් බිබී ඔහේ කල්පනා කරන්න,පුංචි බොරැල්ල හංදියෙන් කොත්තුවක් කන්න,ක්ලිනිකල්ස්වලට කට් එක දාල පූල් පාරක් ගහන්න.....මේ හැම වැඩක්ම අස්සෙ වෙලාව ඉතුරු උනොත් ඩිංගක් විතර පාඩමුත් කරන්න,ඔය විදිහට එක විදියක වෙනස් ජීවිත අත්දැකීම් සමූහයක් ලබන අපේ ජීවිතල පුංචි කතාව කියන්නයි මේ ගීතය නිර්මාණය උනේ.


කිංසි පාර ගං ඉවුරේ
වාඩිලාන අපි ඉන්නේ...
ජීවිතේම හොඳ කාලේ
හතරැස් බිමේය ගත වෙන්නේ...
සුසුම් වාෂ්පය සිත්සේ
කොළඹ අහස පිළිගන්නේ...
ග්‍රීෂ්ම ඉර යට පිපෙනා
හිනා මල් කිනිති වැන්නේ...

ඇඬුවා අපි හිනා උනා
තරහ නොවුනා නොවේ...
කාලය නම් ඉගිල්ලුනා
අපව හැරදා කොහේ...
සිනා සරදම් හැඬුම්
මුකුළු පෙම් ගී සරේ...
මතක සැමරුම් සුළං
සුළි නගන දින යළි නො ඒ...

ප්‍රැන්සිස් පාරේ දවසක
ආපු හැටි අපි මෙහේ...
ඒ ගස් සෙවනේ රැයේ
ගැනපු තරු තව තියේ//
මල්පෙති විසිරුණු ඉමේ
තටු සළන ගිරවුනේ...
දමා සෙවනැලි බිමේ
නො එන් අප යන මගේ...


ගීතය අහන්නයි බලන්නයි මෙතැනින්


මේ ගීතයට තනුව යොදන්නෙ තරිඳු ජයසංඛ.අපෙ අනෙත් කට්ටියත් එකතු වෙලා තමා තනුව හැඩ ගැහුනෙ.සංගීත සංයෝජනයෙදි අපේ හිතාදර ලහිරු මල්ලිගෙන් ලැබුනු සහය  නම් අමතක කරන්න බැහැ.ගායන කරන්නෙ අපේ බැච් එකේ

තරිඳු,පබී,ඉරෝෂ,ඉන්දික,නිලංකා.චාන්යා,දිලිනි,තාරක,සිතුම්,වජිර,දිනිඳු,රුවිනි ඇතුලු පිරිස.ගීතයට රූප රචනය නිර්මාණය කරන්න සෑහෙන මහන්සි උනේ කොකුලන්.රූප රචනයට අවශ්‍ය කරන විදියේ අපූරු ඡායාරූප එකතුව ගන්න නම් මහන්සි උනේ රංගිකයි පණ්ඩිතුයි.
මේ හැමෝම අතරෙ තව මතක් කල යුතු එක්කෙනෙක් ඉන්නව.ඒ කෙනා තමා මේ ගීතයෙ හැබෑ හිමිකරුවා.මේ ගීතය නොකෙරෙන තැනට වැඩ වෙලා තිබ්බ වෙලාවක තනියම මහන්සි වෙලා,නෑ අපි මේක කොහොමහරි කරමු කියල අපි හැමෝටම ධෛර්යය දීල සති දෙකක් වගේ පොඩි කාලයක් ඇතුලත මේ ගීතය නින්නාදය වෙනුවෙන් සූදානම් කරපු ඒ කෙනා තමයි චතුරිකා අක්ක.ඉතින් ඔය කියපු හැමෝගෙමත් තවත් බොහෝදෙනෙක්ගෙ කැපවීමත් මත තමා මේ ගීතය එලි දකින්නෙ.


ඉතින් සහෝදර හැමෝටමත් කියවන හැමෝටමත් මේ ගීතයෙන් කියවෙන අපේ කතාව අහන්න කියල ඉතසිතින් ආරාධනා කරනව.

Thursday, November 17, 2011

මිදෙන දුක




සඳ නෑවිත් අද තනියට
තරු යායම දුල් විදිමුත්
දැනුනා හිත් අහස බරට
රෑ අඳුරේ වියෝ කඳුලු
නුඹේ නමින් ගලා නොගිය
උනා නෙත් කෙවෙනි අග මිදි







Monday, November 7, 2011

අලට කන්න බැරි උනු - අලගල්ල

මේ කියන්න යන්නෙ පහු ගිය දවසක ගියපු තවත් ගමනක් ගැන.මේ ගමන ගියේ අලගල්ල කන්ද නගින්න.




ගමන්ට එකතු උනේ හතර දෙනයි.ජයකොඩි පවුලයි අකුරැටියගේ පවුලයි.ගමන පටන් ගන්න පරක්කු උනා මොකද ජයකොඩි පවුල පිලිමතලාවට එනකොට ටිකක් දවල් උනා.කොහොමහරි උදේ කෑම පිලිමතලාවෙන් අරන් අපි පොත්තපිටිය බස් එකට ගොඩ උනා.පොත්තපිටියට රුපියල් විස්සෙ  දුර.අපි උදේ එකොලහ වෙනකොට පොත්තපිටිය ටවුමෙං බැහැගත්ත.එතන ඉඳන් කන්ද නගින්න පටන් ගන්න තැනට වෙනකන් ත්‍රීවීල් සගයෙක්ගෙ උදවු අරගත්ත මොකද ඒ වෙනකොටත් ඉර මුදුන් වෙන්න පටන් අරගෙනයි තිබ්බෙ.ගිනියම් අවුවෙ පිච්චිල්ල නොතකා අපි හතරදෙනා කන්ද නගින්න පටන් ගත්ත.අලගල්ල තේ වත්තෙ ඉහල හරිය තමා මුලින්ම හම්බ වෙන්නෙ.වතු නිවාස පහු කරං තේ වත්ත මැදි ටික දුරක් යනකොට තේ වත්ත එක පාරටම ඉවර වෙනව.ඒ ඉවර වෙන්නෙ කැලෑවකින්.මේ කැලෑ මණ්ඩිය තරමක් ගනයි.හැබැයි යා යුතු පාර  පැහැදිලිව තිබුන නිසා අපි බයක් හැකක් නැතිව  කැලේට ඇතුලු උනා.ඇරත් කන්ද හොඳටම පේන නිසා පාර වරදියි කියල බයක් නං හිතෙන් නෑ.කූඩැල්ලන්ගෙ කරදරේ නං අඩුවක් නැතුව තිබ්බ පෑවිල්ල කාලයක් උනත්.පවුල් සවාරියක්නෙ.ඒක නිසා අපේ ගමන තරමක් හෙමින් තමා සිද්ධ උනේ.මග දිගට කටු අතු වලින් සිද්ධ වෙච්චි අකරතැබ්බ වලට සාක්කි තාමත් මේක ටයිප් කරන මොහොතෙත් දැවිල්ල දනවමින් පුපුරු ගහනව.පෙබරවාරි මාසෙ මේ පලාතෙ කට්ටිය නිදහස සමරන චාරිත්‍රයක් විදිහට නඩ පිටින් අලගල්ල නගිනවලු.ඒකට පුංචි නිධාන කතාවකුත් තියෙනව කියල තමයි මම අන්තර්ජාලෙන් නං දැක්කෙ.හතලිස් අටේ නිදහස ලැබුනු දවසෙ කොළඹ තිබ්බ නිදහස් උත්සවේ බලන්න මේ පලාතෙ මිනිස්සු බොහොමයක් අලගල්ල මුදුනට නැග්ගලු.හැබැයි ඉතින් නැග්ග කාටවත්ම කොළඹ තිබ්බ නිදහස් ශ්‍රීය නං පෙනිල නෑ.කොහොම වෙතත් ඒ දවස්වල ඉඳන් පෙබරවාරි මාසෙට මේ කන්ද නගින එක එක්තරා ප්‍රාදේශීය සිරිතක්ලු.අපි ගියෙ ඔක්තෝම්බර් හින්ද පාරත් නොපෙනෙන තරමටම සමහර තැන්වල කැලෑ වදිල තිබ්බ.කෙසේ වෙතත් මේ කැලෑ කට්ටිය දිගේ සැලකිය යුතු දුරක් නැග්ගයින් පස්සෙ ටික ටික එලිමහනක ස්වරූපයක් පරිසරයට ආරෝපණය වෙනව.හැබයි එලි මහන උනාට මොකද මේක තමා අමාරුම හරිය.මේ පටන් ගන්නෙ මානා යාය.මතක් වෙනකොටත් එපා වෙන තරමයි.මාන ගස්වල තියෙන බූසිය ඇඟ හැම තැනම ගැවිල පුපුරු ගහන එක නවත්තගන්න ඕනෙ නං ඉතින් අපේ උන්දැ වගේ ඥානාන්විතව අත්දිග කමිස කලිසම් ඇඳන් එන්න ඕනෙ.ත්‍රී ක්වාටක් ඇඳන් ගියපු මට වෙච්චි හරිය ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.ඒ කතාව පැත්තකින් තියමු.මේ මානා කැලය පීරගෙන ආව වගේම දුරක් කන්ද නගින්න වෙනව.එතකොට මුදුනට ලංවෙද්දි පොඩි පර්වත එකතු වෙලා හැදිච්ච පර්වත වැටක් වගේ පේන්න තියෙනව.මේ ගල් අස්සෙන් ආපහු මානා කැලේට ඇතුලු වෙන්න ඕනෙ.එතකොට තරමක් දුරින් අලගල්ල මුදුන දැකගන්න පුලුවන්.ඒ දර්ශනය හරිම ලස්සන එකක්.මානා යාය මැදින් තේජස්ව අලගල්ල නැගී ඉන්නව.ඒක දැක්කම මට නං මතක් උනේ පර්වත බලකොටුවක්.කොහොම වෙතත් අලගල්ල මුදුනට නගින එක තරමක් අසීරු වැඩක්.අපිත් එක්ක බවලත් උදවියත් ගියපු නිසා අපි ඒ අවදානම ගන්න ගියේ නෑ.හැබැයි ඒ ඉතුරු අඩි කිහිපය සැලකිල්ලෙන් යන්න  පුලුවන් නං එච්චර අපහසු දෙයක් නෙවෙයි වගෙයි පෙනුනෙ.කොහොම වෙතත් මම අහල තියෙන විදියට අලගල්ල මුදුන කට්ටියකට  කෑම්ප් ගහන්න නං කියාපු තැනක්ලු.සබරගමු මධ්‍යම පලාත් මායිම යන්නෙත් මුදුන හරහා කියල තමයි දැනගන්න තියෙන්නෙ.
අන්තිම චුට්ට නැගගන්න බැරි උන එක ටිකක් හිතට දුක උනත් අවට දර්ශනය දැක්කම ඒ සියල්ල අමතක වෙලා ගියා.මීදුමෙන් වැහුනු කඳු මුදුන් ඒ වගේම පහල කුඹුරු යායවල් පාරවල් ඒ හැමදේම හරිම අපූරු දර්ශනයක් මවනවා.ඒ වගේමයි කන්ද උඩට ඉහල කෝට්ටේ දුම් රිය ස්ථානයත් හරි පැහැදිලිව පේනව.ඒ විතරක් නෙවෙයි බලන,බතලේගල,ඌරාකන්ද,උතුවන්කන්ද වගේ කඳු යායක්ම වගේම මාවනැල්ල නගරයත් හරි අපූරුවට බලාගන්න පුලුවන්.




"බලු නකුට"ක සුන්දරත්වය






අතරමග සිත්ගත් දසුන්





තේවත්තට අලගල්ල දිස්වෙනයුරු




කහ මල් කිනිත්තක් සැලුනා...



ලං ලං වෙන අලගල්ල





ඈත කඳු අතර මගදි...




මල් කිනිත්තක් අස්සේ....ඔන්න අලගල්ල දිස්සේ....




ගිම් නිවූ තුරු වදුලු




රිලේ දුවනව නං වෙන්න බෑ.....



ලඟට දුටුවාම.....




මළත් සොඳුරු නොවෙදෝ...





අතරමග අතැර යා නොහුණු තවත් මලක්





නෙක කඳු මුදුන්





මාවනැල්ල ටවුමට පිටිපස්සෙන් බතලේගල දැක්කද?





තව තවත් වට පිට..



ඕං මුදුන...




නගින්නත් බෑ....නොනැගත් බෑ...?






නිකමට ගහපුව...




vertical ට්‍රයි එකක්..





අලගල්ල අවට කඳු යාය...එක මිටට....



මේව නං කොච්චර ගැහැව්වත් මදි...




මානා යාය..




ඇදයිද මංද....?





දම් පාට මල් කිනිති...




ආපහු හැරෙමු එහෙනං...




අන්තිම වතාවට ලඟට බැලූ වෙලේ...


අපි ගමන පටන් ගත්තෙම පරක්කු වෙලා නිසා කන්ද උඩ එතරම් වෙලාවක් ගත කරන්න නම් හම්බ උනේ නෑ.ඒ ලස්සන හිතේ දරාගෙන පල්ලම් බහින්න පටන් ගත්ත.බහින ගමනට නං නගින තරං වෙලා ගත උනේ  නෑ.හැබැයි මහන්සි පිට බහින එක තරමක් අපහසු උනා.අපිව බස්සපු ත්‍රීවීල් සගයට ඇමතුමක් දීල මගට වාහනේ ගෙන්න ගත්ත නිසා කොහොමහරි හැන්දෑවෙ හතරහ මාර වෙද්දි අපි ආපහු පොත්තපිටියට ආව.

ගමන ගැන කරුණු කීපයක් කියන්න තියෙනව.පලවෙනි දේ තමයි යන්න අදහසක් තියෙනවනන් අනිවාර්යයෙන්ම උදේ පාන්දරින් යන්න අමතක කරන්න එපා.ඒ වගේම ඇති තරම් වතුර ගෙනියන්නත් අමතක කරන්න එපා.දාඩිය දානවට වඩා අතපය හීරෙන එක නවත්තගන්න එක වැදගත් කියල හිතෙන අය අත්දිග ඇඳුමක් ඇඳං යන්නත් අමතක කරන්න එපා.

කොහොම හරි අර කවියක් තියෙනවනේ....,
"...අලට කන්න බැරි අලගල්ලේ කන්ද ..." කියල.කවියෙ තියෙන ඒවයින් මට තව හුන්නස්ගිරිය නගින්න ඉතුරු වෙලා තියෙනව.දිනුක නං කවිය සම්පූර්ණ කරල අහවරයි.කවියෙ ඉතුරු පදෙත් සම්පූර්ණ කරන්න හිතේ තියාගෙන අපි රාත්තිරි කලුවරත් එක්කම කොළඹ බලා එන්න පිටත් උනා.




Sunday, November 6, 2011

විදුහල අප මවු ධර්මාශෝකා....



කඳුලු සිනහ පිරි කුරුලු සමය අග
අත්තටු සිඳලූ විහඟ කැළව අප
නොතිත් ලොවට පියඹා යන මොහොතක
මතක සිතිජ ඉම එකලු කරන්
එළි විදා ළහිරු කැන් යලිඳු එබෙනු ඇත

අම්මේ නුඹ ලඟ තවම උණුහුමයි
උකුලත්තාවේ ඉඩත් නැතී
කෙවෙනි ඉකි සළයි,කඳුලම සුළඟයි
මා තටු හයියයි,අහස අඬගසයි
පියඹායන්නට හිතක් නැතී

අඹමල් පිපේවි හෙටත් අද වගේ
සුවඳ විඳින්නට අපිත් නැතී
මාලති පුසුඹේ විඳ සැනසෙන්නට
තවත් පුතුන් එයි ඔය සුව ළමැදට
මේ පුතු ගියාට කමක් නැතී

තුදුස් වසකි නුඹ සෙවනැලි මත්තේ
ඒ සිහිල නොමැත මතු දිනෙක පැතී
අදින් මතුව හද වෙණ නොම සසලයි
තියේවි තත් හළුවන තුරු සෙවනැලි
ඒත් වයන්නට මවක් නැතී


(නිල ඇඳුම හැර යන සොවින් සිවු වසරකට පමණ එපිටදී ලියැවුණකි.)


විදුහල් මවුනි.....සදා නුඹ සුදිලේවා......!


Sunday, October 23, 2011

විරු මග ලකුණ




ගත් මග පියවර
අඩි සළකුණු ඇත...
එගං දෙගම්බඩ
නුඹ සෙවනැලි නැත...
පැදූ දියවර
පවස නිවන අද...
එදිය විසෙහි ලා
බොර කරවන්නට...
තනන උනුන් හා
සයුරත හමුවී...
යුතුකම් දියකඳ
මුදන අපත් හා..
එනු උරෙනුර වැද
දෑත් එකට බැඳ...


(ඔක්තෝම්බර් 22 දිනට යෙදුනු පද්මසිරි ත්‍රීමාවිතාන සොයුරාගේ ගුණානුස්මරණය නිමිත්තෙනි )





Sunday, October 16, 2011

නොඑතෙන් සුලඟ



අයිතිකරගන්න දත කන
හුළඟ ඇයි උඹට අමතක
උඹ අනියම් බිරිඳ වග
මං තිරයි මේ මහපොලව මත



Saturday, October 15, 2011

ස්වාර්ථ



පරාර්ථකාමයත්
එක විදිහක ආත්මාර්ථකාමයක්
හැබැයි
අතට අහු නොවෙන දේ
බලාපොරොත්තු වෙන..
අතට අහුවෙන්න උනත්
වෙන වෙලාවක බලාපොරොත්තු වෙන....








Friday, October 14, 2011

එතකං පාවෙන්න



එන්න යන්න ඔරු පදින්න
ගලන් නෑලු දැන් ගඟ
වැහිලලු අන්න මෝය කට
සනීපෙට පාවෙතෑකි එක තැන


මොකට දුවනවද දාඩිය හල හල
වැලි කඳු හාරල හති වැටෙන්න
ඉවසුවොත් නාකද වාරකං යනකං
එතකං පාවෙමුකො කලපුවේ අපි ඉතින්



Tuesday, October 11, 2011

එකසිය හැට හය



එක්ස් රේ රබානට
අතිනි තට්ටුව හෙමිහිට
ජෝති හඬ තාලෙට
බසේ මැද නුඹ උන් විලාසෙට

කොට කොටා හැට හය
නිසල බැල්මය ඉවතක
නොහොල්ලන ඇස් යුග
හිස් කතාවකි කියන නොකියන

නොම කිළිටි ඇඳුමින
වැටෙන රුපියල් කිහිපෙට
නොවේ නුඹ ලතවෙන
ඈත නොපෙනෙන ඉමක මෙන හිත

ගිලිහෙන්න දිලිසෙන
ඩහබිඳු නාස් පුට අග
මගෙ හිතට වදදෙන
බැල්ම තවමත් තැවෙයි අහකක



Tuesday, October 4, 2011

දිය මත



පෙම් බැඳන්
හබලතට
නුඹ.....

අත් හරිමි
ඔරු කඳම
මම.....


Saturday, October 1, 2011

යුද්ධය



පළමුවත් මරණය
දෙවනුවත් මරණය
තෙවනුවත් මරණය



Related Posts Plugin for WordPress, Blogger...