Saturday, December 3, 2011

කිංසි පාර ගං ඉවුරේ....


පහුගිය නොවැම්බර් 30වැනිදා කොළඹ වෛද්‍ය පීටය වාර්ෂිකව පවත්වන "නින්නාද" කලා උළෙල අතිඋත්කර්ෂවත් විදිහට ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවෙදි පැවැත්වුනා.මෙවර එහි සංවිධානය කෙරුනෙ උසස් පෙළ 2007 කණ්ඩායම අතින්.වෛද්‍ය පීටයේ උඩ පහල බැච් සේරෝම වගේම රාගම,ජපුර,යාපනය,නැගෙනහිර වගේ වෛද්‍ය පීටවල සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවොත් මේ උළෙල අලංකාර කරන්න එකතු උනා.ඒ ගැන පුරාජේරුව වෙනම වෙලාවක විස්තර කරන්නම්කෝ.ඒ විස්තර පහළින් ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන්.

"නින්නාද 11" ෆේස් බුක් පිටුවට මෙතැනින් http://www.facebook.com/events/162001877231017/
 "නින්නාද 11" බ්ලොග් පිටුවට මෙතැනින්      http://ninnada11.blogspot.com/


මේ කියන්න යන්නෙ ඒ නින්නාද 11 කළ උළෙලට සමගාමීව කෙරුනු ගීතයක් ගැන.මේ ගීතය නින්නාදෙ තේමා ගීතය නම් නොවෙයි.මේ ගීතය ලියවෙන්නෙ කොළඹ වෛද්‍ය පීටයේ ගතවෙන සුවහසක් වෙද සිසු ජීවිතවල කතාව කියන්නයි.රටේ හතරකොනින් මේ බිමට පයගහල තමන්ගෙ හිරිමල් තරුණ විය මේ හතරැස් බිම ඇතුලෙ ඔට්ටුවට තියල  අනේක විධ කම්කටොලු මැද්දෙ  මිනිස් ජීවිත සුවපත් කරන්න,ඒ වගේම තමන්ට යහපත් අනාගතයක් තනාගන්න වීරිය යොදන අපේම සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන්.මේ බිමෙන් පන්නරය ලබාගෙන අද ලංකාවෙ හතර කොනේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම දස දිසාවෙම විසිරිල ඉන්න මේ වෙද විදුහලේ ආදි සිසුන් ඒ වගේම අපේම ගුරුවරුන් වෙනුවෙන්.

වෛද්‍ය ශිෂ්‍යයෙක්ගෙ ජීවිතයෙ තියෙන දුෂ්කරතා අමාරුකම් අනේකයි.ඒක අපි කාටත් පොදුයි.මේ ගෙන්දගම් පොළව මත්තෙ කිංසි පාර දෙපැත්තෙ ඉඳන් අපි ගතකරන ජීවිතේ දුෂ්කර උනත් ඒ හැම දේමත් මැද්දෙ අපේ ජීවිතවල වටිනාම කාලෙ විඳිමින් ගතකරන්න අපි හැමෝම උත්සාහ කරනවා.

කොළඹ සද්ද බද්ද ගාලගෝට්ටි මැද්දෙ අපිට නිදහසේ ඇවිදින්න විශ්ව විද්‍යාලවල තියෙන දර්ශීය පෙම් උයන්,ගස් හෙවනවල්,උද්‍යාන,ගං ඉවුරු නම් නැහැ තමයි.ඒත් අපේ ජීවිත ආවේණික විධියකට විඳින්න අපි පුරුදු වෙලා නැතුවා නෙවෙයි.හැන්දෑවට ගෝල්ෆේස් පැත්තෙ යන්න,කැරමකට නෙක්ස්ට් එකක් දාන්න,කොමන් රූම් එකෙ පච හල හල ඉන්න,ටීවි රූම් එකේ පෙම් බස් මුමුණන්න,කැන්ටිමේ ප්ලේන්ටියක් බිබී ඔහේ කල්පනා කරන්න,පුංචි බොරැල්ල හංදියෙන් කොත්තුවක් කන්න,ක්ලිනිකල්ස්වලට කට් එක දාල පූල් පාරක් ගහන්න.....මේ හැම වැඩක්ම අස්සෙ වෙලාව ඉතුරු උනොත් ඩිංගක් විතර පාඩමුත් කරන්න,ඔය විදිහට එක විදියක වෙනස් ජීවිත අත්දැකීම් සමූහයක් ලබන අපේ ජීවිතල පුංචි කතාව කියන්නයි මේ ගීතය නිර්මාණය උනේ.


කිංසි පාර ගං ඉවුරේ
වාඩිලාන අපි ඉන්නේ...
ජීවිතේම හොඳ කාලේ
හතරැස් බිමේය ගත වෙන්නේ...
සුසුම් වාෂ්පය සිත්සේ
කොළඹ අහස පිළිගන්නේ...
ග්‍රීෂ්ම ඉර යට පිපෙනා
හිනා මල් කිනිති වැන්නේ...

ඇඬුවා අපි හිනා උනා
තරහ නොවුනා නොවේ...
කාලය නම් ඉගිල්ලුනා
අපව හැරදා කොහේ...
සිනා සරදම් හැඬුම්
මුකුළු පෙම් ගී සරේ...
මතක සැමරුම් සුළං
සුළි නගන දින යළි නො ඒ...

ප්‍රැන්සිස් පාරේ දවසක
ආපු හැටි අපි මෙහේ...
ඒ ගස් සෙවනේ රැයේ
ගැනපු තරු තව තියේ//
මල්පෙති විසිරුණු ඉමේ
තටු සළන ගිරවුනේ...
දමා සෙවනැලි බිමේ
නො එන් අප යන මගේ...


ගීතය අහන්නයි බලන්නයි මෙතැනින්


මේ ගීතයට තනුව යොදන්නෙ තරිඳු ජයසංඛ.අපෙ අනෙත් කට්ටියත් එකතු වෙලා තමා තනුව හැඩ ගැහුනෙ.සංගීත සංයෝජනයෙදි අපේ හිතාදර ලහිරු මල්ලිගෙන් ලැබුනු සහය  නම් අමතක කරන්න බැහැ.ගායන කරන්නෙ අපේ බැච් එකේ

තරිඳු,පබී,ඉරෝෂ,ඉන්දික,නිලංකා.චාන්යා,දිලිනි,තාරක,සිතුම්,වජිර,දිනිඳු,රුවිනි ඇතුලු පිරිස.ගීතයට රූප රචනය නිර්මාණය කරන්න සෑහෙන මහන්සි උනේ කොකුලන්.රූප රචනයට අවශ්‍ය කරන විදියේ අපූරු ඡායාරූප එකතුව ගන්න නම් මහන්සි උනේ රංගිකයි පණ්ඩිතුයි.
මේ හැමෝම අතරෙ තව මතක් කල යුතු එක්කෙනෙක් ඉන්නව.ඒ කෙනා තමා මේ ගීතයෙ හැබෑ හිමිකරුවා.මේ ගීතය නොකෙරෙන තැනට වැඩ වෙලා තිබ්බ වෙලාවක තනියම මහන්සි වෙලා,නෑ අපි මේක කොහොමහරි කරමු කියල අපි හැමෝටම ධෛර්යය දීල සති දෙකක් වගේ පොඩි කාලයක් ඇතුලත මේ ගීතය නින්නාදය වෙනුවෙන් සූදානම් කරපු ඒ කෙනා තමයි චතුරිකා අක්ක.ඉතින් ඔය කියපු හැමෝගෙමත් තවත් බොහෝදෙනෙක්ගෙ කැපවීමත් මත තමා මේ ගීතය එලි දකින්නෙ.


ඉතින් සහෝදර හැමෝටමත් කියවන හැමෝටමත් මේ ගීතයෙන් කියවෙන අපේ කතාව අහන්න කියල ඉතසිතින් ආරාධනා කරනව.

5 comments:

  1. වෛද්‍ය විද්‍යාවෙන් සම්පූර්ණ වෙනස් විශය ධාරාවක් ඉගෙන ගන්න මට නම් ඔය අය කරන කැපකිරීමෙන් දශමයක් වත් දැකගන්න අපහසු වේවි. ඒත් ඔය අය පස්සෙ කාලක හොදට ඉගෙනගත් පිළිගත් වෛද්‍යවරයෙක් වෙලා ජනතාවට කරන සේවය ඇත්තටම මිල මුදල් වලින් මනින්න අපහසුයි කියල මම නම් දන්නව.

    ReplyDelete
  2. ඇයි ඔයාලා කොළඹ කැම්පස් එකේ රීඩ් පාර දෙපැත්තෙ තියෙන ප්‍රධාන භූමියට එන්නෙ නැද්ද?

    විශ්ව විද්‍යාලවල තියෙන පෙම් උයන්, ගස් හෙවනවල්, උද්‍යාන, පොකුණු, පිට්ටනි හැමදේම ඔය හරියෙ තියෙනවනේ....

    ReplyDelete
  3. සමහර වෙලාවට ෆැකල්ටියෙ ක්‍රීඩා තරගවලට හරි පුහුණුවීම්වලට හරි ගියොත් මිසක්ක ඒ පැත්තෙ නොයැවෙන ගානයි.ෆැකල්ටිය පුංචි බොරැල්ලෙ ජාතික රෝහල ගාව නෙව තියෙන්නෙ.තුම්මුල්ලට යන්න බස් දෙකක යන්ට එපායැ.

    ReplyDelete
  4. අද තමයි මේ පැත්තෙ ආවෙ. වෙලාවක් අරගෙන බ්ලොග් එක ඔක්කොම කියවන්න ඕනෙ.

    ReplyDelete
  5. බොහොම ස්තුතියි බ්ලොග් ගඩොල් යාලුවේ

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...