Friday, January 31, 2014

ආවේ කොහි සිට



කඳුලු සමහරවිට
එකම උල්පතකින් නූපදී
සංකීර්ණ ලෙජරයක
අවසන ශේෂයව
නෙත් අගින් වෑස්සේමය
ඉතින් සබඳ
එසයුරත ලුණුරස දියත්තෙන්
විමසීම වටනේද
නුඹ උපන්නේ
වළා වන වදුලකද
පල්දෝරු නලයකද





Tuesday, January 21, 2014



රැස් බාගත් ඉර තනියම
සොහොන් කොතක පෙඳ සූරත
අබැට මිටක් අඳුරට පෙර
නොසොයා හිඳ ගිමන් හරිත

Thursday, December 19, 2013

කාකි කමිසය පහසු නැහැ පුත



ඉර කර ඇරිය දවසක 
රාත්තිරි තුරුලට වැද
දියවෙවී ගන අඳුරට
හමු උනා නුඹ හා මම

ජීප් රිය හුනසුන යට
කබින් ඇලැවුනු දෑසින
එකුන් විසි වියෙදී
මරණයයි රමණය කලේ නුඹ

පුළුටු උඩු හුළඟේ
දෑඟිලි බැඳං එල්ලී
වියරුව නොහැඬුවේ ඇයි
මද මුදු සිනා අතහැර

සිය දහසක් කෙවෙනි
අතරින් නුඹය පළවෙනි
නික්මුම දැනී පෙනි පෙනි
පළා ගොස් නොම සැඟවුනි

දෙදොහක ඇවෑමෙන්
නුඹ හමුවීමි හැබැහින්
තැලී පොඩි උනු කෙටල ගාලක
මූනින් අතට පිම්බී

මටත් මරණය ඇවිල්ලා අද
උඹෙන් මහ කාලෙකින් පස්සට
ඉතින් කියපන් අතැර කිමිදුම
හිත නුහූලන මෙබැඳි බන්ධන

කාකි කමිසය පහසු නැහැ පුත
ළතෙත උර උර අවර පැහැ වෙන
මුදන අවසර නොලද කඳුලක
දැවෙන තැතනෙන ළසොව දැනුනෙද




Monday, October 21, 2013

බඹාට කෙටීම



අවිවාහක මහබඹෙක් විය
පසුවිපරම නොවැදගත්යැයි සිතූ
කෙටුවායින් පසුත්
තැවි තැවී
තව බොහෝකල් හුන්



Sunday, October 20, 2013

නුඹ මම



නුබ 
ගැබ 
නැබ මත
ඔබ
මොබ 
යන නුඹ
නුඹ 
නැබ 
ගැබ මත
ඔබ 
මොබ 
යමි මම

Monday, October 14, 2013

පෙම්වත් මිණිබිරිය




සත්වසක් මුලුල්ලේ
බ්‍රහ්ම දණ්ඩණය ලද්දී
ගම ආවාය
සත්සයුරු මතින් පියඹා

තටුවෙන් වහන් උන්නත්
වළාකුලු සීතට ගුලි ගැහුනු
කිරිලි පුළුන් බෝලයක් හැලුවාය
බුම්මාන අහක බලා උන්
සීය තාත්තාගේ සරමේ ඔඩොක්කුවට

කාංසාවෙන් සිර කරං උන්
දුකටපත් ගර්වය
උණු වීය දිය වීය
පැටි කිරිල්ලීගෙ තොදොලට

ඉතින් ඉන් පසු
කැදලි මිදුලේ උන් තණපෙත්තෝ
ස්ව කැමැත්තෙන්ම අවුත්
ගාල්වූහ
ගෙඹි ටිකිරිත්තෝ
වහ වහා පොල් කටු යටට වී
පැටි කිරිල්ලිය එනතුරු
නො ඉවසිලිමත් වූහ

දෙනියෙන් නියරටද
නියරෙන් පේර ලානටද
මහලු අත්තටු කිහිල්ලට වී
එහෙ මෙහෙ පියෑඹුවාය

ඉනික්බිති
එළඹුනු දිනෙන් සත්වැන්නේ
සුළං යළි හැරුනෙන්
ඈට යන්නට සිදුවිය
සත් සයුරෙන් එපිට
උපන්නා වූ ඒ කොදෙව්වට

තක්කිට තරිකිට නටපු තරමට
කිරි කිරි හඬින් දෙස් දුන්
වියටපත් හන්දි ඇටකටු
සහ පිය බිරින්දෑ වෙත
සවන් නම් හේ නොදුන්නේ වෙද

කලකට පසුව යළි
පෙම්වතෙක් වී හමාරය ඔහු
මිණිබිරි කිචි බිචිය
අහන්නට නො ඉවසිල්ලෙන්
හැම සවසකම
දුරකථනය අසල


Friday, October 11, 2013

හැංගිමුත්තං



කවි පබඳින්නෝ සිටිත්
පදපේලි වල හැංඟී
කවියෙ මා නොසොයන්න
හිමිකම් අත් හළ පුවරු ඔසවාන
කාටත් හොරා
පද සමහරක පිටුපස
කවුරුන් හෝ සොයා එනතුරු 
නො ඉවසිල්ලෙන්

Wednesday, October 9, 2013

නුඹත් ඇයත්


එසඳ සිහිනයන් විය
නුඹත් සිටි
මාත් සිටි
මහ කලක් ගතවුනා
නුඹත් උනි
මාද හුනි
දැනුදු සිහිනයන් වේ
නුඹත් නැති
මාත් නැති
සීනයේ තැන් වේය
නුඹ නොමැති
මාම ඇති

යථා ලෝ පොළෝ මත
ඈද ඇත 
මාද ඇත
ගැබ්බරිත සිහිනවල
ඈ සිටිත
මාද ඇත
ඇය මෙමට හිමි බවද
ඈද දත්
මාද දත්
මා ඇයට අහිමි බව
ඈ නොදත්
මා පමණක්ම දත්


Saturday, October 5, 2013

හීන මල්ල තුරුලු කරන් මතකය දිගේ

සරසවි ජීවිතය නිමාවෙන්නත් ඔන්න මෙන්න. උරුවම් බාමින් ඉන්න අතර පුරුදු ගීතයක තනුවක් ඉබේම මිමිණුනා.අතරින් පතර කොයිවෙලේත් අතීතයෙ ජීවත් වුනත් හිත බොහෝමයක් වෙලා ඒ ගීතයත් එක්ක අතීතයෙ සැරිසැරුව.ඇත්තම කිව්වොත් හුඟක් දේ වෙනස්වෙලා. මං වෙනස් වෙලා. එදා උන්නු සමහරක් යාලුවො වෙනස් වෙලා. ඉස්කෝලෙ උනත් වෙනස් වෙලා ඇති. 
ඒ ගැන වමාරන්න මේ කාලය මදි.වයසට යන්න කලින් ඒ දේවල් කොහේ හෝ තැනක කුරුටු ගාන්නත් අදහසක් තියෙනව. 
මේ හැමෝම එක්ක බෙදාගන්නෙ ඒ මතකයෙ එක පිටුවක්. උසස් පෙළ විද්‍යා ශිෂ්‍ය සංගමය එකතුවෙලා කරපු 2006 විදුසැරිය විද්‍යා දිනයේ තේමා ගීතය.


ජීවිත හිමේ පා පොඩි නගා
නුඹ ඇකයේ විඳි උණුහුම
මතකයෙ දවටා
ඉගිලෙන්නද කෙලෙසින්


හීන මල්ල තුරුලු කරන්

ආ කාලය පාව ගොසින්
දෙනෙත් අගට කඳුලු උනා
කියයි හිනැහිලා


නුඹ කියූ ලෙසම අරුත් පිරුනු

ඉම්කොන් නැති ජවය සොයා 
විදුසැරියේ..
නික්මෙන්නට අවසරයි



ගයන්නෙ හිරාන් එක්ක අසංක අයියා. සංගීතය රචික අයියගෙ. වීඩියෝ කලේ චරිත් ලක්ෂාන්. ඉතින් එකතු වෙන්න ඒ මතකය බෙදාගන්න.

මම ඈව දෑහට නොදැක කාලයක් ගතවුනා. ඈ සනීපෙන් ඇති කියල හිතනව.දරුවො හැමෝම ලෝකෙ කොයි මුල්ලෙ හිටියත්, හැමදාමත් අම්මව මතක් කරනව අම්මෙ. 


                 විදුහල අප මවු ධර්මාශෝකා සිරිලක සුදිලේවා



                                                                                              

Monday, September 30, 2013

විවාපත් මිතුරියක කී කව


මිතුර
පෙමකින් මෙහා
සහෘදත්වයෙන් එපිටහ
තැනක් මෙදියත වේද
අපට මිතුරන් විය හැකි
නො එසේනම්
වෙනමවූ ශ්‍රිතයකදි
දිගෙලි වෙන බැඳුමක්ද

හිමි තුරුල සුව සදයි
දිවි සැරිය ඔහුත් හා
පානගමි එය සැබැයි
එතෙකදු අනිෂ්ටව
අපට ගල් ගසාවීයැයි භයින්
තවත් මිතුරු නොවී හිඳිමුද

එහෙව් සුරැකි තෝතැන්නක
පෙමට මෙහා මංකඩෙක
දිනෙක හිරු ගිලෙන්නට පෙරව
හමුවෙලා වෙන්වෙන්න හැකි වේද
හැකි නේද 

Related Posts Plugin for WordPress, Blogger...