වඩිනාගල හිට වැඩියා අපෙ ගමට
ඉටි මල්ලයි සිවුරයි තිබ්බා කරට
බන්ට් එක ලඟ කැලේ බෝගහ මුල අවට
අටවා පුංචි පැල දම් දෙසුවා අපට
මතක බණේ දානෙදි තනි කලේ නැතී
අසනීපයකදී නම් වැරදුනේ නැතී
වන මැද ගංකරේ කාටත් පිහිට වෙවී
කාගෙත් ගෙදර බුදු වී උනි සුමන හිමී
නියඟෙට කරවුනා මුලු විල්පත්තුවම
පුංචි දිවුලෑව හිඳුනා පතුලටම
තිබාසේට ගිනිකණ වැටිලා ගමම
දියහෑරුවා සිහි එලවුනු හැම තැනම
බෝසත් සිතින් ලීවත් ඩීආරෝට
ලොකු නල ලිඳක් දෙන්නැයි මේ ගංගොඩට
ලක්සම දෙක තුනක් යනවා මේ ලිඳට
සලකා බලමි ලිපියක් ලැබුනා ගමට
දවසක් උදේ ආවාසේ සාදු නැත
බට ලානක් වගේ ගම ගිනිගත්තේය
සති දෙකතුනක් හෙව්වත් නැහැ හම්බ උනේ
හරියට කරපොලව යටටම ඉරුව වගේ
හඳවල් දෙකක් පහු උනදා හැන්දෑවේ
අපෙ පොඩි සාදු ගම ආවා පෙර වාගේ
කඩිසර අඩි ගමන් දැන් නම් නැහැ වාගේ
ලක්සෙට කොඩිය ලෙල දුන්නලු ආවාසේ
ලොතරැයියක්ලු සමහරු කුටු කුටු ගෑවා
බැංකුව බින්දාද තව අය ඇහැ ලෑවා
ජල යෝජනා කරමෙට මුල්ගල තීවා
මාසෙන් දෙකෙන් හේ වැඩ අහවර වූවා
ටැංකිය පුරවාපු දවසේ පිරිත මැද
වඩිනාගල සුමන වැටුනා සෙනග මැද
තබ්බෝවට හනික ගෙනියන අතරමග
අපවත් උනා උස්සන් ගිය පුටුව පිට
කොර්නෙල් මරණෙ හේතුව මොකදෝ හෙව්වා
ලේ කැටි කැටි පිරී පිම්ඹුනු බඩ පෑවා
කලියෙන් එන්න තිබ්බා නෙව දොස් කීවා
වම් වකුගඩුව නම් දැක්කේ නෑ කීවා
අද ගම හැමෝගෙම අත ලඟ වතුර ඇත
මේ බැව් මතක උන් එකෙකුදු මෙගම නැත
වැඩ හිටි ආවාසෙ මැටි පස් ගොඩැලි මත
ඊතණ පඳුරු එක දෙක නම් වැවී ඇත
වැදගත් කවි පන්තියකි....
ReplyDeleteවියලි කලාපයට ආවේනික දුක්ක දෝමනස්සයන් ගෙන් වියවුනු කැන්වස් එකක අපූරුවට කල කඳුළු සිත්තමක්.
ReplyDeleteහොඳ පදගැලපිමක්! ජය!
ReplyDeleteඋත්කෘෂ්ඨයි. නිමිත්ත අහගන්ඩ බැරි උනා නේ මචං.
ReplyDeleteසංවේදී කවි පන්තියක්.. ලස්සනට පද ගලපල තියෙනව..
ReplyDeleteතදින් හිතට දැනුණා, පද ගැළපුම ඉස්තරම්
ReplyDelete