අකූ
Monday, February 4, 2013
මහල්ලෙක් විය හැක
නැලවෙන පාලමෙහි යට
කල්පනාවෙනි මහවැලිය තව
ඈ නෙලූ මල් ගෙන ගිය
වීසි කළ ගල් තුරුලෙ රැකගෙන
ඉස්සර වගේ දවසක
ගංදිය දෙබෑ කරගෙන
අත්ලේ මතක වජ්‍රය
හොවා ගත් කිඳුරියක එනතුරු
තැවෙන වියපත් නෙතකි අනිමිස
Tuesday, January 1, 2013
මලක්
මලක් නටුවෙන් හැරී
මලසුන'ග බවුනෙහි ගැලී
එතිර සිත නොම දැනී
තවම බිඟු සකි බමයි සැරහී
Wednesday, December 19, 2012
අහස සඳ හා තරුව
අහස රෑ අඳුරේ
සඳ පුරා දුලලන සේ
එලි සිහිල යස සේ
නුඹ විදින අද දවසේ
සඳට පෙර පිපුනූ
නුඹ අහස් සිත ඇඳුනූ
රහස් පෙම් මිමිනූ
නිවි නිවී යලි දිලුනූ
අ
හස සඳ වැළඳ
උන් අයුරු දැක මහද
තරු පැතුම් නොම පැරද
ඉමි අහස් කොන උවද
අහස් ලඳ කොමලී
සඳ උවද නෙත නොගැලී
අමාවක දවසක්
නේ යැයි සිතනු බොලඳී
නුඹ දකීදැයි නොදනී
තරු එදාටත් තිබෙතී
සඳ තරම් එලි නැතිදූ
තරු සදාකල් පවතී
Friday, December 14, 2012
ත්‍රිමා
ඉදින් නුඹ ගිය මග
ඇවිරුණා උස තණපත්
යා නොහෙන තරමට
මග අතිර වන විලසට
නැවී ගිය තෘණපත්
හිස යොමන අයුරට
තිබිය යුතු ඒ මග තව
කියා ඔවදන් දෙන මෙනි
සොහෝයුර ඉනු මැන
අපේ සෙවනැලි ඉද්දර
නුඹ පියෙන් ඉපැදුනු
පියුම් පිට අප රැගෙන යන්නට
Thursday, December 13, 2012
අතරමඟදි
පෙර දොඩමලු උන කොරිඩෝ පෙත්වල
ඉඳහිට අප මුණ ගැහෙනු ඇතී
ඈතින් දුටුවන දෑස බිමට බර
නුඹ මා පසුකර ඇදෙනු ඇතී
අපේ ලෝකවල අපි රජ උන මුත්
ඒ මොහොතේ හිත් එකට හැපී
මතකයෙ ගිනිගල් එකිනෙක ඇතිලී
සිහින පුපුරු ගිනි නැගෙනු ඇතී
Monday, November 19, 2012
සදිසි
සිදු සදිසි
නුබ සදිසි
පර්යාය පද කුමට...
නුඹ සදිසි
සෙනෙහසක්
තිබියදී මගෙ ලොවට...
Saturday, November 3, 2012
අප කී දේද කල දේද
සිතා උන් හැමදේද
අකුරක් නෑර ලියවෙන
පොතක් තිබෙනා යැයි
නොදැන මෙපමණ කලක් උන්නෙද
ඒ ලොග් පොත තියෙන
තෙත ගල් ගුහාවට
අද මට
යන්න ලැබුනා අහම්බෙන් මෙන
අසල්වැසි ජීවිත කතාවල
අමුතු තැන් මගෙ වගෙම තිබුනා
දවස ගෙවුනා අඳුර වැටුනා
ගොම්මනේ අන්තිම එළිය බිඳ
උදව්වෙන් මගෙ පිටුව මැකුවා
හ හා හිතුවද ඔබත් යන්නට
මගේ අඩි සලකුණුත් මැකුවා
Friday, November 2, 2012
මායා මැතිනිය
මායා මැතිනියෙනි
බොන්සායි කල මැන
මාවත්
මේ කඳු අතර
හැමදාමත් වහින
දිය ගලන
දෙණි අතර
කාලය දියව
සමබිමේ ගලන අපූරුව
පිල්ලමකුදු නොහෙලා
බලා හිඳින්නට
පිටපත මගෙ නොවේ
බලා ඉන්නට නැතිමුත්
ප්‍රේක්ෂක කැළතක්
නොනැවතී රඟමි මම්
වළාකුළුවලටත් ඉහලින්
ගැලරියේ පුටු
හිස් නැතය අනුමානයෙන්
Saturday, October 20, 2012
කොළඹ අහසට
සාපදී ඇතිමුත්
අතොරක් නැතිව
දුෂ්ටිය යැයි
පලමු මහලේ සිට
දුටිමි නුඹත්
පැලඳ උන් කඳු මිණි මෙවුළ
සත්වැනි මහලට
පිළිපන් සඳ
අපරිමිත නුඹ
බෙදා වෙන්කල
මෝහයට තව
සාප දුනි මම
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)