Wednesday, August 31, 2011

කිසාගෝතමිය වළපී


පොල් පේලි අතර තණකොල හොයන කිරිදෙන්නු
වේලි දෙල් කොල උඩිං ගොර අදින කර හුලං
ඉරි තැලුනු වෑ පිටියෙ පණ අදින නෙලුම් දලු
හෝන් කොත් වගේ මට දැනෙනවා හැම දේම

මාන්කුලමෙදි මිසිං උන අයිය හොයාගෙන
පොඩි එක ගොහිං දැන් මහ කලක් ගත උනා
"අම්මෙ මං ඕකුන්ව මරාගෙන මැරෙනවා"
එදා මළ ඉර තාම වැව උඩින් පිපෙනවා

බොල් අහසෙ තටු ගාන වරා මල් බල බලා
මැටි කට්ටෙ දූවිල්ල තවත් උඩහට ගියා
උඹෙ සොවට මහ උන්දැ ලෙඩ ඇඳේ තනි වෙලා
හිත යටින් හූල්ලයි හුස්ම පොද තල තලා

අයිය පණ ගෙනිච්චා,උඹ හුස්ම ගෙනිච්චා
මට් තාම බැරි උනා සුදු මූණු දකින්නට
පෝදාට පානකින් තනිය හූරාලන්ට 
ඇයි උන්ට බැරි උනේ උඹලාව එවන්නට

පන්සලේ බෝධියේ බැම්ම උඩ හැමදාම
පාංවැට දිලෙනවා උඹෙ නමින් තුන් රෑම
පිංකමට ලොකු සාදු උඹේ නම් කියනකොට
පුරා හඳ වැහෙනවා කලු වළා රොත්තකට

හංදියට ගියදාට බස් එකෙන් බහිනකොට
බස් හෝල්ට් බිත්තියේ පොටෝ දෙක දකිනකොට
එන අතරමග අනිත් බස් හෝල්ට් දකිනකොට
අබ මොටද මේ දුකට මයෙ පුතේ නාකි මට



2 comments:

  1. අහා අනිත් උන්ට අමතක උනාට යුද්දෙ අනිසි ප්‍රථිපල තාම ඉවර නෑ.එළ මචං මට අල්ලලම ගියේ අබ හොයලා වැඩක් නෑ කියන කෑල්ල.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...