Wednesday, August 14, 2013
ශේෂ කඳු
විසල් තැනිතලාවක
උන් හිටි තැන්වල ඈඳිගත්
හූවක දුරින් මූණට මූණ බලන්
පොඩි කඳු දෙකක් තිවුනා
ශත වර්ෂ ගාණක්
ගණන් නොතරම් අව් වැසි
පැමිණියද එදෙදෙන
සසැලි සිත ගල් කරන් උන්නා
ඉර එබෙන'හට ඔබ්බෙන්
මේකුලු බරණ ඇඳ
සතොසින් දවසරින
කඳු පවුල් උන් බවත් දන්නා
අපුලයි තනිය පාලුයි
පුංචිත්ති කෙටි පණිවිඩ
වියැලුනු හුළඟෙ අමුණා
එහෙ මෙහෙට ගිය දවස් තිවුනා
දරුපල නොම වැළඳ
ගං දූ කොමළි නොම ලද
මව් කඳු තෙම තරං
නෑඬුවත් හේ හිතින් ඇඬුවා
අහම්බෙන් දවසක
මනුසතෙක් ගිය දඩ මග
අවුරාන හිස් විලසට
දෙමහල්ලො ඔහෙ හිටන් උන්නා
කාලය ගත උනා
එකා පස්සේ එකා ඇදුනා
මාපිය ඇඟිලි බැඳෙමින්
බැම්මකින් මේ දෙපොල ඈඳුනා
හිටියදවත් නොදත්
කෘෂැති කදුරක් හරහට
යාවුනු බැමි තෙමේ
පුංචි වැව් කෙණ්ඩියක් තැනුවා
වනපෙත සරු උනා
කුඹුරු කරලින් පැහුනා
වෑදිය පණ උරා
තැනිතලාවම යුහුසුළු උනා
කුස නොම දැරූවත්
සෙවන යට උන් මනුසත්
දරු සුරතල් බලා
සැනහුනා ඒ දෙමාපිය හිත්
තන පුඩු කිරෙන් උතුරන
මව්වරු වේද යම් සේ
ලැම මැද සෙනේ ඉඩ දී
සැනහෙනා තව මවුන් බෝ වෙත්
Sunday, August 4, 2013
ඉබ්බෙක්මි
දියෙන් එපිට වනපෙත ගිනිගෙන ඇත
කටුව යටට හිස පමණකි දියමත
අඩක් දැවුනු පත් දියට වැටෙන සඳ
මදක් දුමැති නල රැළිති හමනු වෙද
මගේ පොකුණු දිය තවදු බොරව නැත
දැවුනු වදුලු මත තණ පූදිනු ඇත
නොවෙද සිතූ මේ මහලු ඉදිබු තෙම
ගැඹුරු හුස්ම ගෙන පතුලට කිමිදෙත
Sunday, July 28, 2013
පෙම්වත් වනරොද ඔහුගේ නම් වෙද
තණබිම් ඉද්දර
අහඹුව නැවතුනු
වන ගුල්මෙක අස
නැවතී හුන්නා
තුරුගොමු අතරින්
ලියවැල් නටමින්
වෙලේවි බඳ වට
හවසක ඇවිදින්
හිතමින් උන්නා
පතමින් උන්නා
අත් අල්ලාගෙන
යනතුරු කැන්දා
අහසට පෙමිනා
ඉහලට ඇදුනා
මිස තුරු අගිනා
බැල්මන් නොහුනා
දඩයක්කරුවෝ
දරමිටි කැපුවෝ
වනයට ඇදුනෝ
වනයෙන් මිදුනෝ
අදරැති සෙනෙහෙන්
මහකල් ගෙවුනා
කිකලෙක වනරොද
ඉම නොම පරයා
හමරැළි වැටුනා
පස තෙත සිඳුනා
සුසුමෙන් සුසුමට
සෙවනැලි ඇරුනා
රංගය අවසන
බැරි පය ඔසවා
පෙම් බැඳි අරණට
යන්නට සිතුනා
පියවර සුඟකට
එපිටහ පැත්තේ
මතකය වහගෙන
මියැදී වැටුනා
වනයට රිදුනා
හුනිද නොඅඟවා
ඊයේ විලසම
ඉහලට වැඩුනා
දඩයක්කරුවෝ
දරමිටි කැපුවෝ
වනයට ඇදුනා
වනයෙන් මිදුනා
Friday, July 26, 2013
ගඟක වත
අනියම්ය ප්‍රේමය විටෙක
එකම උල්පත නොම සොයන්නට
බැතිමත්ය ප්‍රේමය
එකම ඌලක පැහැ සොයන්නට
විධිමත්ය ප්‍රේමය
හතර මායිම් පැන නොයන්නට
සිහිමදය ප්‍රේමය
විදුලි වැට උව ඉක්මවන්නට
පතිනිබර කදුරුද
පාමුලට යන ගැඹුරු දෙනිවල
ඉතා නිහඬව ගලා යනවා
කොයියම්ම අතුගඟක් අබිමුව
එහෙමමත් දවසක
දෙගම්මැදි බිම්වල
සරු පස පලා මතුවෙන
සුවඳ මල් පුසුඹට
දුවන හිතකට මදු තියමු තව ?
Sunday, July 21, 2013
පාපොච්ඡාරණය
නේරංජන ඉවුර මෙපිට
අවසඟ වී දෙපය බරින
ආපහු නුඹ වෙතින් හැරුන
රාත්‍රිය මතකද
දිය ඇති නැති ගං වැල්ලට
මෙපිටහ ගංබඩ ඉඳඟෙන
කෙළෙස් කදක් උර තියාන
සුබ ගමන්ය යැයි පතන්න
කුහක උනා මං
සියෙරාමෙස්ට්‍රාවේ
කඳු බෑවුම් ගානේ
පාරමිතාදම් පුරාපු
චේ දැකලා නැත
ස්වාර්ථය බිම පාගා
පාරක් පාරක් ගානේ
දහදියරට ලේ හරවන
උඹ දැකලා ඇත
Tuesday, May 14, 2013
Saturday, April 20, 2013
හිමි අහිමි
තහනම් සුළඟයි හමන්නේ
සිහිල ගත දැවටී...
හුස්මක අවසර නොදෙන්නී
සුවඳ පා දුවතී...
ලය දැදුරු නොම දන්නී...
ඔතරම් හිනා මල් කිමැයි
අද නුඹම විමසනු ඇතී...
හෙට නේන නුඹ සිහියේ හොවා
අද අඬන්නද හිතවතී...
දුක සතුට කර හිනැහෙමී...
කාලයම ඔච්චම් කෙරූ
ආලයන් ලොව පැවතුනී...
මේ ඇරඹුමද අවසනද නොවනා
බව නොදැන හිත බැඳී..
අද කාලයට ඔරවමී...
Thursday, April 11, 2013
ප්‍රාදූර්භූත
![]() |
වැහි අඳුරු හවසක
ඉදිමුනු පයද සහිතව
වාට්ටුව මුල්ලක
අහෝ හේ මට හමුවිය
විසුළු හැඩ කෙහෙ ඇති
කැපුම් කැළලින් විසුළැති
පොරවගත් සම ඇති
එහැම පරදන සිනා මුහුණැති
ඔසවා සරම ඉණටම
පෙන්වා නහර පිරි සම
බිඳකුදු නොදෙඩු මුව තම
රිදුම් සඟවා සිනාසුනු බැම
පෙයර් ක්‍රිෂ්ණන්මි
වන්දාරමුල්ලේ උනිමී
පොළොන්නරුවෙන් ආමී
අපහසුව මැද අසා ගතිමී
පය අහිමි වූ සඳ
මල් මදින්නේ කොහොමද
නැසුවේ මම වෙද
කවදනම් උඹ ගමට යනවද
දත් දෙමළ මද විය
ගම තතු අසාගන්නට
තනියෙන්ද මවු තව
ඔත්පළ ඈට කොහොමද
හිත කිනිති ගස්සන
පැනයත් අරන් පහුදින
ගිය නමුදු නුඹ වෙත
ඇඳ පමණි, නුඹ කෝ කොහෙක වෙද
ඉතින් මගෙ සොහොයුර
අපේ අප්පච්චී
වෙඩි තියව්වේ උඹටද
අපේ අප්පච්චිට
වෙඩි තියව්වේ උඹමද
Wednesday, March 6, 2013
Sunday, March 3, 2013
පළඟැටිච්චිය
නොකල්හි ළතැවෙන
තෘණපත් අතර සැඟවෙන
ළපැටි පළඟැටි තෙම
පිරිමදී තටු නුවුමනා ලෙස
එතණ බිස්සෙම අන් කොන
"අහා ඉමිහිරි සුගැයුම"
මුමුණමින පොඩි පළඟැටිච්චිය
දවස'රියි ඉන් දිරි ගෙන
අහෝ උන් පස් වනතුරු
මුණගැසුනු වග අසා නැත තව
Subscribe to:
Posts (Atom)









