Sunday, February 7, 2021

 පින්තාරුව වී මා හදෙහී සේයා

ඒ රැය දුර නිසා
කන්තාරුව වී මා ලය සැනසෙනා
ප්‍රේම ගීතිකා
මායා දිලෙනා මා හා වෙලෙනා
මතක සිලු නිවා
අතීතෙන් පියඹා සීතේ සතපා
ඒවිදෝ සොයා

මා හා උන් ගං තීරෙම
රෑ බෝ උනු හැන්දෑවක
ඒ හීනෙම කැන්දාගෙන ඒදෝ සිතුනා
මා හා උන් ගං තීරෙම
රෑ බෝ උනු හැන්දෑවක
ලන්තෑරුම් එලි පාරක ඒදෝ සිතුනා

ලා මන්දාරමේ වැහි බීරමේ ගෑවී ගෑවී
ඒ හාදුත් අරන් කාටත් කලින් පාවී ඒවී

වාවනු නොහෙනා තනිකම් තිබුනා
සිතක ඇවිලෙනා
ඒ නම් පියඹා මීදුම් සඟවා
ලා හිරු රැස් මවා

ආයෙමත් නොගැලුවත් ගඟ

 



මුඩු තැනි පසු කරද්දී ගඟ
හැඬුවේය පෙර මතකෙක
අතීතේ කඳු උයනක
මීදුමෙන් ඇවිලුනා මතකද

අල්පවු දුරක් ඔබ්බේ
කරදිය විසව මියැදෙන
බව හොඳින් දැන ගෙන
කල්පනාවේ ගැලී ගමනෙක

 වෙලාවකට දිගවැඩියි ජීවිතය

මහන්සියි හිතින් හති ඇරලාම
නොකියාම නොහිතාම ඇවිදීම
නැවතීම තමයි හරි බුදුවීම

කවුලුවක් නැති ටැමක තනිවීම
පතුල් නැති සයුරු තෙර කිමිදීම
මං මැකුනු වන පෙතක
සෙල් කවක් වාගේම
නොකියවී ඇස් දුරින් වැලලීම හිම්වීම

 නොකියවා විසි කල කවි

කාලයේ ඇවෑමෙන්
ගසා විත්
හුරු පුරුදු වෙරළටම
අහම්බයක්මැයි
වීසි කල තැනටම

අඳුර වෙත විහිදෙන

වැහි මේ කුළුය තැන තැන

ඉඳහිට මගක වැලපෙන

පහන් කණු කේඬෑරි සුසුමින


විසල් අහසකි පරිමිත

කඩා හැලෙනට නියමිත

රාත්‍රිනියේ නපුරු බැල්මෙන්

අන්තිමම එළි බිඳත් සඟවන


මමම විතරක් මොකටද

නුඹෙන් එලි ලද ලොවකට

මතක ශේෂය සූර සූරා

රැගෙන ගුලි වෙමි අඳුරු විජිතෙක

Sunday, November 1, 2020

මගක ආ දුර අහවර
එකලාව නුඹ යන්නෙ කොහොමද
නොඅසාම ඈතට ගිය
නුඹ ගැන තැවෙමි තනි මග

Wednesday, September 30, 2020

 



සෑම අක් වැස්සකටම පසු

සියක් වස් හංගාන උන්
ප්‍රේමයේ බිජුවට
ඉබේ පැලවී
සෙමෙන් මැළවී යයි...

පැල නොකරන්නෙමියි
කොතෙක් කල් දත් මුත්
යනෙන තැන්වල තවමත්
උසුලා ඇදෙමි

ප්‍රේමිය

ප්‍රේමය

Sunday, June 14, 2020





ගැඹුරු දියකට ගලක් විසිකර
රළක් නම් තව ඉපදුනේ නැත

තවත් ගැඹුරට එයත් ගිලගෙන
කිසිත් නූනා සේම ඉනු හැර




Sunday, May 24, 2020





නුඹ දමා ගිය පසුත් වැඩුනේය
ප්‍රේමයේ අයිවි අතූ 
හුදෙකලා මේ ගිම්හාන කුටිය තුල
මටත් ඉඩ නොතියාම

Thursday, April 23, 2020



සඳද නැති අමාවක් රෑක
මුහුද මැදට ගිය ගල් වැටියක කොනක
වාඩිලා කලුම කලු සිතිජය දිහාවට
මුහුණ දෙදණ මැද හොවා
ඉකිබිඳිද්දී
ප්‍රදීපාගාර තෙමේ සම්බ විය

අතෝරක් නැති සයුර
මං කියා මුලු රැයම
හිරු එබෙන්නට පෙරව
ඉසිඹු හැඬුමකි නිහඬ

කවම කවදාකවත්
ප්‍රදීපාගාරයක්
ලඟ රැඳුනු ප්‍රේමයක්
නොවෙන බව දැන දැනත්




Related Posts Plugin for WordPress, Blogger...