Saturday, July 21, 2012

රෝස සහ දාස්පෙතියා




















කන්ද මුදුනේ
හරිතගාරේ
පිපෙනවා රෝස...



කොළඹ යන්නට
ලොරිය එනතුරු
නිදනවා රෝස...


අනඟ රැඟුමට
පෙරව යහනත
සිඹිනවා රෝස...


කන්ද පාමුල
ලැයිම මානේ
පිපෙනවා දාස...


දලු අකුල් යට
මැකෙන තිලකය
දකිනවා දාස...


පෝර, දහදිය
කඳුලු අතරේ
පාවුනා දාස...





Friday, July 20, 2012

පෙකනි වැල



















කල්පයක මුල් වසර
පුතු ගැබෙහි නිදි කරන


මස පලා එලි දකින
සිහිනයට කිරි පොවන


වින්නඹුව පෙකනි වැල
කැපූ බව නොම හැඳින


කලල දිය පිරි බැලුම
තවම පුතු වට රකින

පෙකනි වැල දිග දුරට
ඇමතුමෙන් සුව පතන


මේ කිසිත් නම් නොදැන
ඒ රැහැන නැති තුටින


දියත යම් කොන වසන
ඔහු නමට හැම දිනම


යළි යළිඳු පිළිසිඳින
කිරි බිඳිති ලය උනන





Thursday, July 19, 2012

කොට්ට කිලංගු



කඳේ හිල් තුලින
දෑස් මානා සතුටින
එය වසා තවත් බදාම හැන්දකින

පාග ගත් පය
එහෙම්මම තව
තනි පියල්ලේ දලු
දවසක ආයෙ
බට්ටො වෙන බව දැන දැන




Wednesday, June 27, 2012

යා යුතු





මේ
අයස්කාන්ත තත්පර කිහිපය පමණක්
නිදන නුඹ දෙස බලමි...

වැහි වලාවක බිජුවටවත්
තවමත්
ගොවිබිම් කම්හල් උඩින් නොමැත

සොඳුර නොනැගිටින්න
ජීවමානවම
මසිත් පහණේ
සිත්තම් වන තුරුවත් හිඳින්න

මා
යළි නො එන නිසා නොව
නුඹ නොසිටිය යුතු නිසා
එපමණක්වත්
ගෙනයන්නට ඉඩ දෙන්න

ඉරත් වැහිත් ඇති සරුබිමට
යා යුතුය
අඳුරට පෙර
මානා ලඳු පීරා
මං තැනිය යුත්තේය
නුඹටත් හැමටත්
නිදුකින්
පා ඔසවන්නට

මතු හැම උදාවේම
පානා ඉර මැද
නුඹේ වත මවා ගමි
එ ඉරු පහනින්
දිරි උරා බොමි

හැපී විසුලත්
පෙණ පිඬව මා
නුඹ මතින්
ඒ බිඳිති
පියවර සුඟක ඔබ්බේ
නැවත දිය කදුරමය
එතෙක්වත්
නොනැගිටින්න
මසිත් පහණේ
සිත්තම් වනතුරු නිදන්න                                                                                                                              
                                                                                                                                                                   
                                                                                                                                                                 

Sunday, June 10, 2012

ඉතින් සොහොයුර



සොහොයුර,
පොලොවෙන් එසවුනු
පස් කණ්ඩියකට යටව
නිදා නො ඉන්න

නුඹ නාසා සිදුරු
පිරීගත් පස් බිඳිති
සරු පුසුඹ
ඉව කරන්න

යන්න බෝ මුල් අතරින්
කටු මැටි පාදම් යටින්
ගංගාධාර පස තුලින්
මේ බිමේ පස පීර පීරා

ගාලු මුවදොර
නුඹෙ සම්මාන පැලඳන්
අවු කූටකේ ඉකි ගසන
ඇවිදින නුඹෙ සොහොන් කොත වූ
වැන්දඹු ඈ යටින්
සැතපියන් මඳකට

ටිකකින් යන්න
හැරී උතුරට
නුඹෙ ලෙය සරින්
සරු වූ පස යටින් පිහිනා

දාගැබ් පාදම් යටින්
මහා වාපී බැමි තුලින්
වම් ඇලයට නිදන
මුතුන්මිත්තන් අතරින්
යන්න පිහිනා
පස යටින් උතුරට

සොයාගන්න
නුඹෙ වතවත් නොම දැක
නුඹේ ලය සිපි
උණ්ඩයේ හිමි
සොහොයුරා නිදන තැන

මදක් සැතපෙන්න ඔහු හා

මඳකින්
මුදන්න ඔහුත්
මේ නිදිගත් නිද්‍රාවෙන්

අසන්න ඔහුගෙනුත්
නුඹට වෙඩි බින්දේ
කවුරුන්ද සොහොයුර

එක්ව පිහිනා එන්න දකුණට
සොයාගෙන ඒ උණ්ඩයෙත් හිමිකරු

ඉතින් මගෙ සොහොයුර
ඔය පස් කණ්ඩිය යට
තවත් නම්
නිදා නො ඉන්න

තවත් බෝ දුර
පීනන්නට ඇත
නුඹට සහ අපට                                                                                                                                            
                                                                                                                                                                   
                                                                     

Monday, June 4, 2012

පිතු පාරමිතා



තටු අග බල්බයක් රැඳි
කුරුලු පියෙකි බසයේ මුල...


මැදිරිගිරියේ
වනේ බෙනයක
ඉන්න පැටවුන්
ගැන කියයි තව


හීලියම් හරි බරට පිට උන
බල්බය
බිඳියි තටු මත...


අසරණ සිනා සලමින
තලයි වීදුරු කටු
ගලනාලයට ගැලපෙන ලෙස


අයා මුව
විකා කටු කුඩු
ගිලින්නට පෙර
යදී රුපියල්


හුණට දහයේ කොල ගෙන
ගිලී  සපමින
දන මුව බියෙන් අයවන...


උගුරෙන් පහල
බඩටත් මදක් ඉහලින
තැනක් ඇතුවා මෙන
රුපියලුත් වීදුරුත් හාවෙන...


දහඩිය ලේ කෙලද
අනා 'සෙරිලැක් ' තනා තලි තලි
තදකර උගුර මැද
පියාඹාවී මැදිරිගිරියට


දමා බිලයෙන් හිස
මග බලන පොඩි හොටකට
වමාරා කැවු තලපේ
අනේ වීදුරු කටු නොවීයං


සපුගස්කන්ද ගිනි හුළ
උඩින් පියඹා මැදිරිගිරියට
යනු රිසි කුරුලු පිය
කවුළුවෙන් ඒ දෙසම බලමින


                                                                                           
                                                                                                       
                                         


                                                                               
             

Saturday, May 5, 2012

මැයි දෙවෙනිදා


අවුරුද්දට එකම දවස
අල්මාරියෙ කොනක පිපෙන
කපුරු බෝල සුවඳ පොවපු
අත්කොට කමිසේ...

පාණ්ඩු පෑ රතු පාටට
රතු කියන්න බැරි තරමට
අව් සැරේට වැහි පොදේට
දියවෙලා ගියේ...

අප්පච්චී උදේ රැයින්
පොල් කටු ගින්නේ පළහං
නැමි රාසිය එක දෙකකට
අඩුකර ගනිතේ...

අලුත් කමිස රැලට යටින්
හැමදාමත් එක දවසක්
එළඹෙනකං අවුරුද්දක්
බලාන ඉන්නේ...

උදේ රැයිං රේල්ලුවෙං
කැන්දං ගිය අප්පච්චී
ගෙට ගෙවදින තුරු ඉඳපං
නිර්ධන කමිසේ...

එක දවසේ පංති හටන
පහුවදාම පාවාදුන්
ජුදාස් එනකං නේ 
උඹ බලාන ඉන්නේ...

දිය බේරෙන වැලේ කොනක
කණ කැස්බෑ ඉර එළියෙන්
අද විතරක් සැනහීයං
අත් කොට කමිසේ...


Sunday, April 15, 2012

පින් මද මවු



මල්ලි නොවී උඹෙ අක්කල තුන්පොලට
යන්ට උනේ පස් මහ බැලුමේ පවට
උඹේ පයට පූදින්නට පියුම් නැතී
ආවේ මොකද අම්මට පවු පුරවන්ට


දවස් කුලිය ලෙවකන්නට මදිගානේ
බීගත් අප්පාට ගානක් නෑ වාගේ
හූරල නොදා උඹ ඇඬුවොත් මේ වාරේ
වලට තුන්වලක් සිකුරුයි එන වාරේ


කකුල් පල්ලෙ උඹ බේරුනු ඒ ජාමේ
මුලු හිත පැලී හිරිවැටුනා සියවාරේ
දෙතනගලම කිරි තදකර ඇඬුවාවේ
හිරිකටු ඔය දිගට මයෙ දුක පිපුනාවේ
                                                                                            
                                                                                                     
                                                                                           
                                      

Saturday, April 14, 2012

අවුරුද්දේ ස්තුති කතාව




හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!ඉතින් මොන විදියටද මේක ලෝකයාට කියන්නෙ කියල කල්පනා කරා.පොර සෙයියාවෙන්ද? එහෙම නැත්තං අහිංසක පුංචි ආඩම්බරෙන්ද අනේ මන්ද අන්තිමට විදියක් හිතාගන්න බැරි උන හින්ද එහෙම් පිටින්ම කියල දාන්න හිතුව.මේකයි ...!
මේ බ්ලොග් පිටුව පටන් අරන් හෙටට අවුරුද්දක් පිරෙනව.
මේ තියෙන්න මම පලවෙනියටම දාපු පෝස්ට් එක.
ඉතින් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ කීප දෙනෙක්ම ඉන්නව විශේෂයෙන්.ඒ අයට ස්තුති කරන්නයි විශේෂයෙන් මේක දාන්න හිතුවෙ.මුලින්ම මම ආදරයෙන් මතක් කරනව ලහිරුව ඒ කියන්නෙ මාවම.මොකද වැඩක් පටන් අරන් අවුරුද්දක් තිස්සෙ අතරින් පතර උනත් නවත්තන් නැතුව කරන් යන්න තරම් ධෛර්යයක් මට තිබ්බ එක ගැන මම හුඟක් සන්තෝස වෙනවා.ඒකම මට හුඟක් වටිනව.ඊලඟට තමයි වැදගත්ම කෙනා.එයා තමයි මට  ඉරණමෙන්ම හම්බෙලා තියෙන සෝදුපත් බලන්නිය.හැම කවියක්ම ලිපියක්ම මුලින්ම දකින්නෙ එයා.මේක හරි නැහැ,මේක චාටර්,මේක නං ටිකක් ෂේප් කියල මාව නිතරම දිරිගන්වන්න ඇය තමා.එයාට මගේ ලබැඳි ප්‍රණාමය.ඊලඟට පිලිවෙලේ හැටියට නම් පණ්ඩිත්.මේ දවස්වල මාත් එක්ක තරහ උනාට මුලින්ම බ්ලොග් හදන්නෙ කොහොමද කියල ඇහුවම බ්ලොග්ස්පොට්.කොම් පැත්තෙ ගිහින් බලපං කිව්වෙ පණ්ඩිත්.එහෙම ගිහිල්ල ඔහේ ඊලඟ පියවරවලට ගියාම මම දන්නෙමත් නැතුව බ්ලොග් එක හැදුන.මුලින්ම ඩිෆෝල්ට් හැදුන ඩිසයින් එක මාස ගානකට පස්සෙ මාරු කරෙත් පණ්ඩිත්මද කොහෙද.
ඊලඟට මම මුහුණ පාපු දුෂ්කරතාවය තමා අනික් හැමෝගෙම බ්ලොග්වල තියෙන විජෙට්ටු මගේ එකටත් දාගන්නෙ කොහොමද කියල.හැම එකටම පණ්ඩිත්ටම කරදර කරන්න බැරි හින්ද තනියම ඒව දාගන්න සෑහෙන ට්‍රයි කරා.ගූගල් වලින් වැඩ දාල උනත් අන්තිමට දැන් තියෙන ඔක්කොම දාගන්න බැරි උනා.ඒ වෙලාවෙ ලැජ්ජාව පැත්තක තියල ප්‍රාර්ථනා නංගිගෙනුයි අසංක අයියගෙනුයි ඒව දාන්නෙ  කොහොමද කියල අහගත්ත.
මම ලියපුව හුඟ කෙනෙකුට තේරෙන් නෑ කියන ප්‍රශ්නය ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම තියෙන එකක්.බ්ලොග් එකටත් ඒකෙ වෙනසක් උන් නෑ.ඒකට හොඳම උදාහරණ තම මේ පෝස්ට් කීපය.
ඒකට හේතුව තමයි දෙන්න හදන පණිවිඩේ කවිය හරි කතාව ඇතුලෙ හරි හංගල කියාගන්න ගියාම අන්තිමට ඒක මටවත් හොයාගන්න  බැරි විදියට හැංගිලාම යන එක.මගේ සමීක්ෂණ වාර්තා වලට අනුව වැඩිපුරම බ්ලොග් එක ලියවිලා තියෙන්නෙ එක්සෑම් ස්ටඩි ලීව් කාලවල.වැඩක් හරියට නැති කාලවල ලියවෙන්නෙ ඉඳහිට තමා.ඉතින් බ්ලොග් එකටත් මම ස්තූතිවන්ත වෙනව එක්සෑම් කාලෙට මගෙ විවේකය ගතකරන්න දඩ මීමා වෙනවට.
බ්ලොග් එකට කමෙන්ට් කරල දිරිගන්වන හැමදෙනාටමත් ස්තූතියි.  ෆැකල්ටියෙදි හම්බෙලා අදහස් යෝජනා දෙන හැමදෙනාටමත් ස්තූතියි.මේක මුලින්ම පටන් ගත්තෙ හිතෙන දේවල් කවිවලට හරවල ඉදිරිපත් කරන්න.ඒත් පස්සෙ මම යන යන තැන්වල විස්තර දාන්නත් මට හිතුන.ඉස්සරහට තව මොන මොනව දාන්න හිතෙයිද දන් නැහැ.සියලු දේ අනිත්‍යයි කියනවනේ.තව පොඩි දෙයක් බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලෙ නලිනි චන්දිමා අක්ක ඇතුලු හුඟාක් දෙනා සතුටු හිතෙන විදිහේ අදහස් දක්වලා තිබ්බා.ලත් තැන ලොප් නොවී මෙච්චර දුරටවත් මේක කරන් එන්න ඒක මුල්දවස්වල ලොකු හයියක් වුනා.
අවසාන වශයෙන් මගේ මනස්ගාතවලට මහන්සියෙන් හරිහම්බු කරගත්ත සල්ලිවලින් ලැප් එක අරන් දීපු පොඩි මම්මවයි ඩොංගල් එකේ බිල ගෙවන්න තරං කාරුණික වෙන අම්මවයි අප්පච්චිවයි ඒ වගේම හුඟක් වෙලාවට ඩොංගල් එක ඉවර උනාම මගේ සහයට ඉන්න ෆැකල්ටියෙ වයිෆයි එකයිත් හොස්ටල් එකේ වයිෆයි එකයිත් ආදරයෙන් සිහිපත් කරනව. ඉතින් මේ පෝස්ට් එක දාන හිතුවෙ මගේ සෝදුපත් බලන්නිය ඇරෙන්න කවුරුවත් මේ විස්තරේ දන්නෙ නැති හින්දයි.ඒ මොකද අනිත් මිනිස්සුන්ට වෙන වැඩ නැතුවය මගේ පලවෙනි පෝස්ට් එකේ ඉඳන් දින ගැන ගැන ඉන්න.
හරි...! එහෙනන් මට වැරදුන් නැත්තං ස්තුති කරන්න හිතන් හිටපු හැමෝටම ස්තුති කරා.ඉතින් අනේ කාව හරි අමතක උනානං මම දෙවෙනි ඇනිවසරියෙදි ස්තුති කරන්නම්කො.

 ඉතින් ඔන්න ආයෙත් කියනව පුලු පුලුවන් වෙලාවට ඉතින් මේ දිහාවෙදි හම්බෙමුකො.හැමෝටම ප්‍රීතිමත් නව වසරක් වේවා                                                                                  
                                                                                           
                                                                                       
                                 

Tuesday, April 3, 2012

කොටුගොඩැල්ල වීදිය



කොහෙක් අඬනවා කච්චේරිය ලඟ මාර ගහේ ඉඳලා
"නුවරම පාලුයි නුවරම පාලුයි අවුරුදු ආ හින්දා "
එහෙමද කිව්වේ එහෙමද ඇහුනේ හිත මැසිවිලි නැගුවා
අවුරු කුමරා ගමේ ගිහිල්ලා නුවර ටවුම දාලා


දාහක් ගැවසුනු දාහක් හමුවුනු හරස් වීදි මත්තේ
කපුටන් හමුවී පෙම්බස් දෙඩුවා උන්ගේ හිතුමත්තේ
කන් තිබුනාදැයි හිතුනුවාර ඇති එවන් දවස් ඇත්තේ
උන්ගෙ වසුරු බිම සිඹින හඟින සර පවා ඇසුනි සත්තේ


මැදදි පහත් උනු අගදී ඉස්සුනු ඈත වීදි ඉවුරේ
අයිනට එබෙමින් කුණු අවුලාලන කතක රුවකි දුටුවේ
පහන් කණුවකට වෙරදී මිනිසෙක් යමක් බිණිනු ඇසුනේ
නෑසූ සවනින් තවත් එකෙක් ඈ දෑස් කතා ඇසුවේ


පසුකර යන මා ගැන නැත නිවනක් උන් තිදෙනා මතකේ
"දරුවා මගේද උගේද කියපං මගේ දිහා බලලා "
මදි බව පෙනුනත් ඇඳුම අලුත් බව දැනුනා ඒ මොහොතේ
ඈ නිහඬයි කොටුගොඩැල්ල වීදියෙ පහන් ටැඹක් වාගේ


අවුරුදු එනවා අවුරුදු යනවා නගරය, ගම පැත්තේ
කපුටන් ඉගිලෙනවා හැමදාමත් අහස මදිව වාගේ
ජීවිත පුදුමයි මේ පුර වරුණා දහස් කතා ඇත්තේ
ඒවා අහන්න සවන් නැතුව නොව නෑසුකනිනි උන්නේ
                                                                                          
                                                                                        
                                                                                              
                                                                                              
Related Posts Plugin for WordPress, Blogger...