Saturday, September 22, 2012

ලෙඩුන් බලන වේලාව







ඒ පැය තුලදී
ඈ දෑස් නම් නොහැරවූවාය

වැරදිලාවත් හැරුනොතින්
සිරගත උනු ඉරියව්වට වහාම ආවාය

ඒ සිහින දවස එන තුරු
මහලු ඇඟිලි ගැන්නාය

වහින්නටවත් හිතක් නැති
කොළඹ අහසට දොස් කීවාය

එදාට අඬන්නට
කඳුලු අරපරෙස්සම් කලාය

තුන් වරුවේම දෑහට වද දෙන්නට
එන උනට වෙර බැන්දාය
බොරුවට ලෙඩ ගන්න
අනික් උන්ටත් බැන්නාය

තුන් මසක් මුලුල්ලේ
බලන්නට නො ආ පුතුට වෙර නොබැන්දාය

හැමදාමත්
හෙට නම් ආ යුත්තේ යැයි
ස්වයං නිශ්චයේ යෙදුනාය

ප.ලි. කපුටන්ටත් වවුල්ලුන්ටත්
       මේ කිසිවක වගක්වත් නොවීය
       රෑ බෝවත්ම
       වෙනදා මෙන්ම 
       අහස මදි බව නම් තේරුම් ගත්තෝය




                                 

Wednesday, September 12, 2012

ඕඩි වා


ඉරිමාවෙ දාවලේ
හීන හිත හූරත්ම
සවනොත්ය
" ඕඩි වා ඕඩි වා 
  ඔරු ආමේ...
  ඕඩිවා "
කිළිටි කකුල්, උකුසු දෑස්
නොඉඳුල් සොටුයෙන
සැරහූ පුටැති නාසා

කුණු කානු දියේ
කලතා අම සොයන විලස
රූරා බැසි මෑලි දියෙන
උණපත් පල්වූ දුගඳින
මත්වූ ඉදිබු සේයා..
බොඳවීය 
කොලුන කෝටු සරින

පිච්චෙන්නට වන ලපැත්ත
මැවී මැවී
කටුවට ඇලි ලේ වැකි මස...
දැනුනු සෙයකි
පුලුටු සුවඳ

ගල ඉද්දර සෙවන සොයා
තැත සැඟවී යන්ට නොදී
" පලයව් පලයව් අහකට
  අහකට
  තිරිසන් කොල්ලනේ
  ඕක මරන් කන්නෙ නැතුව "

හළ කෙවිටි දිවූ මග කියද්දී
හැරී බලමින
නෙත බයාදුව
ඉදිබු රූ තරු පිරි පිටින
සෙමින යොමා හිස
පිදූ තුති සුසුම...

නුවර කුනු කඳින් සෙවුනා
අහර පතට පැලලි කුසට
හැරුනු උන් නෙත් නොකී වත
නුදුටු අඳ මනෙත

ඉබ්බෝ උඹ ගැලවුනාට
කොලනියෙ කලුවර මැදුරේ පිල මත
සුදහ ගින්න උන් ගිල්ලොත්
ගැලවිල්ලක් තියේද මට ...?




Monday, September 3, 2012

වැහි




කඳු අග්ගිස්සෙන් පාව ආපු වැහි සරයක් ඇද හැලුනී
යුවතිය තව තව කිටි කිටියේ ඔහු තුරුලට වී වැදුනී
කෝඩය තද වෙද්දී ඇය සඟවා ඔහු වෙනතක ඇදුනී
වැස්සෙන් හංගා රැක්මට නුඹ නැති මම කුමකට දුවමී




Monday, August 20, 2012

මිනිස්සු



මාර ගස් පතර පැතිරී
හැඳෑ අව් රැළී...
තෙමාලනු රිසින නෙක හිස්
කරයි විමසිලී...

පියාලූ වෙහෙසැති තටුබරින
මුදාලූ සරතැස් වසුරින
සක්මන් මළුවේ රටා වියන
කපුටනී බලාපව් පහල

වළාකුළු බැම්මේ වාරු පිට දී
පොරි කරත්තේ පිස හමායන
නල අඹාලන රූම් පෙතිවල
හීන ඔතරම්ම හෙමිහෙමිහිට
කැරකෙන සන්සුන් විලාසෙට
බවුන් වැඩෙනවාද නුඹට

මරාලමින කල්
සෝ දුම්ගුලි මුදමින
අතටම පිච්චෙන දුම්වැටි කොටයටත්
දුකම හිතිලා
ඇහැරෙව්වාය හැඳෑ හීනෙන්

දැවී හළුවෙන ජීවිතේ
ගසාලාලයි වළා බැමි පුවරුවේ

සිපියි දිවි සුණු
නුවර වෑ තල
පොරිය හිතමින
දේය් බැට උන

"කොරළිනේ...
 අතෑරල ඔය දුක
 හොයාපිය නට නටා
 තුටැති මිනිසත් කඳුලු
 උරනු වෑ දියෙන්
 හස් තුඩු මුවින ..."

සුමට වන්නට
ජීවන රේඛාවක් තියා
වම් අල්ලක්වත්
නොමැති ඔහු.....



Sunday, August 19, 2012

උහු ප්‍රතාපවත්ය



වයර පරිපථ කබා ඇඟලා
හෙණ්ඩු කැලලිද වැසෙනා
ජංගම තොරණ් රජිඳා
සන්නිපාත දන මැදිනා
තෙදවත්ව පා තබනා

විලංගුව සිහි ලිහුනා
දිගු අඩිම පා තියනා
එකෙණෙහිම පා සිරවී
ප්‍රතාපවත් කෙටි අඩිම තැබෙනා

තිරස් බඩ සිවු පයට නොහෙනා
බුදුරැස් පිටෙන් විදුනා
ධාතු පිට නැගි පවින් හෙවුනා
සංවරව පා නැගුනා

තුන් සීලයට ඔබිනා
ගජනා නුඹේ කයිනා
හිත උනන සුසුමා
සහස් බැති නෙත් එබැව් නොම දකිනා

බුදු මග නොයන උනටා
බුදුරැස් හිසට ඕනා
පසඳමින සව් අෂ්ට ලෝ දම්
එරැස් අඳිනට තැවෙමින 
රැයේ කෙටි අඩි තබනා



Sunday, August 12, 2012

ගංගා කළණී




නොගලා එක තැන ලතැවෙන ගංගා කළණී
එගං දිගේ සළු හොවමින ඈ මුමුණන්නී
රෙදි වැල් සිතිජයට එහා ඉර සැඟවෙන්නී
නුබ කුස පඬු පෑ උරමින වියපත්වන්නී

කැළණිතිස්ස වාගෙම හිත ගිනි හංගන්නී
ගිනි මැඩ දුම්ගුලි සුසුමින් වළා තනන්නී
අන් සෙළුවට සුදු පිරුවට නම්බු පුදන්නී
පවු හෝදා  දිය කලතා තවම පෙඟෙන්නී


Sunday, August 5, 2012

සිතිවිලි



















සිතිවිලි කොනෙන් හිල් විද
අමුණන්න
කම්මැලිය මට....
කඳුවලින් ඉපදුනු
කදුරු පත්ලෙන් හම්බුනු
අසම්පූර්ණව සුමට
රවුම් බර පැදියක්
අතට අහුවුනු සිතිවිලි එක දෙකක් මත
තබාලමි මම...
ඒ කඳු සුලඟට
ජනේලය නොවසාම



Saturday, July 21, 2012

රෝස සහ දාස්පෙතියා




















කන්ද මුදුනේ
හරිතගාරේ
පිපෙනවා රෝස...



කොළඹ යන්නට
ලොරිය එනතුරු
නිදනවා රෝස...


අනඟ රැඟුමට
පෙරව යහනත
සිඹිනවා රෝස...


කන්ද පාමුල
ලැයිම මානේ
පිපෙනවා දාස...


දලු අකුල් යට
මැකෙන තිලකය
දකිනවා දාස...


පෝර, දහදිය
කඳුලු අතරේ
පාවුනා දාස...





Friday, July 20, 2012

පෙකනි වැල



















කල්පයක මුල් වසර
පුතු ගැබෙහි නිදි කරන


මස පලා එලි දකින
සිහිනයට කිරි පොවන


වින්නඹුව පෙකනි වැල
කැපූ බව නොම හැඳින


කලල දිය පිරි බැලුම
තවම පුතු වට රකින

පෙකනි වැල දිග දුරට
ඇමතුමෙන් සුව පතන


මේ කිසිත් නම් නොදැන
ඒ රැහැන නැති තුටින


දියත යම් කොන වසන
ඔහු නමට හැම දිනම


යළි යළිඳු පිළිසිඳින
කිරි බිඳිති ලය උනන





Thursday, July 19, 2012

කොට්ට කිලංගු



කඳේ හිල් තුලින
දෑස් මානා සතුටින
එය වසා තවත් බදාම හැන්දකින

පාග ගත් පය
එහෙම්මම තව
තනි පියල්ලේ දලු
දවසක ආයෙ
බට්ටො වෙන බව දැන දැන




Related Posts Plugin for WordPress, Blogger...